වඳ කළැයි කී අම්මලා 130කට දරුවන් ලැබිලා ; සීඅයිඩිය උසාවියට කරුණු හංගයි ; අම්මලා දැන් දුක්වෙති

(තරිඳු ජයවර්ධන සහ ආන්‍යා විපුලසේන)
‘අපිට ඉන්නේ පුතාලා දෙන්නෙක්. අපිට දුවෙක් ඕනා වුණා. දුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්දි තමයි මීඩියාවලින් දැම්මේ වෛද්‍ය සාෆි සීසර් කරද්දි වඳ කරලා කියලා. මගේ පුතාලා දෙන්නම සීසර් කරලා ගත්තේ. දෙවැනි සීසර් එක කළේ වෛද්‍ය සාෆි. ඉතින් අපි බය වුණා. මමත් ගිහින් පැමිණිල්ලක් දැම්මා.’ යැයි ප්‍රකාශ කළේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්ට එරෙහිව පැමිණිලි කළ පොතුහැරට නුදුරු ප්‍රදේශයක මවකි.
වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම්වලට බාජනය කළැයි කියන මව්වරුන්  869 දෙනකුට ආසන්න පිරිසක් තමන් සිසේරියන් සැත්කමට භාජනය කරද්දී නැවත දරු උපතක් සිදු නොවන ලෙස වඳ බාවයට පත්කර ඇත්දැයි සැක සහිත බව කයමින් පැමිණිලි කර තිබේ.   මව්වරුන් එලෙස පැමිණිලි කරන්නට වූයේ 2019 මැයි මාසයේ දී එකදු පැමිණිල්ලක්වත් නොමැති අවස්ථාවක ‘තව්හිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා : සාක්කි සහිතව අනාවරණය වේ : දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ’ මැයෙන් දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකින් පසුවය. එම මාධ්‍ය වාර්තාවෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවකට අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් සාෆිට එරෙහිව පැමිණිලි කරන ලෙසට ආරාධනා කිරීමෙන් පසු ජනමාධ්‍ය ඊට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය.
එම සිදුවීම්වල දී ජනමාධ්‍යයේ හැසිරීම ගැනත්, සාෆි වෛද්‍යවරයා කොටු කිරීම සඳහා එවකට කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රමුඛ පිරිස සිදු කළ කුමන්ත්‍රණය ගැනත් MediaLK මීට පෙර අවස්ථා ගණනකදී හෙළිදරව් කළේය.

මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01

වෛද්‍ය සාෆිගේ සිදුවීම මුල සිටම වාර්තා කළ MediaLK එම මව්වරුන්ගේ ලැයිස්තුවෙන් අහඹු ලෙස තෝරාගත් මව්වරුන් පිරිසක් සොයා යෑමට තීරණය කළේ පැමිණිලි කළ මව්වරුන්ගෙන් සැලකියයුතු පිරිසකට මේ වන විට දරුවන් ලැබී ඇතැයි ලැබුණු තොරතුරු තහවුරු කර ගැනීම සඳහාය.
අප පොතුහැර ප්‍රදේශයේ මව්වරුන් පිරිසක් සොයා මුලින්ම යද්දී සවස්වී තිබිණි. පොතුහැර එක්තරා ගම්මානයක ලිපිනයක් සොයා ගිය අපට එම නිවස සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. ඊට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ වාර්තාවල සඳහන් ලිපිනයේ යම් වෙනස්කමක් සිදුවී තිබුණු බැවිනි. අපි අදාල නිවස සොයා එහි යන විට වයස අවුරුදු දෙකකට ආසන්න පුතකු සමඟ අත්තම්මා කෙනකු සිටියාය.
‘දුව නෑ. කෑගල්ලේ මලගෙදරක ගියා. දැන්නම් එන්ඩ වෙලාවත් හරි.’ අත්තම්මා කීවාය. එම මව එනතුරු රැඳී සිටීමට අපි තීරණය කළෙමු. කෙළිදෙළෙන් දුව පැන අවිදින කුඩා පුතනුවන් ආම්බන් කිරීමට මිත්තනියට අපහසු බව පෙනිනි. සීයා ද කුඩා පුතනුවන් බලා ගැනීමට දැඩි වෙහෙසක් ගන්නා බවක් පෙනිනි. අප සොයා ගිය මව සිය සැමියා සමඟ පැමිණෙන විට රාත්‍රී 07 ද පසුවී තිබිණි. අප කවුරුන්ද යන්නත් පැමිණි කාරණයත් හඳුන්වා දීමෙන් පසු ඇය නම ගම පළ නොකරන පොරොන්දුව මත කතාව ආරම්භ කළාය.
