කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු තොරතුරු මුදා හරින්න නියෝග

කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම ඇතුළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තීන්දු කළ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එම තොරතුරු නොවැම්බර් 14 වැනිදාට පෙර මුදා හරින ලෙස ශ්‍රී ලංකා පොලිසියට නියෝග කළේය.
එලෙස නොවැම්බර් 14 වැනිදාට පෙර අදාල තොරතුරු මුදා හැරීම්ට ශ්‍රී ලංකා පොලිසිය අපහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි අදාල නිලධාරීන්ට එරෙහිව තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද කොමිසම තීන්දු කළේය.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව මෙම නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යොමු කළ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාග කර තීන්දුව ලබා දෙමිනි.
මාස දෙකකට ආසන්න කාලයක් පුරා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව මෙම අභියාචනය විභාග කළ අතර එම විභාගය සඳහා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන කිෂාලි පින්ටෝ ජයවර්ධන, ජගත් ලියන ආරච්චි සහ මොහොමඩ් නහියා යන කොමසාරින්වරුන්ගේ අත්සන යටතේය.
මෙම තොරතුරු ඉල්ලීම ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාලව වන තොරතුරු පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමක් වුවද ශ්‍රී ලංකා පොලිසිය ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවත්, ඉල්ලා ඇති තොරතුරු සමාජයේ ඒ දිනවල වඩාත් සංවාදයකට ලක්වූ තොරතුරු බැවින් තොරතුරු නිලධාරීන් පනතේ ප්‍රතිපාදන පිළිබඳව මීට වඩා උනන්දුවක් දැක්විය යුතුව ඇති බවත් කොමිෂන් සභාව සිය තීන්දුව මගින් අවධාරණය කර තිබේ.
පොලිසිය මුලින් ප්‍රතිචාර දක්වද්දී ‘විනාශ කළ’ බවට සඳහන් කළ ලේඛන පසුව ලබා දී ඇති බවත්, පොලිසිය කරුණු සොයා බැලීමකින් තොරව කරන එවැනි ප්‍රතිචාර දැක්වීම් කිසිසේත්ම ප්‍රශංසනීය නොවන බවත් එම තීන්දුවේ සඳහන් වේ.
2010 ජනවාරි පළමු වැනිදා සිට 2022 ජනවාරි පළමු වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට ගෙන්වූ මුළු කඳුළු ගෑස් ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙද්දී පොලිසිය 2012 වසරේ ජූලි 07 වැනිදා මිලදී ගත් කඳුළු ගෑස් ප්‍රමාණය අදාල සඳහන් කර නොමැති බවත්, අදාල කාලයේදී කඳුළු ගෑස් ගෙන්වූ අවස්ථා ගණන පිළිබඳ තොරතුරු ලබා දෙද්දී පොලිසිය 2012 වසර සඳහන් කර නොමැති බවත් කොමිසම සිය නිරීක්ෂණ මඟින් සඳහන් කර තිබේ.
එසේම 2010 වසරේ සිට 2022 වසර දක්වා පොලිසිය කඳුළු ගෑස් මිලදී ගැනීම්වලට අදාලව මිල ගණන් කැඳවූ ලේඛනවල සහතික පිටපත් ඉල්ලා ඇතත් පොලිසිය ලබා දී ඇත්තේ මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධ කරන ලේඛන පමණක් බවත්, මිලදී ගැනීම්වලට අදාලව තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා ඉල්ලා සිටියද පොලිසිය තාක්ෂණික කමිටුව මගින් සිදු කරන කඳුළු ගෑස් උණ්ඩ සාම්පලවල අන්තර්ගතය පරීක්ෂා කළ ලේඛන ලබා දී නොමැති බවත්, කඳුළු ගෑස් මිලදී ගැනීම්වලට අදාලව ටෙන්ඩර් ප්‍රධානය කළ ලිපිවල පිටපත් ඉල්ලා ඇතත් 2-012 වසරට අදාලව එම තොරතුරු මුදා හැර නැති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම තොරතුරු ඉල්ලීම මගින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම, ඊට අවසර ලබා දීම ආදිය ගැන තොරතුරු විමසා ඇති බවත්, ඊට පොලිසිය අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව ඔහු සඳහන් කර ඇති බවත්, අසත්‍ය තොරතුරු සැපයීම තොතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ වරදක් බවත් සිය තීන්දුවේ සඳහන් කර ඇති තොරතුරු කොමිෂන් සභාව ඒ ගැන විමර්ශනයක් ඉල්ලා සිටීමට අභියාචකට (මාධ්‍යවේදියාට) අයිතියක් ඇති බව ද සඳහන් කරයි. මාධ්‍ය වේදියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා සහ මාධ්‍යවේදියා සඳහන් කළේ අසත්‍ය සහ නොමග යවන තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.
