ශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07 වැනිදා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න ගැන නියෝගය දෙසැම්බර් මස 07 වැනිදා ලබා දීමට ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද තීන්දු කළේය.

මාස හතරක පමණ කාලයක සිට රිමාන්ඩ් බාරයේ පසුවන ශානි අබේසේකර මහතා සහ සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු ඇප අයැදුම්පත් දෙකක් අද ගම්පහ මහාධිකරණයේදී කැඳවූ අතර එහිදී නීතීඥවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ දීර්ඝ කරුණුදැක්වීම් සැලකිල්ලට ගෙන ඇප නියෝගය ලබන 07 වැනිදා ලබා දීමට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගොනුව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි ද, මෙම සාක්කිකරුවන් කියන්නේ සත්‍යද නැද්ද යන්න ගැන නිගමනය කළ හැක්කේ විමර්ශනවලින් පසුව යැයි ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා සිය කරුණු දැක්වීම අතරතුරදී ප්‍රකාශ කළේය.

ශානි අබේසේකර මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප.339/20 දරණ ඇප අයැදුම කැඳවූ වස්ථාවේදී ශානි ඔහු වෙනුවෙන් නීතීඥවරු පිරිසක් සමඟ නීතීපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කරුණු දැක්වීය.

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර – අද නීතිපති දෙපාර්තමේන්තුව සතුටු වෙනවා ඇති. මොකද කීර්තිමත් රහස් පරීක්ෂකයෙක් වෙච්ච ශානි අබේසේකරට කොවිඩ් හැදිලා කියලා මාධ්‍ය වාර්තා කරලා තියනවා. ශානි අබේසේකරගේ පවුලේ අය තවම දන්නේ නෑ ඔහුගේ තත්ත්වය ගැන.  මීට පෙර මෙම ඇප ඇයැදුම කැඳවපු වෙලාවෙ අපි දීර්ඝ ලෙස කරුණු දැක්වුවා ශානි අබේසේකර මහතාට ඇති රෝගාබාධ ගැන. මේවා දැනුම් දුන්නම එක දවසින් දුරකතනයෙන් ගන්න පුලුවන් වාර්තාවක් ගන්න රජයේ නීතීඥවරිය සති දෙකක් කල් ගත්තා සාධාරණ හේතුවක් නැතිව. මෙම තැනැත්තා ගැන දරුණු අවධානමක් තියෙද්දි නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ මෙහෙමයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තු දා ඉඳන් මහේස්ත්‍රාත් අධිකරණයේදී අපි දිගටම කිව්වා මේකට නීතිපතිගේ සහාය ලබාගන්න කියලා. මහේස්ත්‍රාත්තුමාත් අවස්ථා කිහිපයකදී කිව්වා මේකට නීතිපතිගේ සහාය ගන්න කියලා.  එච්චර කියලත් මහේස්ත්‍රාත් උසාවියේ නඩුවට රජයේ නීතීඥයෙක්වත් එව්වේ නැති නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබා දෙනවට විරුද්ධ වෙන්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක් එවලා.

දැනට මේ තියන සිද්ධියට අදාල ලිපි ගොනුවක් 2014 සිට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. එහෙම තියෙද්දි පොලිසිය ශානි අබේසේකර අත්අඩංගුවට අරගෙන තියෙන්නේ නීතිපති උපදෙස්වත් නැතුව. 2014 ඉඳන් නීතිපති දෙපාර්මේන්තුවේ ෆයිල් එක තියනවා. මේක වුණා කියන්නේ 2014 මාර්තු 14 වෙනිදා. හැබැයි පැමිණිල්ල කරලා තියෙන්නේ 2020/06/24 වෙනිදා. අවුරුදු හයකට පස්සේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියේ තිබෙනවා නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුයි කියලා.  සාමාන්‍යයෙන් ඇප දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විරෝධතා හෝ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. හැබැයි මේ නඩුවෙදි පුදුම සහගත ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඉදිරිපත් කළ වාර්තාවක් පමණයි. ඒ වාර්තාව එහෙමම ඉදිරිපත් කරලා තියෙන්නේ. පොලිසියෙන් දෙන වාර්තාව එලෙසම දෙන්න නම් ඇයි පසුගිය අවස්ථාවේ නීතිපති දෙපාර්මේන්තුවෙන් කල් ඉල්ලුවේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය බරපතල ලෙස කඩ කරලා තිබෙනවා.