ඇගේ දෙවැනි පිරිමි දරුවා සිසේරියන් සැත්කමක් මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී උපත ලබද්දී සැත්කම සිදු කර තිබුණේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් විසිනි. ඒ 2017 අගොස්තු 28 වැනිදාය. ඇගේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ 2020 වසරේ ජුනි මාසයේ 25 වැනිදා ය. ඒ එදින අධිකරණයට සාක්කි සම්පිණ්ඩන ඉදිරිපත් කරන ලැයිස්තුවේ හතර වැනියා ලෙසය.
‘පුතාලා දෙන්නෙක් ඉන්න නිසා දුවෙක් හදාගන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මාධ්‍යවල වෛද්‍ය සාෆි ගැන ගිය දේවල් එක්ක ගොඩක් බය වුණා. පැමිණිලි නොකර ඉන්නත් හදලා මම අන්තිමට වගේ තමයි පැමිණිලි කරන්න ගියේ. ඒ දවස්වල මාධ්‍යවල යන දේවල් දැකලා ගොඩක් අය පැමිණිලි කරන්න ගියා.’
වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසු ද ඇය දියනියක බලාපොරොත්තුවෙන් සැමියා සමඟ ලිංගිකව එකතුවී තිබිණි.
‘කාලයක් යද්දි මම ප්‍රෙග්නට් වුණා. දුවෙක් බලාගෙන හිටියත් තුන්වැනියත් පුතෙක්. 2021 ජනවාරි 29 වෙනිදා පුතා ලැබුණා. මම පැමිණිල්ල අයින් කර ගන්න කියලා ඉල්ලන්න හොස්පිටල් එකේ උඩ තට්ටුවට ගියා. එයාලා කිව්වා ඒක සටහන් කර ගන්නම් කියලා. පැමිණිල්ල අයින් කළාද නැද්ද නම් දන්නේ නෑ.’
මෙම කාන්තාවගේ පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඇයට දරුවා ලැබෙන්නට සිටියදීම බව MediaLK වෙත අනාවරණය විය. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මවගේ පැමිණිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ . 2020 ජුනි මස 25 වැනිදාය. මේ වන විට ඇය දරුවකු ප්‍රසූත කර ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අතින් වූ වරද නිවැරදි කර නැත. මේ වන තෙක් ඇයට දරුවකු ලැබී ඇති බව අධිකරණයට වාර්තා කර නැත.
‘මම නම් මුලින්ම කිව්වා පැමිණිලි දාන්න ඕන නෑ කියලා. මෙයා ගිහින් පැමිණිල්ලක් දැම්මානේ. අපි දන්නෑනේ ඔය කතාව ගෙනාවේ මොන යටි අරමුණකින්ද කියලා.’ යැයි ඇගේ ස්වාමිපුරුෂයා කීවේය.
‘මට බබා හම්බුණාට පස්සේ හිතුනා ඒ ඩොක්ටර් වඳ කළා කියන කතාව බොරු කියලා. ඒ ගැන දැන් කණගාටු වෙනවා. මාධ්‍යවල යද්දි අපි හිතුවා ඇත්ත කියලා. හැබැයි ඒක ඇත්ත නෙමේ කියලා දැන් තේරෙනවා.’ යැයි එම කාන්තාව අවසන් වශයෙන් සඳහන් කළාය. වෛද්‍ය සාෆි වන්ධ්‍යාකරණයට ලක් කළාදැයි සැක බවට පැමිණිලි කිරීමෙන් පසු ලැබුණු දරුවා අප කතා බහ කරන විට නිවසේ ඒ මේ අත දුවමින්, පුටු උඩ නගිමින් සෙල්ලම් කරමින් සිටියේය.
MediaLK වෙත ලැබන තොරතුරුවලට අනුව වඳ බාවයට පත් කළැයි සැක බව කියමින් පැමිණිලි කළ මව්වරුන් 130කට වැඩි පිරිසක් 2022 වසර මැද වන විට ගැබ්ගෙන තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත් මව්වරුන්ගෙන් නැවතත් අලුතින්   ප්‍රකාශ ලබා ගතහොත් එම සංඛ්‍යාව 200කට ආසන්න බවට නිල වශයෙන් තහවුරු කර ගත හැකිවනු ඇත.
වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කළ ගලේවෙල ප්‍රදේශයේ තවත් මවක සොයා අපි යද්දී ඇය තම පුතු රැගෙන ඒමට පෙර පාසලට ගොස් සිටියාය. වයස අවුරුදු දෙකකට ආසන්න දියනියක් අත්තම්මා සමඟ සෙල්ලම් කරමින් සිටියාය. ඒ අප සොයා ගිය මවට වෛද්‍ය සාෆි වන්ධ්‍යාකරණයට ලක්කළැයි පැමිණිලි කිරීමෙන් පසු ලැබුණු දියනියයි. පැය බාගයක් පමණ අත්තම්මා සමඟ කතා බහර කරමින් සිටින විට අප සොයා ගිය මව නිවසට පැමිණියාය.