තරිඳු ජයවර්ධන විසින් එසේම 2010 සිට 2022 දක්වා කාලයේදී පොලිසිය කඳුළු ගෑස් භාවිත කළ ප්‍රමාණය වාර්ෂිකව ඉල්ලා ඇතත් පොලිසිය එම තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ප්‍රතික්ෂේප කර තිබීම ගැන සඳහන් කරමින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම සිය තීන්දුවේ සඳහන් කර ඇත්තේ මෙම තොරතුරු සෟජුවම මහජන ශුබසිද්ධියට අදාල තොරතුරු වන බවට කොමිසම නිගමනය කරන බවයි. එනීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීම රාජ්‍යය විසින් සිදු කරන නීති්‍යනුකූල ක්‍රියාවලියක් බැවින් එහි කිසිදු රහස්‍යභාවයක් නොතිබිය යුතු බවත්,ඒ අනුව එම තොරතුරු මුදා හරිය යුතු තොරතුරු බවත් කොමිසම සඳහන් කරයි.
2022 මාර්තු 21 සිට මෙම තොරතුරු ඉල්ලීම මාධ්‍යවේදියා විසින් යොමු කළ 2022 ජූලි 17 වැනිදා තෙක් එක් එක් අවස්ථාවලදී පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රමාණයන් මොනවාද සහ ඊට අදාල ලේඛනවල සහතික පිටපත් ඉල්ලා ඇතත් පොලිසිය එම තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාව යටතේ ප්‍රතික්ෂේප කර ඇති බවත්, මෙම තොරතුරු ඉදිරිපත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරය පොලිසිය සිය ලිඛිත දේශන මගින් පැහැදිලි කර නොමැති බවත්, මෙම මහජන උන්නතියට අදාල කරුණක් බැවින් එම තොරතුරුද මුදා හරිය යුතු තොරතුරක් බවත් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.
එක් එක් අවස්ථාවලදී එල්ල කරන ලද කඳුළු ගෑස් මිලදී ගත් වසරවල් වෙන් වශයෙන් ලබා දෙන ලෙස මාධ්‍යවේදියා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා ඇතත්, අධිකරණයේ නඩු පවතින බව කියමින් පොලිසිය එම තොරතුරු ලබා දී නැත. මේ සම්බන්ධයෙන් සඳහන් කරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ මෙම තොරතුරුවලට අදාලව ඇති නඩු මොනවාද යන්න ගැන පොලිසිය කරුණු ඉදිරිපත් කර නැති බවයි. ඒ අනුව එම තොරතුරද ලබා දිය යුතු බව කොමිසම අවධාරණය කරයි.
අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අද දිනයේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ නීතිඥ මුනුෂිකා කුරේ ද, ශ්‍රී ලංකා පොලිසියේ මානව හිමිකම් කොට්ඨාසයේ සහ නීති කොට්ඨාසයේ නිලධාරීහු ද පෙනී සිටියහ.
Previous articleපොලිසියේ ඉල්ලීම ඉවතට ඃ අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප
Next articleවසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here