ශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි

ශානි අබේසේකර මහතාගේ බිරිඳ හදිසි පදනම මත ගොනු කළ අභියාචනයට අදාලව ගොනු කළ මෝසමක් අද කැඳවූ අභියාචනාධිකරණය එය ලබන 19 වැනි දා තෙක් කල් තැබීමට නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල මහත්ම මහත්මීන් ඉදිරියේ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී තමාට මෙම විභාගයට සහභාගී විය නොහැකි බැවින් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය දැනුම් දුන්නාය. එසේ හෙයින් එය ලබන 19 වැනිදා යලි කැඳවන ලෙස අධිකරණය නියම කළේය.
ශානි අබේසේකර මහතාගේ බිරිඳ ගොනු කළ අභියාචනා පෙත්සම ලබන 13 වැනිදා කැඳවීමට නියමිතව තිබුණු අතර ඒ දිනවලට නියමිත අභියාචනා කොවිඩ් තත්ත්වය නිසා කල් දමන බව නිවේදනය කර තිබුණු හෙයින් මෝසමක් මගින් නඩුව කැඳවා තිබිණි .
පසුගිය අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙයි. ඔහු වෙනුවෙන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය ද ප්‍රතික්ෂේප කරන ලද අතර ඒ හේතුවෙන් අබේසේකර මහතාට ඇප ඉල්ලමින් මෙම අභියාචනාය අභියාචනාධිකරණයේ ගොනු කර තිබේ.
‘කොවිඩ් -19 ආශ්‍රිත සීමාවන් පැනවීමට නිසා 2021 මැයි 06 සිට 2021 මැයි 13 දක්වා කාලය තුළ ලැයිස්තුගත කර ඇති නඩු කටයුතු සැලසුම් කර ඇති පරිදි සිදුනොවන බවට නියම කරමින් සහ හදිසි ඇප අයදුම්පත් 2021 මැයි 11 වැනිදා විභාගයට ගැනීමට ප්‍රතිපාදන සලසමින් ඔබේ අධිකරණයේ සභාපතිවරයාගේ නියෝග මත අංක 13/2021 දරන නිවේදනය නිකුත් කර ඇත.
මෙම අයදුම්පත සැකකරුගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්මට මූලික වැදගත්කමක් ඇති අතර, පෙත්සමේ 44 වන ඡේදයේ සහ අනෙකුත් ඡේදවල වඩාත් පූර්ණ ලෙස ප්‍රකාශ කර ඇති පරිදි හදිසි පදනමක් මත ගොනු කර ඇත.
මෙම අයදුම්පත හරහා ඉල්ලා සිටින සහන (අතුරු සහන ඇතුළුව) ලබා ගැනීමට මෙම අයදුම්පත කැඳවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, පෙත්සම්කරු නිහතමානීව ඉල්ලා සිටින්නේ සැකකරුට ඇති බලපෑම/ අවදානම අනුව (වර්තමාන සහ ඉදිරියේදී) මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා බැලිය යුතු සහ ඊට සුදුසු කාරණයක් බවයි.’ යැයි ද අබේසේකර මහතාගේ බිරිඳ ගොනු නීතීඥ විරාන් කොරයා මහතා මඟින් ගොනු කළ මෝසමේ සඳහන් වෙයි.
බී 1536/20 යටතේ ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේ ඇති පැමිණිල්ලට අදාලව අබේසේකර මහතාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කළ අභියාචනය ගම්පහ මහාධිකරණයේ දී 339/20 විභාග විය.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කළේය. රතුපස්වල සිදුවීමට මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර නඩු විභාගය ආරම්භ වී තිබේ.
පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය. බැඳුම්කර ගනුදෙනුවට අදාල ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙනි.
සබැඳි පුවත්
සංවේදී විමර්ශන රැසක් කරන ශානි රහස් පොලිසියෙන් ඉවත් කරයි
(2019/11/21 MediaLK.com)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය අද(21) සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය අද පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු වෙයි.