මේ කියන සිද්ධියේ ආයුධවල අයිතිකරු කවුද? අයිතිකරු හිටපු ඩී.අයි.ජී මිනීමරු වාස් ගුණවර්ධන. දැන් මේ වාර්තාවලින් කියන විදිහට වාස් ගුණවර්ධනගේ ආයුධ ටික ඔහුගේ ගෙදරින් අරගෙන වෙනත් තැනකට ගිහින් දාලා අත්අඩංගුවට ගත්තා කියලයි කියන්නේ. එහෙම නම් ශානි අබේසේකරට කොහොමද ආයුද සන්තකයේ තබා ගත්තා කියලා දාන්නේ? ශානි අබේසේකරගේ සන්තකයක් කොහෙද?

මේ සිද්ධිය සම්බන්ධය 2014 වසරෙදි ශානි අබේසේකරලා නීතිපතිට වාර්තා කරලා තියනවා. ඒ ෆයිල් එක තවම නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. මේ අයුධ අයිති ඩීඅයිජී වාස්ට.  මේ අයුධ ටික ශානිලා හොයා ගන්නේ වාස්ගේ කාර්යාලයේ වැඩ කරපු විල්ලවආරච්චිගේ කටඋත්තරයක් අනුව. විල්ලවආරච්චියි ආයුධ තියන තැන කියලා තියෙන්නේ. මේක ඇත්ත නම් ඔහුවත් අත්අඩංගුවට ගත යුතුයි. ඔහුව ගන්නේ නැත්තේ ඇයි ඇහුවම කියනවා ඒකට නීතිපති උපදෙස් ලැබුණේ නැහැ කියලා. එයාලව ගන්න නීතිපති උපදෙස් අවශ්‍යයි. ශානිලව ගන්න නීතිපති උපදෙස් අවශ්‍ය නෑ. ශානිලට ආයුධ ගැන කටඋත්තර දුන්නු කෙනාව අරගන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට.

ශානි අබේසේකර කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු විශිෂ්ඨතම රහස් පරීක්ෂකයා. ඔහුට ශර්ලොක් හෝම්ස් කියලා නම පට බැදලා තිබ්බේ. ඔහුගේ විමර්ශන අනුව නීතිපති දෙපාර්තමේන්තුව නඩු කියලා බොහෝ දෙනකු වැරදිකරුවන් වෙලා තිබෙනවා.  ශානි බොරු සාක්කි හැදුවා නම් නීතිපති එකේ අයට ඒවා අහුවෙන්නේ නැද්ද? එයාලා බබාලද? බොරු සාක්කි හඳුනාගන්න බැරිද? එහෙම නම් මේ ෆයිල් එක කළ නීතිපති එකේ අයත් මේකට වගකියන්න ඕනෑ.

එකැන්ලිගොඩගේ නඩුව වැනි නඩුවලට ශානි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා. කාටවත් ශානිව සල්ලිවලට ගන්න බැරිවුණා. ඒ නිසා ශානිට කිසිම සාධාරණයක් නැති නඩුවක් දැම්මා.

මේ ආයුධ ගොඩේ විවිධ ආයුධ තිබ්බා කියලා දාලා තිබෙනවා. එතැනින් ආයුධ තුනක් වාස්ට පොලිසියෙන් නිකුත් කළ ශොට්ගන් තුනක්. පොලිසියේ ලේඛන අනුව ඒ තුන පොලිසිය නිකුත් කරපුවා. මේ අයුධ තොගයේ ඒ තුනත් තිබෙනවා. ඒවා වාස්ගේ ආයුධ කියලා තියෙනවා. එහෙම නම් මේකට ඇයි වාස්ව ගන්නේ නැත්තේ? මෙන්ඩිස් කියන උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කළාම ඔහු මහේස්ත්‍රාත්ට ප්‍රකාශයක් ලබා දෙමින් කිව්වා මේකට ශානිව ඇල්ලුවොත් ඔහුව බේරනවා කියල කොළඹ අපරාධ කොට්ඨාසයෙන් කිව්වා කියලා. එයාලට ඕන අයයි එයාලා අත්අඩංගුවට ගන්නේ. ශානිට එක නීතියක්. වාස්ට එක නීතියක්. ශානි කියන නම්බුකාර පොලිස් නිලධාරියා ඇරෙස්ට් කරලයි ෆයිල් යවන්නේ. අනිත් අයට නීතිපති උපදෙස් එනකං ඉන්නවා.

