රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන)
රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක් ගනී. පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා අදට වසර නමයක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය නගරයටත් බැලුම්මහර මං සන්ධියටත් නුදුරින් පිහිටි රතුපස්වල හංදියෙන් කිලෝමීටර දෙකක් පමණ ඇතුළට ගිය පසු නැදුන්ගමුව හමුවෙයි. පසුගිය කාලයේ නැදුන්ගමුව වඩාත් ජනප්‍රිය වූයේ දළදා කරඬුව රුගෙනගිය නැදුන්ගමුවේ රාජා හස්තියා නිසාය. නැදුන්ගමුව රාජා හස්තියාගේ හිමිකරු ධර්මවිජය මහතාගේ නිවස පසුකර මීටර 500ක් පමණ ගිය තැන ඩිප් ප්‍රඩක්ට්ස් වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව හමුවෙයි.
රබර් අත්වැසුම් නිපදනවන කම්හලක් ලෙස 1994 වසරේ අගභාගයේදී ආරම්භ කළ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අප ජලය කුඹුරුවලට සහ භූගත ජලයට එක්වීමට සැලැස්වීම නිසා 1997 වන විට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතා එල්ල විය. 1997 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරිය ක්ෂේත්‍ර පරීක්ෂණයක් කර ලබා දුන් වාර්තාවක සඳහන් වුණේ අපජලය සඳහා ප්‍රතිකාර පද්ධතියක් සම්පූර්ණ කරන තෙක් කම්හලේ කටයුතු ආරම්භ නොකරන ලෙසට වූ නිර්දේශ කඩ කරමින් කම්හලේ වැඩ ආරම්භ කර ඇති බවයි.
නිර්දේශ, නියෝග, නීතිය පැත්තකට දමමින් ගම්වාසීන්ගේ ඉල්ලීම් කුණු කූඩයට විසි කරමින් දිගින් දිගටම දේශපාලන හයියෙන් කරගෙන ගිය කම්හලට හොඳම කාලය උදා වූයේ එහි වැඩිම කොටස් හිමියා ලෙස එකල සැලකූ ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම කම්හල ගැන තීන්දු තීරණ ගන්නා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට රාජපක්ෂ රජය පියවර ගැනීමත් සමගය. ඒ සමඟ ගම්වාසීන්ගේ නරකම කාලය උදාවිය.
කම්හල නිසා සිදුවන පරිසර හානි සම්බන්ධයෙන් කෙතරම් හඬ නැඟුවත් කිසිම පළක් නොවීය. ලෙඩරෝගවලින් ගමේ එකා දෙන්නා මිය යද්දී, දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ලෙඩ වෙද්දී කම්හල ගැන පැමිණිලි කළ යුතු ආයතනවලට පැමිණිලි වැටෙද්දී පාලකයෝ මුණිවත රැක්කහ. දේශපාලකයන්ගේ මෙන්ම නිලධාරී පැළැන්තියේද අසංවේදීකමේ ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩ සටනකට යෑමට ප්‍රදේශවාසීහු සංවිධානය වූහ.
සාමකාමී නොනවතින අරගලය ආරම්භ වූයේ 2013 ජූලි මස 27 වැනිදා රතුපස්වල හංදියෙනි. 500කගේ පමණ ප්‍රදේශවාසීන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ විරෝධතාවයට ජූලි 30 වෙද්දී 5000සකට අධික පිරිසක් සහභාගී වූහ. කම්හල ඉදිරිපිට මහා මාර්ගය සහ රතුපස්වල පිට්ටනිය ඔවුන්ගේ විරෝධතා ස්ථාන විය. ඒ වන විට මේ කම්හලේ වැඩිම කොටස් හිමියා ලෙස සැලකූ ධම්මික පෙරේරා රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු රාජකාරි කළ යුතු වූ තනතුරක් වන ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් තනතුරට පත් කර තිබිණි.
දින හතරක් තිස්සේ විරෝධතා කළද, දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීහුද නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ. ජනතාව වෙනුවෙන් ආවේ එවකට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වූ මර්වින් සිල්වා පමණි. මර්වින් සිල්වා රතුපස්වලට පැමිණි දිනයේ රාත්‍රී ඔහුගේ පුතා කොළඹ ඇඳුම් කඩයකදී පහරකෑමකට ලක්විය.
දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ නිහඬබවේ ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු පළමු වැනිදා දහවල් වන විට ප්‍රදේශවාසීහු 10,000ක් පමණ නැදුන්ගමුව කම්හල අසලත්, රතුපස්වල මංසන්ධියෙත්, මිරිස්වත්ත හංදිය, බැලුම්මහර සහ වැලිවේරිය නගරවල දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළ අතර මිනිත්තුවෙන් මිනිත්තුව සිය ගණනක් මිනිස්සු ඊට එක්වන්නට පටං ගත්හ.
විරෝධතා දැඩි වෙද්දී ගමේ නියෝජිතයන් පිරිසකට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමට පැමිණෙන ලෙස දැනුම්දීමක් ලැබිණි. ඒ අනුව අගෝස්තු පළමු වැනිදා දහවල් ඔවුන් ඒ සඳහා පිටව ගිය අතර ජංගම දුරකතන ක්‍රියාවිරහිත කර රැස්වීමට සහභාගී කර ගැණිනි. ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයට ගිය පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගූණවර්ධන පෙරටු කරගත් යුද හමුදාවේ විශාල පිරිසක් යතුරුපැදිවලින් සහ යුනිකෝන් රථවලින් මහනුවර කොළඹ පාරේ කොළඹ දෙස සිට පැමිණි අතර බැලුම්මහරට නුදුරින් ඔරුතොට පාරට හැරෙන ස්ථානයේ සිටි විරෝධතාකරුවන්ටත්, ජනමාධ්‍යවේදීන්ටත් පහරදී පන්නා දැමූහ.
එලෙස පහරදීමත් සමඟ ලියුම්කරු යුද හමුදාවේ එවකට මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට දුරකතන ඇමතුමක් දී මෙම තත්ත්වය දුනුම් දුන් අතර ඔහු පැවසුවේ ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡා යද්දී පාරවල් අවහිර කරගෙන විරෝධතා පැවැත්විය නොහැකි බවත්, එනිසා උද්ඝෝෂකයන් විසිරුවන බවත්ය. ලියුම්කරු මේ සම්බන්ධයෙන් එවකට ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ විජිත ඩී කොමසාරුටද දැනුම් දුන්නේය.
ඔරුතොට පාරට හැරෙන ස්ථානයට පහරදී උද්ඝෝෂකයන් පන්නා දැමූ හමුදාවේ පිරිස බැලුම්මහර මංසන්ධියට පැමිණි අතර විරෝධාකරුවන්ට ඉවත්වන ලෙස බ්‍රිගේඩියර් දේශප්‍රිය ගූණවර්ධන නියෝග කළේය. විරෝධතාකරුවෝ දේශප්‍රියට තම දුක කියන්නට පටං ගෙන ටික වේලාවකින් ගහපිය යනුවෙන් කියා විරෝධතාකරුවන්ට සහ ජනමාධ්‍යවේදීන්ට පන්න පන්නා ගහන්නට පටං ගත්තේය. අවට වැටවලින්වලින් පවා පොලු කඩා ගනිමින් හමුදාවේ සාමාජිකයෝ විරෝධතාකරුවන්ට පහර දුන්හ.
අනතුරුව ඔවුහු බැලුම්මහර මංසන්ධියේ සිට වැලිවේරිය බලා පිටත් වූහ. වැලිවේරිය නගර මධ්‍යයේ සාමකාමීව විරෝධතාවයේ යෙදී සිටි පිරිසට විසිර යන ලෙස දැනුම් දුන්හ. තමන්ට විසිර යෑමට මිනිත්තු කිහිපයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි විරෝධතාකරුවන්ටත්, සිදුවෙන සිදුවීම් අවාරණය කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ටත් යුද හමුදාව පන්න පන්නා පහර දුන් අතර උද්ඝෝෂකයන්ට වෙඩි තැබීය. අතුරු පාරවල්වල පන්න පන්නා වෙඩි තැබීය. නිවාසවලට පැන පහර දුන්හ. ආයතනවලට කඩා පැන පහර දුන්හ. වැලිවේරිය නගරයේ තිබෙන කිතුණු දේවස්ථානයට කඩා වැද එහි යාඥාකරමින් සිටි පිරිසට පහරදුන්හ. පල්ලිය ඇතුළේ වෙඩි තැබූහ. පල්ලිය ඇතුළේදී තරුණයෙකුට මැරෙන තුරු පහර දුන්හ. කන්‍යාසොයුරියට තුවක්කු දික්කළහ.