මෙම හදිසි ස්ථාන මාරුව සිදු කරනු ලැබුවේ එම සංවේදී විමර්ශන අවුල් කිරීමට යැයි සැක සහිත බවට පොලිස් අභ්‍යන්තරයේ මේ වන විට කසුකුසුවක් ඇතිවී තිබේ.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.
ශානි අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් : දඩයම් ලැයිස්තුවක ප්‍රතිඵලයක් – නීතීඥවරු උසාවියට කියති
(2021/08/21 MediaLK.com)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු කළ වරදක් නිසා නොව, ඔහු හරි ආකාරයට විමර්ශන කටයුතු කළ නිසා ඔහු දඩයම් කිරීමට බව ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන් කිරීම, රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතනය, කප්පම් සදහා තරුණයන් පැහැරගෙන අතුරුදන් කිරීම වැනි අපරාධ විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස සහ දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බේරා ගැනීමට බවත් ඒ මහතා පැවසීය.
ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඒ බව ප්‍රකාශ කළේ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඊයේ (20) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අබේසේකර මහතා වෙනුවෙන් කරුණු දක්වමිනි.
මෙම පැමිණිල්ල ඊයේ (20) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන සුගත් මෙන්ඩිස් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක (1) හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ජගත් නිශාන්ත මහතා රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතාට එරෙහිව වරෙන්තුවක් ඉල්ලා සිටියේය. නිශාන්ත සිල්වා විදේශගත වී ඇති බව දැක්වෙන ආගමන විගමන පාලකගේ වාර්තාවක් ද ඔහු ඉදිරිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් කූඩුවට නැඟ සාක්කියක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා දැනුම් දුන් අතර ඒ අනුව සාක්කි ලබා දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ජගත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ මෙම පැමිණිල්ලට අදාලව තුන් වැනි සැකකරු නිශාන්ත සිල්වා 2019/11/25 දින ශ්‍රී ලංකාවේ සිට ස්විස්ටර් ලන්තයේ සූරිච් දක්වා ගොස් ඇති බවයි. එනිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය බව පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටියේය. එසේම වෙනත් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් රටට ඇතුළුවීමට හෝ රටින් පිටවීමට ඔහු ගුවන්තොටුපොළට පැමිණියහොත් වහාම කොළඹ අපරාධ කොට්ඨාසයට ඔහු යොමු කරන නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
ඒ අනුව ඔහුගේ සාක්කිය සහ ආගමන විගමන පාලක විසින් ලබා දෙන ලද වාර්තාව පදනම් කරගනිමින් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට වරෙන්තු නිකුත් කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නිශාන්ත සිල්වා රටට ඇතුළුවීමට හෝ පිටවීමට ගුවන්තොටට පැමිණියහොත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දෙන ලෙස ද නියෝග කළේය.
ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා – අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 (1) සහ (2) අනුව සහ නීතිපති එදිරිව පුංචි බණ්ඩා සහ තවත් අය යන නඩු තීන්දුවේ සඳහන් වෙනවා පොලිසිය කරන විමර්ශනයක් අධීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලය තිබෙන බව.
මෙම සිද්ධියට අදාලව දිලිප් අසංග වැලිගම යන අය දීලා තියන ප්‍රකාශයක සාක්කි සම්පිණ්ඩනයක් පොලිසිය මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.(එය කියවයි) එම ප්‍රකාශය අනුව විල්ලවආරච්චි කියන කෙනත් අනිවාර්යෙන්ම මෙහි සැකකරුවක් කරන්න අවශ්‍යයි. ශානි අබේසේකර සම්බන්ධයෙන් තිබෙන මෙම චෝදනා සම්පූර්ණයෙන්ම බොරු. නමුත් අපි මොහොතකට ඒක ඇත්ත කියලා හිතුවොත් අනිවාර්යෙන් විල්ලවආරච්චිත් මේකේ සැකකාරයෙක් වෙන්න ඕනෑ. පොලිසිය ඔහුව සැකකරුවෙක් කරළත් නෑ, අත්අඩංගුවට අරගෙනත් නෑ. ඒ අනුව පේනවා පොලිසිය එයාලගේ දඩයම් ලැයිස්තුවේ ඉන්න අය විතරයි අත්අඩංගුවට ගන්නේ කියලා.
ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන මෙම චෝදනා කිරීමට හේතු දෙකක් තිබෙනවා. එකක් මෙම සිද්ධියට අදාලව දැනට මරණ දඬුවම ලබා දී තිබෙන වාස් ගුණවර්ධන බේරා ගැනීම. අනික එක්නැලිගොඩ අතුරුදන් කිරීම, තාජුදීන් ඝාතනය, නාවික හමුදාවෙන් තරුණයන් 11 දෙනකු අත්අංගුවට ගෙන අතුරුදන් කිරීම වැනි අපරාධ සම්බන්ධයෙන් ශානි අබේසේකර විමර්ශන කරපු නිසා.
මෙම සිද්ධිය 2013 වසරට අදාල සිද්ධියක්. එහි ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය දැන ගැනීම වැදගත්. නමුත් තවමත් නීතිපති නියෝජනයක් මේ නඩුවට නෑ. අපි හිතුවේ අදවත් නීතිපති එකෙන් එයි කියලා.
මේ සිද්ධියට අදාල ආයුධ තුනක් පොලිසිවලින් නිකුත් කළ ඒවා බවට සටහන් කරලා තියෙද්දිත් ශානි අබේසේකරව ගිනි අවි ආඥා පනතින් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ ඔහු රිමාන්ඩ් කරවීමේ ආශාවෙන්.
නීතීඥ චමින්ත අතුකෝරල – ස්විස්ටර්ලන්තයේ ගිහින් ඉන්න සැකකරුවකු වෙනුවෙන් වරෙන්තු ඉල්ලන කොළඹ අපරාධ කොට්ඨාසය මේ නඩුවේ ලංකාවේ ඇතුළේ ඉන්න තවත් සැකකරුවකු ගැන මුකුත් කරන්නේ නෑ. ඒ තමයි පොලිස් පරීක්ෂක විල්ලවආරච්චි.
ඔහු මහේස්ත්‍රාත්වරු දෙදෙනකු හමුවේ ප්‍රකාශ දෙකක් ලබා දී තිබෙනවා. එම ප්‍රකාශ දෙක එකිනෙකට පරස්පරයි. එකක් දීලා අවුරුදු ගණනකට පස්සේ කියනවා ඒක දුන්නේ බලපෑමට කියලා.
මෙම පොලිස් පරීක්ෂක විල්ලවආරච්චි සේවය කළේ මේ නඩුවේ දැනට ඉන්න සැකකරුවන් (ශානි සට මෙන්ඩිස්) යටතේ නෙමෙයි. පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕනෑ ඉහළින් ලැබෙන නීත්‍යනුකූල නියෝග පමණයි. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම බලපෑමක් ආවා නම් ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න ඕනෑ. ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, කොට්ඨාස බාර පොලිස් අධිකාරී, දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, එහෙම නැත්නම් පොලිස්පති ඉන්නවා. මේ අයට පැමිණිලි කරන්න ඕනෑ බලපෑමක් ආවා නම්. නමුත් එහෙම කරලා නෑ.
එක ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරිපිට දීලා තව අවුරුදු ගානකට පස්සේ ඒක වැරදි කියලා තවත් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට පොලිස් නිලධාරියකු දෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්.
මේ අත්අඩංගුවට ගැනීම් කරන්නේ දඩයම් ලැයිස්තුවකට අනුවයි. ඔවුන්ට අවශ්‍ය අය පමණයි අත්අඩංගුවට ගන්නේ.
ඒ වගේම මෙම පැමිණිල්ලේ දෙවැනි සැකකරු උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් තමන් සැකකරුවෙක් කරලා කියලා දැනගත් වහාම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාසේය සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය නිශාත කියන නිලධාරීන් දෙදෙනා බලපෑම් කර තිබුණා ශානි අබේසේකරට එරෙහිව ප්‍රකාශයක් ලබා දෙන ලෙස. ඔහු එලෙස ප්‍රකාශයක් නුදුන්නු නිසයි අත්අඩංගුවට ගත්තේ. මේ සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේම මහේස්ත්‍රාත්තුමා හමුවේ ප්‍රකාශයක් දුන්නා. තවම ඒ ගැන විමර්ශනයක් නෑ. මේ ගැන විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.