නිශාන්ත සිල්වා රටින් පැනගත්තා, ඒ නිසා ශානිට ඇප දුන්නොත් ඔහුත් රටින් පනියි කියලා ඇප දෙන්න එපා කියලා තියෙනවා. ශානි අබේසේකරව 30 වතාවක් ගෙන්නුවා විවිධ දේවල්වලට පටලවන්න. ශානි පැනලා ගියේ නෑ. කැඳෙව්වම ගියා. සීඅයිඩී එකෙන් මාරු කළාම පැනලා ගියේ නෑ. ඊට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ශානි කියන්නේ පැනලා යන නිලධාරියෙක් නෙමෙයි.  නිශාන්ත රටෙන් පැනයාම මේකට අදාල දෙයක් නෙමයි. ඔහු ගියේ මේ නඩුවේ පැමිණිල්ල එන්නත් කලින්. ඔහු අත්අඩංගුවට ගන්න කම් අපි රිමාන්ඩ් වෙලා ඉන්න ඕන නෑ.

ශානි අබේසේකරගේ විමර්ශන සම්බන්ධයෙන් ඔහුට කීර්ති ප්‍රශංසා ලැබිලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙනුත් ඔහුට කීර්ති ප්‍රශංසා ලැබිලා තිබෙනවා.

රොසලින් එදිරිව සුන්දරලිංගම් සහ තවත් අය, වික්‍රමසූරිය එදිරිව නීතිපති ආදී නඩුතීන්දු අධිකරණයේ අවධානයට යොමු කරනවා.

ශානිට නඩු දාන්න බෑ. ඒ නිසා මාංචු කුට්ටම දාලා කොමිසංවලට අරං ගිහින් සංදර්ශන තියන්න තමයි හිරකරලා තියෙන්නේ. මෙය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක්. සමස්ත පොලිස් නිලධාරීන්ම බය කිරීමක්.

ශානි අබේසේකර මේ වෙනකොට රෝග කිහිපයකින් පීඩා විඳිනවා. ඔහුට දියවැඩියාව තිබෙනවා. තවත් රෝග තිබෙනවා. දැන් ඔහුට කොවිඩ් ආසාදනය වෙලා කියලා කියනවා. ශානි අබේසේකරගේ ජීවිතය අවධානමක තියෙන්නෙ. කොවිඩ් හැදිලා මිය ගිය අයගෙන් බොහෝ දෙනකුට දියවැඩියාව ආදී රෝග තිබුණා කියලා වාර්තා වුණා. මොහුගේ ජීවිතයත් දැන් දැඩි අවධානමක තිබෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලදාරීන්ට පඩි ගෙවන්නේ දේශපාලනඥයන්ගේ සල්ලිවලින් නෙමෙයි. මිනිස්සුන්ගේ සල්ලිවලින්.

සාමාන්‍යයෙන් සැකකාරයා සමඟ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නමුත් මේ කියන ආයුධ තවම ඉදිරිපත් කරලා නෑ. ශානිට චෝදනා දාන්න බැරි නිසා රිමාන්ඩ් එකේ තියලා වින්දනයක් ගන්නවා. මෙම විශිෂ්ඨ පොලිස් නිලධාරියාට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.’’

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම පෙත්සම සඳහා ගම්පහ මහාධිකරණයේ රජයේ නීතීඥවරිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියේය. ශානි අබේසේකර මහතාට ඇප ලබා දීමට ඔහු විරෝධය පළ කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න – මෙම ඇප අයැදුමට ඇප ලබාදීමට විරෝධය පළකරනවා. මෙම ජනාධිපති නීතීඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවට පෞද්ගලිකව එක එක ඒ්වා කිව්වා.

