වසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය (TID) මගින් වසරක කාලයක් රඳවාගෙන සිටි අහ්නෆ් ජසීම් කවියා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කර ඇතැයි ඔහුගේ නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා කියයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවක් පවුලේ ඥාතීන්ට හෝ ඔහුගේ නීතිඥවරයා වශයෙන් තමන්ට හෝ දැනුම් නොදුන් බවත්, එහෙයින් ඔහු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.
2020 මැයි 16 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් අහ්නෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් පටන් වසරක කාලයක් රඳවා තබාගෙන සිටි ඔහු පසුගිය මැයි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
සේව්ද පර්ල් නම් ආයතනයට අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී ‘නවරසම්’ නම් කවි පොත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණු අතර, එම කවි පොතේ රචකයා වූයේ අහනෆ් ජසීම් නම් තරුණයා ය. එය අන්තවාදය පතුරුවන පොතක් බව කියමින් මන්නාරමේ පදිංචි මෙම තරුණයා ද අත්අඩංගුවට ගනු ලැබීය.
එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් විසින් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස මෙම තරුණයාට බල කළ බව කියැවිණි. ඔහු රඳවා තබාගෙන සිටියදී මීයෙකු සපා කෑම නිසා ප්‍රතිකාර ලැබීමට සිදුවී තිබුණු බව ද ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.
අහ්නෆ් ජසීම් කවිහා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය කාලයේ විවිධ සංවිධාන විවිධ වැඩසටහන් සහ සාකච්ඡා පැවැත්වීය. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
අහ්නාෆ් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන අංශ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥ සංජය විල්සන් මෙසේ ද පැවසීය.
‘කවුරුත් නොදැන, කාටවත් දැනුම් නොදී අහ්නාෆ්ව 12 වැනිදා කොළඹ – අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. තංගල්ලෙ රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඳලා 11 වැනිදා තමයි ඔහුව කොළඹ ගෙනැත් තියෙන්නෙ. අහ්නාෆ් වෙනුවෙන් නීතිඥවරයෙක් ඉදිරිපත් වීම් වළක්වන්න සැලසුම් සහගතව කරපු වැඩක් මේක. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්තිය යටතේ තමයි ඔහුට චෝදනා ගොනුකරන්න ඇත්තෙ. ඔහුට මීට කලින් බී වාර්තාවෙන් ඒ විදිහටයි චෝදනා ගොනු කරලා තිබුණෙ. මේ වගන්තිය යටතේ ඉදිරිපත් කළාම මහාධිකරණයේ නඩුව අහලා ඉවර වෙනකම් ඇප ගන්න බෑ. කොහොමත් අපි තවම දන්නෙ නෑ, මුලින් දාපු බී රිපෝට් එකට වඩා චෝදනා වෙනස් කරලද කියලා.’
Previous articleඇප දීමේ තීන්දුව හෙට : එක් කටඋත්තරයක් නිසා රිමාන්ඩ් කිරීම අසාධාරණයි – ශානිගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට කියයි !
Next articleශානිට – මෙන්ඩිස්ට මාස 10කට පසු ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here