රාජකාරියක් හරියට කළාම අත්වෙන ඉරණම මොකක්ද කියලා බලා ගන්න ඕන නම් අද ඇස්පනාපිට බලා ගන්න පුලුවන්. මේ කූඩුවේ ඉන්නේ සැකකරුවන් දෙදෙනා (ශානි සහ මෙන්ඩිස්) අල්ලස් අරගෙන නෙමෙය, නිල බලය පාවිච්චි කරලා ස්ත්‍රී දූෂණ කරලා නෙමෙයි. කප්පං අරගෙන නෙමෙයි. පඩියට අමතරව සතපහක දෙයක් අරගෙන නෙමෙයි. කරලා තිබෙන එකම දෙය හරියට රාජකාරිය කිරීම. හරියට රාජකාරි කරන නිලධාරීන්ට අත්වෙන ඉරණම තමයි මේක.
මේ සිද්ධියට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් සැකකරුවන් කිහිප දෙනකුට මරණ දඬුවමත් ලබා දීලා තිබෙනවා. මෙම සිද්ධි ගැන නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ කරුණු දක්වා තිබෙනවා. ඉතින් මේ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ඉතාම වැදගත්.
ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර – පළමුවැනි සැකකරු ශානි අබේසේකරට එරෙහිව මොනවා හෝ දෙයක් හොයා ගන්න 2020 දෙසැම්බර් 26 වැනි දා සිට සීඅයිඩියට හතර වතාවක් කැඳවා තිබෙනවා. පොලිස් විශේෂ විමර්ශන ඒකකයට 14 වතාවක් කැඳවා තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා – අපි කාගෙවන්වත් පලිගන්නවත් දඩයම් ලැයිස්තුවකටවත් අත්අඩංගුවට ගැනීම් කළේ නෑ. අපිට පොලිස්පති එවපු පැමිණිල්ලකට අදාලව විමර්ශනය කරලයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තෙ. තවත් සැකකරුවන් ඉන්නවා නම් අත්අඩංගුවට ගැනීම කරනවා. ඒකට අපි පැකිලෙන්නේ නෑ.
මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින බව කියමින් නීතීඥ ජාලිය සමරසේන මහතා කරුණු දැක්වීමට උත්සාහ කළ අතර ඊට ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා විරෝධය පළ කළේය. මේ නඩුවේ අගතියට පත්වී ඇත්තේ රජය බවත්, රජය සහ සැකකරුවන් අතර යන නඩුවක් බවත් ප්‍රකාශ කළ බණ්ඩාර මහතා නීතීඥවරයා පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි තමාට දැනගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමට අදාලව වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු පිරිසකට එරෙහිව නඩුවක් පවතින බැවින් ඔවුන් අගතියට පත් පාර්ශ්වයක් බවත් ඔවුන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් නීතීඥ ජාලිය සමරසේන මහතා කීවේය. ඔහු කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ශානි ඇතුළු සැකකරුවන්ට ඇප දෙනවාට තමාගේ විරෝධයක් නැති බවත්, කෙසේ වෙතත් මෙම නඩුවට අදාල මුල් සිද්ධියේ තොරතුරුද නොසඟවා ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රකාශ කළේය.
සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විල්ලවආරච්චි නම් පුද්ගලයා සැකකරුවෙක් කරන්නේද නැද්ද සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන ඊළඟ දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
ශානි අබේසේකර මහතා සහ මෙන්ඩිස් මහතා සැප්තැම්බර් තුන් වැනි දා තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.
Previous articleමැයි 18 : වසංගතයට මුවා වී චීනයට ඉඩම් ලියන දවස ද?
Next articleඑකම විසඳුම එන්නත : ලැබෙන ඕනෑම වර්ගයක් විදගන්න – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here