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර – මම පෞද්ගලික දේවල් කිව්වේ නෑ. මම කිව්වේ රාජකාරිමය දේවල් විතරයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න – ජනාධිපති නීතීඥවරයාගේ කරුණු දැක්වීමට විරෝධය පළ කරනවා. මේ නඩුව නීතිපති දෙපාර්තමේන්තුවට තවත් එක් නඩුවක් විතරයි. මීට වසර කිහිපයකට පෙර ඝාතනයක් ගැන විමර්ශනය කරලා ඒ සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළා. ඒ විමර්ශනයේ කොටසක් වශයෙන් අවි ආයුධ තොගයක් හොයාගත්තා. ඒ ගැන තවත් ලිපි ගොනුවක් නීතිපති ඒකේ විවෘත කළා. මිනීමැරුම ගැන වෙනත් ලිපි ගොනුවක්. ආයුධ සොයා ගැනීම ගැන තවත් ලිපි ගොනුවක් විවෘතවුණා.  ඒ ලිපි ගොනුව අධ්‍යයනය කරමින් සිටියදී තමයි දැනට උද්ගත වෙලා තියෙන සිද්ධිය සිද්ධ වෙන්නේ.

පුද්ගලයන් කිහිප දෙනෙක් ගම්පහ මහේස්ත්‍රාත් ඉදිරිපිට ප්‍රකාශ කිහිපයක් දුන්නා. ඔවුන් කිව්වා ඔවුන්ට බලපෑම් කරලා ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ඔවුන්ට ආරෝපණය කරලා ශානි හා නිලධාරීන් අසත්‍ය නඩුවක් නිර්මාණය කළා කියලා. 2020/7/17 සහ 2020/7/21 ඒ ප්‍රකාශ ලබා දීලා තියෙනවා. මේ අනුව සිද්ධිමය කරුණු කිහිපයක් මේ ප්‍රකාශ ඒක්ක පැන නැගුණා. ඒ ගැන විමර්ශන යනවා. ඇප අයදුම්මේ 15 වගන්තියට අවධානය යොමු කරනවා. තවමත් විමර්ශන සටහන් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වෙලා නෑ.

දැනට තියන සාක්කි අනුව අසත්‍ය නඩුවක් නිර්මාණය කළා කියලා සාක්කිකරුවන් ටිකක් කියලා තියනවා. අපිට නිගමනයට එන්න බෑ මේ අය සත්‍ය කිව්වද, අනිත් අය සත්‍ය කිව්වද කියලා. විමර්ශන අවසන් වූ පසුවයි අපට ඒක කියන්න වෙන්නේ.

මේ විමර්ශනයට නීතිපති උපදෙස් ගත්තේ නෑ කිව්වා. කොහොමද විමර්ශන අවසන් වෙන්න කලින් නීතිපති උපදෙස් ගන්නේ? මේ නඩුවේ මූලිකාංගය තමයි බොරු සාක්කි හැදුවායැයි කියන එක. සාක්කිකරුවන්ට බලපෑම් කරලා තියනවා කියලා සාක්කි දීලා තියන නඩුවක්. වෙනත් නඩු වගේ නොවෙයි. එවැනි නඩුවකට ඇප ලබා දෙන්න අධිකරණයට හැකියාවක් තියෙනවද?

මේ පරීක්ෂණයට අදාලව නිශාන්ත සිල්වා කියන සැකකරු රටෙන් පැනගොස් තිබෙනවා. ඔහු රටෙන් පැනගොස් තිබෙන්නේ කොහොමද කියලවත් තවම දන්නේ නෑ. ඒ නිසා මෙම අවස්ථාවේ තුන් වැනි සැකකරුට (ශානි අබේසේකරට) ඇප ලබා දීම සුදුසු නෑ.

ජනාධිපති නීතීඥවරයා කිව්වා තුන්වැනි සැකකරුට දීර්ඝ කාලයක සිට බරපතල රෝග තිබෙනවා කියලා.

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර – මම කිව්වේ නැති ඒවා කියන්න එපා. දීර්ඝ කාලයක සිට කියලා මම කිව්වේ නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මේ රෝග ගැන වාර්තා තියෙන්නේ අත්අඩංගුවට ගත්තට පස්සේ ඒවා සහ අත්අඩංගුවට ගන්න ආසන්න කාලයේ ඒවා.

ජනාධිපති නීතීඥ – පරණ ඒවා දැම්මා නම් කියයි මේවා පරණ ඒවා, අලුත් ඒවා නෙමෙයි කියලා. ලජ්ජා සහගත වැඩ කරන්න එපා.

