ශානිට – මෙන්ඩිස්ට මාස 10කට පසු ඇප

මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (16) නියෝග ක⁣ළේය.
රුපියල් 25000 බැගින් වූ මුදල් ඇපයක් සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසද ඔවුන්ට නියෝග කෙරිණි.
ඔවුන් දෙදෙනාට ඇප ලබා දීම සම්බන්ධ තීන්දුව අද (16) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීන්දු කළේය.
ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා ද, සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් සමග නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද අධිකරණයේ දී කරුණු දැක්වීය.
අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා සම්බන්ධ පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. යූ. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවන ලදි.
නීතිඥ ගවුරි තවරාසා මහත්මියගේ උපදෙස්‌ පිට අබේසේකර සහ මෙන්ඩිස් යන මහත්වරුන්ගේ පෙත්සම ගොනු කර තිබිණි.

ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම

2020 ජූලි 31 අලුයම කොළඹ අපරාධ අංශයේ (සීසීඩී) පොලිස් නිලධාරීන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ එස්එස්පී ශානි අබේසේකරගේ නාරහෙන්පිට මහල් නිවාසයට පැමිණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
2013 බම්බලපිටියේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් “ගිනි අවි නඩුවේ සාක්ෂි ගොතන ලදැයි” පොලිසිය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දැක්වීය. එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ රහස් පොලිසිය මෙම ඝාතනය පිළිබඳව විමර්ශනය කළ අතර 2013 ජුනි මාසයේදී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
2015 නොවැම්බරයේදී වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා සහ තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මිනීමැරුම් චෝදනාවට වරදකරු කොට මරණ දඬුවම නියම කිරීමට මහාධිකරණය නියෝග ක⁣⁣ළේය. විමර්ශනය අතරතුර ගුණවර්ධන මහතා ශානි අබේසේකර මහතාට තර්ජනය කරමින් නඩුව ඉදිරියට ගෙන ගියහොත් ඔහුව විනාශ කරන බවට අනතුරු අඟවා තිබිණි. 2018 පෙබරවාරි මාසයේදී මහාධිකරණය විසින් මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා වරදකරු කරනු ලැබූ අතර වසර පහක සිර ද දඬුවමක් නියම කළේය.

ශානි අබේසේකරට දුන් ස්ථාන මාරුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව 2019 වසරේ නොවැම්බර් 21 වැනිදා තීරණය ක⁣⁣ළේය. පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණයට එදින සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය එදින පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කර තිබිණි.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.

ශානි අබේසේකර⁣ කළ විමර්ශන

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට  සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරිණි. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය.
මෙම හදිසි ස්ථාන මාරුව සිදු කරනු ලැබුවේ එම සංවේදී විමර්ශන අවුල් කිරීමට යැයි සැක සහිත බවට පොලිස් අභ්‍යන්තරයේ ඒ වන විටත් කසුකුසුවක් ඇතිවී තිබිණි. අබේසේකර මහතා එම ස්ථානමාරුව සම්බන්ධයෙන් 2019 වසරේ දෙසැම්බර් 08 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම මාසයේම 20 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පසුව ඒ මහතාගේ වැඩ තහනම් කරනු ලැබූ අතර පසුගිය මහමැතිවරණයට දින පහකට පෙර එනම් ජූලි 31 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් MediaLK කළ වාර්තා 

 

Previous articleවසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !
Next articleදරුවන් සමග සංවාදයේ යෙදෙන්න : මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා – විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here