අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ

 

(දිලිනි රණේපුර)
ලංකාවේ සිදු කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු නොවූ බවත්, ලංකා ඉතිහාසයේ කැරලිවලට හේතු වූ කාරණාවලට දේශපාලන විසදුම් නොලැබුණහොත් නැවත එවැනි කැරලි ඇතිවිය හැකි බවත් අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ (FOD) සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.
අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවෙහි සභාපති බ්‍රිටෝ පුනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (27) සීදුව රද්දොළුව හන්දියේ පිහිටි අතුරුදන්වූවන්ගේ සිහිවටනය ඉදිරිපිට පැවැත්වූ  අතුරුදන්වුවන්ගේ අනුස්මරණ සැමරුම් උළෙලේදීය.
 1991 ඔක්තෝම්බර් 27 ඇරැඹූ මෙම අනුස්මරණ වැඩසටහන මෙවර පැවැත්වූයේ 33 වැනි වරටය. 1989 ඔක්තෝබර් 27 වැනිදා නිදහස් වෙළඳ කලාපයේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ එච් එම් රංජිත් සහ ඔහුගේ නීති උපදේශකයකු වූ එම් ලයනල් යන දෙදෙනා ඝාතනය කර තිබූ ස්ථානයේ ⁣2000 වසරේදී ඉදි කළ ස්මාරකය අසල මෙම ස්මරණ වැඩසටහන පැවැත්විණි.
එච් එම් රංජිත්ගේ පෙම්වතිය වූ ජයන්ති දන්දෙනිය මහත්මියගේ සහ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත 1991 වස⁣රේ ඔක්තෝබර් 27 වැනදා ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ සැමරුමට මෙවර 200කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
ආගමික වාතාවත් වලින් පසු සැමරුමේ කටයුතු ආරම්භ කෙරුණි. මෙවර සැමරුම් උළෙලේ විශේෂ අවස්ථාවක් වූයේ  අතුරුදන්වූවන්ගේ පවුල් 33ක සාමාජිකයන් 33 දෙනකු වෙත විශේෂ ලොකට්ටුවක් පිරිනැමීමයි. මෙම ලොකට්ටුවෙහි තම අතුරුදන්වූ ආදරණියයන්ගේ පින්තූරයක් ඇතුලත් කර , එය බෙල්ලෙහි පැළඳිය හැකිවන අයුරන් මාලයක් ලෙස සකස් කර තිබුණි.
මෙම ලොකට්ටු 33 තානාපති කාර්යාල නිලධාරින් ඇතුළු ආරාධිතයන් තිස්තුන් දෙනෙකු අතින් අදාල පවුල්වල සාමාජිකයන් හට බාර කෙරිණි. අතුරුදන් කළ තම පවුලේ සාමාජිකයා පිළිබඳ සත්‍ය හෙළිදරව් කරනතුරු එම ලොකට්ටුව ඕනෑම තැනකදී පැළඳ සිටිමින් මෙම සටන දිගටම කරගෙන යන බවට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රතිඥාවක් ලබා දීමෙන් පසු එම ලොකට්ටුව පැළඳගැනීම සිදු කෙරිණි.
අතුරුදහන්කළ ආදරණීයයන් සම්බන්ධයෙන් කිසිදු රජයක් වගකීම බාර ගෙන නැති බව ද, නීතියෙන් හෝ සමාජයෙන් ඔවුන්ට සාධාරණයක් ඉටුවී නැති බව ද ප්‍රකාශ කළ ඔවුහු මතු පරපුරට මෙවැනි ඉරණමකට මුහුණ දීමට අවස්ථා සැලසීමට බලයේ සිටින හෝ බලය ලබාගැනීමට උත්සහ කරන කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඉඩ නොතබන බවට ප්‍රතිඥා දුන්හ.
වැඩසටහන අතරතුරදී ප්‍රවීණ සංගීතඥ ජයතිලක බණ්ඩාර මහතා විසින් රචිත ගීතයක් ගායනා කිරීම සිදුවිය. වැඩසටහන අවසානයේ දී ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්වීම සිදු වූ අතර එය සංවේදී අවස්ථාවක් විය.
රටපුරා බලහත්කාරයෙන් අතුරුදන්කළ පුද්ගලයන්ගේ පවුල්වල උදවිය තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද, ඔවුන් සිටින්නේ කොහෙද,ඔවුන් ජීවතුන් අතර සිටීද, ඔවුන් අතුරුදන් කළේ කවුරුන් විසින්ද යන්න ආදී තවමත් පිළිතුරක් නැති ප්‍රශ්න රැසක් මැද වේදනාවෙන් ජීවත්වෙති.
1971 දි 10,000කට ආසන් පිරිසක් ද, 1989 දකු⁣ණේ 60,000 ආසන්න පිරිසක් ද, උතුරේ සිවිල් යුද සමයේ 147,000කට ආසන්න පිරිසක්  අතුරුදන් වී ඇති බවට ප්‍රකාශ වී ඇතැයි වැඩිදුරටත් අදහස් දක්වමින් අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවෙහි සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා කීවේය.
ඔහු මෙසේද සඳහන් කළේය.
” වරින්වර විපක්ෂයේ හැම දේශපාලන නායකයාම බලයට එන්න මේක පාවිච්චි කරනවා. පාරේ පෙලපාලි යනවා, සමූහ මිනිවලවල් හාරනවා, බලයට පත් වුනාම ඒ අය ඉතාම දක්ෂ ලෙස අතුරුදහන් කරනවා, මිනීමරනවා.”
“ප්‍රේමදාසගේ කාලයේ මිනීමරණ කොට අපිත් එක්ක පාරේ හිටියේ මහින්ද රාජපක්ෂ. අපි හිතුවා ඔහු අපිව අතඇරලා යන එකක් නෑ කියලා.හැම උද්ඝෝෂණයකටම ඔහු ආවා. දවස් 19ක් කොළඹ ඉඳලා කතරගමට පයින් ගියා. නොගිය පන්සලක්, පල්ලියක්, කෝවිලක් අපිට තිබුණේ නෑ. නමුත් ඔහු ජනාධිපතිවුණාට පස්සේ ඒවා ජාත්‍යන්තරයට කියනවට ඔහු විරුද්ධ වුණා. ඒ විතරක් නෙවේ ඔහු යුද්ධය හොඳින් කරමින් අතුරුදන් කිරීම්වල, ඝාතන වල ඉහළම පෙලේ නායකයා වුණා. ”
“චන්ද්‍රිකා මහත්මිය කොමිසමුත් පත් කළා. අපිට යම් යම් නිර්දේශත් ලබා දුන්නා. අපි විශ්වාස කළා ස්වාමිපුරුෂයා ඝාතනය කළ නිසා සාධාරණයක් කරයි කියලා. නමුත් ඇය යටතේ අතුරුදන් කිරීම් හා ඝාතන යුද්ධය හරහා සිදුවුණා.”
“රනිල් වික්‍රමසිංහ මහත්මයට බටලන්ද පිළිබඳ බරපතල චෝදනා තිබුණා. නමුත් 2015 ජිනීවා යෝජනාවට පක්ෂපාතිත්වය දක්වමින් අතුරුදන්වීම් නැවත නොවෙන්න, ඇත්ත හොයන්න ජාත්‍යන්තරය ඉදිරියේ යෝජනාවක් ගේන්න ඉදිරිපත් වුණා. නමුත් අද වෙද්දි ඔහු ඉතා පැහැදිලිව කියමින් ඉන්නවා ජාත්‍යන්තරයට මේ රටේ දේවල්වලට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන බව”

Previous articleපුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
Next articleඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here