ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂක පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටී.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාට ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව ඉල්ලා තිබේ.

මහර බන්ධනාගාරයේ සිටි ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වීමෙන් පසුව ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණ බව එම කොමිසම සඳහන් කරන අතර අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවට දැඩි සැලකිල්ලක් ඇති බව ද කියයි.

අබේසේකර මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ඒ මහතාට වෛරසය වැළඳී ඇත්නම්, වහාම ළඟම ඇති කොරෝනා ප්‍රතිකාර රෝහලකට යවා ප්‍රතිකාර ලබා දෙන ලෙසට නිර්දේශ කරන බවත් එහි දැක්වෙයි.

එහි මෙසේද සඳහන් වෙයි.

“මෙම පැමිණිල්ල කෙරෙහි ක්ෂණික ඔබේ අවධානය යොමු කරන ලෙසත් ඔබගේ භාරයේ සිටින ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂක පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

ඹබ දන්නා පරිදි නිදහස අහිමි වූ රැඳවියන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ආ), 11 (ඇ) සහ 28 (2) වගන්ති යටතේ කොමිසමට බලය හිමිවී තිබේ.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය එවා ඇත

කරුණාකර මේ පිළිබඳව ඔබගේ නිරීක්ෂණ සහ ගන්නා ලද ආරක්ෂක පියවරයන් ඇතුළුව ප්‍රතිචාර වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර 2020 නොවැම්බර් 30 දිනට පෙර අප වෙත එවන්න.”

විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම මහත්මියගේ අත්සනින් යුතුව එම ලිපිය යොමු කර තිබේ.

ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊ⁣යේ (25) ප්‍රකාශ කළ අතර ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමෙන් ඊයේ කළ ඉල්ලීමක් අනුව එම කොමිසම මෙම ලිපිය යොමු කර තිබේ.

Previous articleඉහළ පොලිස් ලොක්කන් මාරු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට
Next articleශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07 වැනිදා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here