ඇගේ පැමිණිල්ලට අදාලව සාක්කි සම්පිණ්ඩන වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ 2019 වසරේ ජුනි මස 27 වැනිදාය.
‘මට පුතා ලැබුණේ 2018 ජනවාරි දෙවැනිදා. ඊට පස්සේ 2019 වෙද්දි අපට දුවෙක් හදාගන්න ඕනකම තිබුණා. 2019 අවුරුද්දෙදි වෛද්‍ය සාෆි ගැන ජනමාධ්‍යවල ගියා. අපේ අක්කත් කතා කරලා ඇහුවා ඔයාව සීසර් කළෙත් සාෆි නේද කියලා. ජනමාධ්‍යවල ගියපු දේවල්වලින් පස්සේ අපි හොඳටම බය වුණා. ඒ අනුව ගිහින් පැමිණිල්ලක් දැම්මා. අපි හිතුවේ ඇත්තටම සාෆි වඳ කරන්න ඇති කියලා. ඒ අනුව අපිට ආයේ ළමයි හදන්නත් බැරිවෙන නිසා මහත්තයා රට යන්න තීරණය කරලා ඊට අවශ්‍ය දේවල් කළා. මේ අතරතුර අපට පොලිසියෙන් කෝල් එකක් ආවා තවත් කටඋත්තරයක් ගන්න එන්න කියලා. අපි ඒකට කුරුණෑගල ගියත් වෙනත් හදිසි වැඩක් යෙදිලා ඒ වැඩේට මමයි මහත්තයයි ගියා. අපිට කටඋත්තරේ දෙන වැඩේ අමතක වුණා. අනිත් වැඩේ ඉවර වුණාම මම මතක් කළා අපට කටඋත්තරේ දෙන්න බැරි වුණා නේද කියලා. මහත්තයා කිව්වා දැන් ඉතින් ඕන නෑ අපි ගෙදර යමු කියලා’
ඇය නැවත ගැබ්ගෙන ඇතැයි දැන ගන්නේ එදිනම සවස්වරුවේය.
‘ගෙදර යන ගමන් වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා. එතකොටයි දැනගත්තේ මම නැවතත් ගැබ්ගෙන තියෙනවා කියලා. මට 2020 සැප්තැම්බර් මාසෙදි දුව ලැබුණා. මහත්තයා කලින් සැලසුම්කළ විදිහට රට ගියා.’
අප මුණ ගැසීමට ගිය සෑම මවකටම යොදු කළ පොදු ප්‍රශ්නය වන පැමිණිල්ල ඉවත් කර නොගැනීම ගැන පැනය ඇයටද යොමු කළෙමු.
‘මීඩියාවල පැමිණිලි දාන විදිහ ගැන ගියාට කවුරුවත් පැමිණිලි අයින් කර ගන්න විදිහ ගැන කිව්වේ නෑ. අපි ඒ ගැන දන්නේ නෑ. අපිට දුව ලැබුනට පස්සේ සාෆිගෙ කතාව ඉවරයි. අපේ සුපුරුදු පරිදි අපේ වැඩ කරගෙන ගියා. අපිට නැවත ඒවට මැදිහත්වෙන්න අවශ්‍යතාවක් තිබුණෙත් නෑ.’
එසේ වුවද සාෆි වෛද්‍යවරයා වරදක් කර නැතිනම් ඔහුට සාධාරණයක් ඉටු විය යුතු බවත්, ඔහු වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලැබිය යුතු බවත් එම මව අවධාරණය කළාය.
‘තවත් අම්මලට බබාලා ලැබුණා කියලා මම දන්නෑ. මම හිතුවේ මට විතරක් බබෙක් ලැබුණා කියලා. මම හිතුවේ අනිත් අම්මලා වඳ වෙලා මම විතරක් බේරුණා කියලා. ඒ වෛද්‍යවරයා වරදක් කරලා නැතිනම් ඔහුට සාධාරණයක් වෙන්න ඕනා. බබාලා ලැබුණු අම්මලා එළියට ඇවිත් කියන්න ඕනා අපිට බබාලා ලැබුණා කියලා. සීඅයිඩී එකටත් වගකීමක් තියනවා ඒක හොයලා බලන්න.’ යැයි මව සඳහන් කළාය.
අප සොයා ගිය තවත් මවක ප්‍රකාශ කළේ තමන් වඳ බාවයට පත්වී ඇතැයි සිතා සැමියා සමඟ ලිංගිකව එකතු වු බවයි. කෙසේ වෙතත් තමාටද දරුවකු ලැබුණු බව ඇය කීවාය. සාෆි වෛද්‍යවරයා ගැන දැන් කුමක් සිතෙන්නේදැයි ඇගෙන් විමසද්දී ඇය පිළිතුරක් ලබා නොදී සිනාසී බිම බලාගත්තාය.