ම්ලේච්ඡ ලෙස හමුදාව හැසිරෙද්දී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභයගේ රැස්වීම අවසන් වූ අතර වැලිවේරියට යන තුරු ජංගම දුරකතන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස රැස්වීමට සහභාගී වූවන්ට උපදෙස් ලැබිණි. ඔවුන් වැලිවේරියට යන විට සියල්ල අවසන් වී තිබිණි.
ම්ලේච්ඡ ලෙස හැසිරුණු හමුදාව වෙඩි තබා සහ පහර දී තිදෙනකු මරා දමා තවත් විශාල පිරිසකට තුවාල සිදුකර මංමාවත්වල තිබුනු ලේ සෝදා උණ්ඩ අහුලා ඔවුන්ට ඉහළින් ලැබුණු රාජකාරිය එදින රාත්‍රියේ අවසන් කළහ.
සාමකාමී අරගලයට එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරනය කිරීමට මෙය පෙරටුගාමීන් සහ ජවිපෙ සංවිධානය කළ උද්ඝෝෂණයක් බවට ආණ්ඩුවේ පිරිස් ප්‍රචාරය කළහ. ප්‍රදේශවාසීන් හමුදාවට වෙඩි තැබූ, බෝම්බ ගැසූ බව කියෙවන ප්‍රවෘත්ති ජනමාධ්‍ය පළකළහ. අරගලයේ සිටි පිරිස් විවිධ වරප්‍රසාද දෙමින් අරගලයෙන් වෙන් කිරීමට උත්සාහ කළහ. වෙඩි තැබීමෙන් සහ මඩ ප්‍රචාරවලින් රතුපස්වල සටන දියාරු කරන්නට නොහැකි විය. වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව ඉවත් කරගෙන රැගෙන යනතුරු සටන දිගටම සිදුවිය.
ම්ලේච්ඡ ප්‍රහාරය ගැන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය කළේ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ අධීක්ෂණය යටතේය. විමර්ශන සිදුවූයේ සැකරකැවන් බේරෙන ආකාරයටය. 2015 පෙබරවාරි 06 වැනිදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රදේශවාසීන් පිරිසක් ද එම ඉල්ලීමම කළේය. පොලිස්පති එන් කේ ඉලංගකෝන් විසින් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය.

විමර්ශන අතරතුරදී බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ හමුදාවේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඉදිරි විමර්ශන සඳහා හමුදාවේ සහාය නොලැබිණි. වෙඩි තැබීමට අණ දුන්නෝ සහ හමුදාව කැඳවූවෝ අත්අඩංගුවට පත් නොවූහ. අන ක්‍රියාත්මක කළ පිරිසෙන් කොටසකට පමණක් නීතිය ක්‍රියාත්මක විය. ඊට අදාල නඩුව ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී තවමත් විභාග වෙයි.
රතුපස්වල දී හමුදාව ලවා උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට එරෙහිව කතා කළ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද රටේ විධායක ජනාධිපතිවරයා බවට පත්ව තිබේ. එදා විවේචනය කළ රනිල්, රාජපක්ෂලාගේ ඇවෑමෙන් ජනාධිපති ධුරයට පත්ව රාජපක්ෂලාගේ මර්දනයේ දිගුව ක්‍රියාත්මක කරමින් සිටී. කාලය වෙනස් වුවද, පාලකයන් මාරු වුවද මර්දනයේ කිසිදු වෙනසක් සිදුවී නැත. මර්දනය තවත් ශක්තිමත්වීම සහ මර්දනයට නීත්‍යනුකූල ස්වරූපයක් ලැබීම පමණක් සිදුවී තිබේ. මර්දනයට මුහුණ දී සටන ජය ගැනීමට රතුපස්වලින් උගත හැකි පාඩම් බොහෝය.
Previous articleඅනීතිකව පැහැර ගත් වෙරංගට නීතිඥ නියෝජනයත් අහිමි කරලා
Next articleවෙරංග බලන්න මානව හිමිකම් කොමිසමටත් ඉඩ නොදෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here