(මෙම පෙත්සම කැඳවීමට පෙර මහාධිකරණයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක ඇප අයැදුමක් ඉදිරිපත් විය. එහිදී සැකරකුගේ නීතීඥයා කරුණු දක්වමින් සැකකරු රෝගාබාධවලින් පෙළන බැවින් ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ රජයේ නීතීඥවරිය ප්‍රකාශ කළේ ඇප අයැදුමට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පරණ ඒවා බවයි. එබැවින් ඇප ලබාදීමට විරෝධය පල කරන බව ඇය කීවාය. මෙය මෙම නඩුවට අදාල කාරණයක් නොවේ.)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ඇප පනතේ 214 වගන්තිය කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ.  මේක ඇප ලබා දිය නොහැකි වරදක් කියලයි අපි අර්ථකථනය කරන්නේ. පීඩාකාරී ආයුධ පනත හා ගිනිඅවි ආඥා පනත අනුවයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස් වෙනි උපලේඛනයේ තිබෙනවා ඇප ලබා දිය හැකි සහ ඇප ලබා දිය නොහැකි වරදවල් ගැන. දඬුවම අවුරුදු තුනට වැඩි නම් ඇප දිය නොහැකි වරදක්. අනුරුද්ධ රත්වනත්ත එදිරි නීතිපති නඩු තීන්දුව කෙරෙහි අවධානය යොමු කරනවා.

මේ නඩුවේ සැකකරුවෙක් (නිශාන්ත සිල්වා) රට ගිහින් තිබෙනවා. සැකකරු ගියේ බෝට්ටුවෙන්ද, ගුවන් යානයෙන්ද කියලා දන්නෙත් නෑ.

මේක අපට තවත් නඩුවක් පමණයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 55කට අද වෙනකොට කොවිඩ් ආසදනය වෙලා තිබෙනවා. ඒ බාධක මැද විමර්ශන කරන්න ඕන. මේ සිද්ධියේ මූලික කරුණ සාක්කි හැදුවා කියන එක. මගේ මතය නම්, නීතිපති මතය නම් මේ තත්ත්වය යටතේ ඇප ලබා දීම සුදුසු නෑ. අපි අවස්ථාවක් දිය යුතුයි විමර්ශන ඒකකයට විමර්ශනය කරන්න.

ඕෆ් ද රෙකෝඩ් කියන්නේ සීසීඩී එක ගැන…

ජනාධිපති නීතීඥ – ඕෆ් ද රෙකෝඩ් මොනවද කියන්නේ? රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරන්න. ලැජ්ජයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.2 අනුව කියන්නේ රඳවා තබා ගැනීම හෝ සංචරණය සීමා කළ යුත්තේ නීතියෙන් ඇතිකර තිබෙන විදිවිධාන අනුව බවයි. මෙතන කතා කරන නීතිය ඇප පනත. ඇප පනතේ 14.1 සහ 14.2 යටතේ ඇප ඉල්ලීමට විරෝධය දක්වනවා.

වික්‍රමසිංහ නඩුව ගැන කතා කළා. ඒ නඩුවේ වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ ඉඳලා තියෙනවා. වසරක කාලයක් විමර්ශන අවසන් වනතුරු රිමාන්ඩ් කළ හැකියි. ඉන් පසු නීතිපතිගේ ඉල්ලීම උඩ තවත් වසරක කාලයක් රිමාන්ඩ් කළ හැකියි. වසර දෙකකටත් වැඩි කාලයක් රිමාන්ඩ් කිරීම ගැනයි ඒ නඩුව.

මේ නඩුව සම්බන්ධයෙන් විමර්ශන වාර්තා තවමත් ලැබී නෑ.

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර – සාක්කිකාරයෝ පහක් සාක්කි දුන්නා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කිව්වට ඒ කවුද කියලා කිව්වේ නෑ. මම කියන්නම් කවුද කියලා. ඒ මිනීමරු වාස් ගුණවර්ධන යටතේ වැඩ කරපු අය. නම් කියන්නේ නැතුව මෙතුමා කිව්වේ ඒකයි. 2020/6/17 සහ 2020/6/21 සාක්කි දෙන්නේ අවුරුදු හයකට පස්සේ.  සාධාරණ හේතුවක් නැතිව ප්‍රමාධ වෙලා පැමිණිලි කරනවා කියන්නේ කොහොමත් සැක සහිතයි. ස්ත්‍රී දුෂණ නඩුවක නම් දින කිහිපයක් පැමිණිල්ල ප්‍රමාධ වුණත් සාධාරණ හේතුවක් නැතිනම් සැකයක් එනවා ඒක ඇත්තද නැද්ද කියලා.