මේ වන විට එලෙස නොසිතූ ලෙස දරුවන් පිළිසිඳගත් මව්වරුන් කිහිප දෙනකු ගබ්සා කර ඇති බව ද MediaLK වෙත වාර්තා විය. දරුවන් ලැබුණු බවට තහවුරු වූ මව්වරුන් 130කට ආසන්න පිරිසකගේ ලැයිස්තුවක් MediaLK සතුව ඇත. ඒ බොහෝ මව්වරුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වූයේ දරුවන් ලැබීමෙන් පසු ඔවුන් පැමිණිලි ඉල්ලා අස්කරගෙන නැති බවයි. මව්වරුන් බොහෝ දෙනකු කීවේ තමන්ට කිසිම කෙනකු කතා කර දරුවන් ලැබුණේද යන්න ගැනවත් නොවිමසූ බවයි.
වෛද්‍ය සාෆි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 වසරට පෙර අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. ඉන් පසු 2019 ආණ්ඩු මාරුවෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි විමර්ශකයන් ස්ථා මාරු කර යළිත් වරක් විමර්ශනයක් ආරම්භ කළේය. වෛද්‍ය සාෆිගේ නිවසින් කුරුණෑගල පොලිසිය ගලවා ගත් සීසීටීවී ඩීවීආර් යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යළි බාර දී ඇතැයි කියමින් යළිත්  ජාතිවාදී කෝණයකින් සමාජය නොමග යැවීමේ උත්සාහයත් දියත් විය. අලුත් විමර්ශන කණ්ඩායමටවත් සාෆිට එරෙහි එකදු සාක්කියක්වත් සොයා ගැනීමට නොහැකි විය.
‘සාෆිගෙ ගෙදර ඩීවීආර් එක කුරුණෑගල පොලිසියෙන් අරගෙන තිබුණා. සාෆි සීසර් කළේ හොස්පිටල් එකේ. සාෆි ගෙදර සීසර් කළා හරි ගෙදරදි අම්මලා වඳ කළා හරි කියලා එක පැමිණිල්ලක්වත් නෑ. එහෙම තියෙද්දි තමයි මේ ඩීවීආර් එකක් පස්සේ ගිහින් පරීක්ෂණ වෙනත් පැත්තකට අරගෙන කලින් විමර්ශන නිලධාරීන් දඩයං කරන්න උත්සාහ කළේ.’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අනිවාර්ය නිවාඩු යවා සිටින වෛද්‍ය සාෆි යළි සේවයට කැඳවන ලියුම මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එවා තිබේ. ඒ වයඹ පළාතෙන් පිට වෙනත් ප්‍රදේශයකටය. ඔහු අනිවාර්ය නිවාඩු යැව්වේ කුරුණෑගල රෝහලේ සිටියදීය. ඔහු කිසිම වරදක් කර ඇතැයි අනාවරණය වී නැති පසුබිමක ඔහු එම රෝහලේම සේවයට නොකැඳවා වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කර සේවයේ පිහිටුවීම ඔහුට ලබා දෙන දඬුවමක් බව වෛද්‍ය වෘත්තිකයෝ කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ.
වෛද්‍ය සාෆි අත්අඩංගුවට පත්වූදා සිට බලන විට දැන් සිටින්නේ තුන්වැනි ජනාධිපතිවරයාය. හතර වැනි අගමැතිවරයාය. හය වැනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාය. එහෙත් තවමත් ඔහුට සාධාරණයක් ඉෂ්ඨ වී නැත. සාධාරණයක් ඉෂ්ඨ වෙන බවක් පෙනෙන්නටද නැත. එදා සිට අද වෙනතෙක් සිටින්නේ එකම පොලිස්පතිවරයා වුවද ඔහුගෙන් ද සාධාරණයක් වන බවත් පෙනෙන්නට නැත.
එසේ වුවද සාෆිට එරෙහිව බොරු ගෙතීයැයි මේ වන විට තහවුරු වී ඇති කුරුණෑගල හිටපු පොලිස් අධිකාරීවරයා අද වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා අද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. එවකට මහේස්ත්‍රාත්වරයා අද මහාධිකරණ විනිසුරුවරයෙකි. එවකට රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අද කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාය. ඒ කිසිම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.
එහෙත් හරියට විමර්ශනය කිරීමට උපදෙස් දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද විශ්‍රාම වැටුපද නැතිව ගෙදරට වී සිටියි. විමර්ශන හරියට කිරීම සඳහා උපදෙස් දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අද ජීවතුන් අතර නැත.
මේ ගැන තවත් ලිපියකින් තොරතුරු බලාපොරොත්තු වන්න…
Previous articleදේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා ; දුරකතන වාර්තා ගන්න නියෝග
Next articleUpdated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here