පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර ජනපතිටත් දැනුම් දුන් බවට විශ්වාසයි – සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ 

විදේශීය බුද්ධි අංශයකින් ප්‍රහාරයක් ගැන ලැබුණු තොරතුර රජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  ප්‍රහාරයට පෙර දැනුම් දී තිබෙන්නට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (26) ප්‍රකාශ කළේය.
අබේසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ කොළඹ ජාතික රෝහලේ සිට සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්කි ලබා දෙමිනි. ඔහු අද සාක්කි ලබා දුන්නේ දෙවැනි දිනටයි.
බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් නොකළ බවට බුද්ධි අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව කළ ප්‍රශ්න කිරීමක දී අබේසේකර මහතා මේ බව කීවේය.
බුද්ධි තොරතුර ගැන ප්‍රහාරයට පෙර ජනපතිවරයා දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් සැක කිරීමට යම් නිශ්චිත හේතුවක් ඇත්දැයි කොමිසම යළිත් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා මෙසේ කීවේය.
”පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පැවැත්වුණා. එහි සාක්කි දෙන්න බුද්ධි අධ්‍යක්ෂත් කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් කැඳවා තිබුණා. එම සාකච්ඡාවෙදි බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කිව්වා බුද්ධි ප්‍රධානීන් සාක්කි ගන්න කැඳවීම සුදුසු නෑ කියලා. ඔහු කිව්වා විදේශ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට දැනුම් දුන්නා කියලා. ඔහු ඒ ලැයිස්තුව කියද්දිම එකපාරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා මටයි අගමැතිටයි දැනුම් දුන්නේ නැහැ කියලා.  ජනාධිපතිට එය දැනුම් දුන්නේ නැති නම් ජනාධිපති එම අවස්ථාවේ අහන්න ඕනෑ ඇයි මට දැනුම් දුන්නේ නැත්තේ කියලයි. එහෙම ඇහුවේ නැතුව මට දැනුම් දුන්නේ නැහැ කියලා විතරක් කිව්ව එක ගැන සැකයි. රාජ්‍ය බුද්ධි සේවයේ සෑම බුද්ධි තොරතුරක්ම ජනාධිපතිට දැනුම් දෙනවා. ” යැයි ශානි අබේසේකර මහතා කීවේය.
ඊයේ සාක්ෂි විමසීම පහතින්… https://medialk.com/archives/3310
Previous articleමහින්ද කියපු දේ ඇහුවා – ගෝඨාභය අහන්නෙ නෑ : කොළඹ වරායේ ණය නැති ජැටියක අයිතිකාරයො වෙන්න අකමැති ඇයි ?
Next articleමාධ්‍ය ආයතන දෙකක බොරු ප්‍රවෘත්ති නිසා ශානි පාස්කු කොමිසමේදී සංවේදී වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here