මේ කියපු සිද්ධියට අදාලව ඕ.ඩබ්ලිව් 216/2014 යටතේ සීඅයිඩියේ ශානි අබේසේකරලා යැව්ව ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙමද විමර්ශන කරන්නේ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – සීසීඩී එකට කොවිඩ් හැදිලා……

ජනාධිපති නීතීඥ – යන්නේ කොහෙද මල්ලේ පොල්…. විමර්ශනයක් ඉවර වෙනකම් ඉන්න ඕනද නීතිපති උපදෙස් ගන්න? උගත් මිත්‍රයා කියනවා නිශාන්ත සිල්වා ගිය විදිහක් දන්නේ නෑ කියලා. සාධාරණයි. මොකද ශානි අබේසේකර වගේ දක්ෂ නිලධාරීන් දැන් නැහැනේ. ශානි අබේසේකරලා හිටියා නම් ටක් ගාලා ඒක හොයාගන්නවා.

ඇප පනතේ තියෙන්නේ ඇප ලබාදීම රීතියක් , ඇප ලබා නොදීම ව්‍යතිරේඛයක් කියලයි. ඔබතුමා ඉදිරියේ තියන ගොනුව බලන්න මේ කියන දේවල් සත්‍යද අසත්‍යද කියලා.

මේ ආයුධ ආපු විදිහ හොයාගෙන නෑ කියලා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා. හැබැයි පොලිසියේ වාර්තාවල දිගටම කියනවා ආයුධවල අයිතිකාරයා වාස් ගුණවර්ධන කියලා. මොනවද මේ පරස්පර කතා? සියාම් ඝාතනය ගැන ශානි විමර්ශන කරලා ඩීඅයිජී වාස් හිරේ යැව්වා. ඉතින් ඔවුන් ශානි එක්ක තරහක් තිබීම සාධාරණයි. ඒ්අනුවයි අවුරුදු හයකට පස්සේ පැමිණිල්ල දාන්නේ. ඒ නඩු දෙක වෙනම දෙකක් නෙමෙයි. ඒක නඩුවක අනුශංගික ඒකක්. ”

ඉන් පසු උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් සම්බන්ධයෙන් ඉදිරිපත් ඉදිරිපත් කර තිබූ ඇප.374/20 ඇප අයැදුම වෙනුවෙන් නීතීඥ හෆීල් ෆාරිස් ඇතුළු නීතීඥවරු පිරිසක් සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරල මහතා පෙනී සිටිමින් කරුණු දැක්වීය.

ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරල – ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ බී 1546/20 නඩුවේ සැකකරු සුගත් මෙන්ඩිස් වෙනුවෙන් මෙම ඇප ඇයදුම ඉදිරිපත් කර තිබෙනවා. මේක මෙතන වරදක් වෙලාද නැද්ද කියලා තීරණය කරන අවස්ථාවක් නොවෙයි. මෙතන තීරණය කරන්නේ ඇප දෙන්න පුලුවන්ද, බැරිද කියලා පමණයි. ඇප දෙන්න පුලුවන් විදිහ මම පැහැදිලි කරන්නම්.

ඇප පනතේ දෙවැනි වගන්තියේ තිබෙනවා ඇප දීම රීතයක්, ඇප නොදීම ව්‍යතිරේකයක් කියලා. 14 වැනි වගන්තියේ තිබෙනවා ඇප නොදිය හැකි හේතු.

මෙන්ඩිස් කියන පොලිස් නිලධාරියා සේවය කරමින් සිට නිවාඩු ගොස් සිටියදී ඔහුට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවලා පොලිස් පණිවුඩයක් ලැබිලා තියෙනවා. ඔහු රාජකාරියට වාර්තා කළ පසු පොලිසිය එය ලබා දෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් වෙනත් දිනයක් ඉල්ලගන්නවා එහි යන්න. මොහු අත්අඩංගුවට පත් වෙන බව දැනගෙනම කොළඹ අපරාධ කොට්ඨාසයට යනවා. ඔහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් කිව්වා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන් දෙදෙනක් ශානි අබේසේකර මහතාට විරුද්ධව සාක්කි ලබා දෙන ලෙසට බලපෑම් කළ බව. ශානි අබේසේකරට විරුද්ධව සාක්කි දුන්නොත් බේරනවා කියලා කිව්වා කියලා ඔහු මහේස්ත්‍රාත් ඉදිරිපිට ප්‍රකාශ කළා.  ශානි අබේසේකරට විරුද්ධව බොරු ප්‍රකාශ නොදුන් නිසයි ඔහු අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා ඉන්නේ.

මොවුන් විමර්ශනවලට බාධා කරන්නේ නෑ. ඔවුන් පොලිස් සේවයේ සිටියදීම තමයි මේ සාක්කිකාරයෝ ඇවිත් පැමිණිලි කරලා තියෙන්නේ. නමුත් ඔවුන්ට කිසිම බලපෑමක් වුණා කියලා නඩුවේ වාර්තා කරලා නෑ. දැන් ඔවුන්ගේ වැඩ තහනම් වෙලා ඉන්නේ. පොලිස් සේවයේ ඉන්දි බලපෑම් නොකර දැන් බලපෑම් කරන්න කොහොමද විදිහක් නෑ.

මේ සිදුවීම ගැන ඩයස් මුල් ප්‍රකාශයෙන් පස්සේ මේ ප්‍රකාශය දීලා තියෙන්නේ 2020 හත්වෙනි මාසේ. සීසීඩී තමන් බාරයේ සිටි සැකකරුවන් මරා දමනවා හැරෙන්න මාස තුනක් තිස්සේ මොනවද කළේ? කොවිඩ් ප්‍රශ්නය ආවේ ඔක්තෝබර 05 වැනිදා.

සීසීඩී එක වාර්තා කරලා තියෙන්නේ බොරු. ඇප වාර්තාවේ තියෙනවා ……. (නම අපැහැදිලිය) කෙනාගේ ප්‍රකාශයක් වාර්තා කරන්න තියනවා කියලා. හැබැයි මුල් බී වාර්තාවෙම ඇගේ කටඋත්තරයක් දාලා තියෙනවා.

නිශාන්ත සිල්වා රට ගියේ 2019 වසරේ නොවැම්බර් 23 හෝ 24. එයා ගිහින් මාස හතකට පස්සෙයි මේ පැමිණිල්ල ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ඕන තරම් කාලය තිබ්බා මේ අයට රට යනවා නම් යන්න. ඔවුන් ඒහෙම කළේ නෑ. ඔවුන් පැනලා යන්නෙත් නෑ.

සල්ලි හම්බ‌ නොකර, පඩියෙන් විතරක් ජීවත් වන අවංක නිලධාරීන්ට අත්වෙන ඉරණම මොකක්ද කියන එකේ ජීවමාන සාක්කිය තමයි ශානි සහ මෙන්ඩිස්. දැන් අඹුදරුවන්ටත් කන්න දෙන්න කෙනෙක් නෑ. රාජකාරි දේවකාරියක් සේ සලකලා කරන නිලධාරීන්ට අත්වෙන ඉරණම තමයි මේ. ”‍

ඇප ලබා දීමට විරුද්ධ වෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කර තිබූ සියලු කරුණුවලට නීතීඥ චමින්ද අතුකෝරල මහතා වෙන් වශයෙන් පිළිතුරු ලබා දුන්නේය. එම එක කරුණක්වක් ඇප දීමට බාධාවක් නොවන බව අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මේ නඩුවේ පදනම තමයි බොරු සාක්කි හදපු එක…

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර – මේ නඩුවේ පදනම ගිනි අවි ළඟතබා ගැනීම කියන එකයි. ඒ්කයි ග්‍රේව් ක්‍රයිම් එකක් කියලා දාලා තියෙන්නේ. අධිකරණය නොමග යවන්න එපා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මේ අවස්ථාවේ ඇප ලබාදීම සම්බන්ධයෙන් අපි විරුද්ධ වෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා ඇප නියෝගය දෙසැම්බර් 07 වැනිදා ලබා දෙන බව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ප්‍රකාශ කළේය. ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට නියෝග කරන ලෙස ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඉල්ලා සිටි අතර එය සෞඛ්‍යමය කාරණයක් නිසා එවැනි නියෝගයක් ලබාදීමට තමාට හැකියාවක් නැති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුව ගැන MediaLK පළ කළ වාර්තාවක් පහතින්.

 

Previous articleශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
Next articleශානි අබේසේකරට හෘදයාබාධයක් : මානව හිමිකම් කොමිසමෙන් දෙවැනි වතාවටත් ලිපියක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here