ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක් ; අභියාචනාධිකරණය සනාථ කරයි ; වසර එකහමාරක් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුට ඇප

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද සැලකිල්ලට ගත යුතු බවත් වසර එක හමාරක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටි පුද්ගලයකුට ඇප ලබා දෙමින් අභියාචනාධිකරණය ඊයේ (11) සඳහන් කළේය.
අභියාචනාධිකරණය ඒ බව සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 116ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කියමින් 2022 ජනවාරි මස පළමු වැනිදා සිට රිමාන්ඩ් බාරයේ පසුවූ කොළඹ මට්ටක්කුලියේ පදිංචිකරුවකුට ඇප නියම කරමිනි.
රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුගේ බිරිඳ ගොනු කළ මෙම අභියාචනය සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් විභාග කරන ලද අතර සම්පත් බී අබේකෝන් මහතාගේ එකගත්වයෙන් පී කුමාරරත්නම් මහතා ඊයේ(11)   තීන්දුව ලබා දුන්නේය.
නඩුව අතරතුරදී සැකකරුගේ බිරිඳ වෙනුවෙන් නීතිඥ සංදීපනී විජේසූරිය මහත්මිය කරුණු දැක්වූවාය.
තම සැමියා වෙනුවෙන් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කරන බිරිඳ තම පෙත්සමේ සඳහන් කර ඇත්තේ සැමියා කොළඹ ප්‍රධාන හෝටලයක සීසීටීවී කාර්මික ශිල්පියකු ලෙස වැඩ කරන බවත්, ඔහු නිවාඩු දිනවල පෞද්ගලිකව සීසීටීවී අලුත්වැඩියා කටයුතුවල නිරත වන බවත්ය. දිනක් කාන්තාවක් සීසීටීවී අලුත්වැඩියාවකට බව කියමින් නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත්, මෙම සැකකරු ඒ අනුව එම නිවසට ගිය බවත්, එම නිවසට යද්දීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තමන්ගේ නිවසට රැගෙන ආ බවත්, එලෙස රැගෙන එන විට සැකකරුගෙන් ලේ ගලමින් හා ඇඳුම් ඉරී ගොස් තිබුණු බවත් ඔහුගේ බිරිඳ පෙත්සමේ සඳහන් කර තිබේ. ඒ වන විට සැකකරුගේ බිරිඳ වන පෙත්සම්කාරිය සිටියේ ගැබ් ගෙන මුල් කාලයේ බවත්, ඇය හා ඇගේ දරුවා ඉදිරිපිටදීද පොලිස් නිලධාරීන් සැකකරුට පහර දුන් බවත් ඇය සඳහන් කර තිබේ.
සැකකරු මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියත්, සැකකරුගේ තුවාල නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රඳවා ගන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත. එසේම සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලෙස ද බන්ධනාගාරයට නියෝග කළ බව පෙත්සමේ සඳහන්වේ.
මෙම සැකකරුගේ සන්තකයේ තිබී සැකකටයුතු කිසිවක් අත්අඩංගුවට ගෙන නැති බැවිනුත්, අදාල වාර්තාවල ඇති හෙරොයින් පොලිසිය විසින් දැමූ හෙරොයින් බැවිනුත්, පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරු දරුණු ලෙස පහරකෑමට ලක්වී ඇති හෙයිනුත්, 2022 ජනවාරි පළමු වැනිදා සිට රිමාන්ඩ් බාරයේ පසුවෙන බැවිනුත් ඔහුට ඇප ලබා දෙන ලෙස සැකකරුගේ බිරිඳ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත් පොලිසියේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු යතුරු පැදියකින් යමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 116ක් සමග අත්අඩංගුවට ගත් බවයි. එහි ග්‍රෑම් 91.25ක ශුද්ධ හෙරොයින් තිබෙන බවට රස පරීක්ෂක දැනුම් දුන් බවත් ඇප ලබාදීමට විරෝධය දක්වමින් රජයේ නීතිඥවරිය දැනුම් දුන්නාය. ඇප ලබාදීම සඳහා සුවිශේෂී හේතුවක් ඉදිරිපත් වී නැති බවත් ඇය කීවාය.
සියලු කරුණු සලකා බලමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කළේ ඇප ලබාදීමට  සුවිශේෂී අවස්ථා මොනවාදැයි ඒ ඒ සිද්ධියට අනුව එහි ඇති කරුණු සහ තත්ත්වයන් මත තීරණය කළ යුතු බවයි.
මෙම නඩුවේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලැබී ඇත්තේ 2022 නොවැම්බර් 17 දින බවත්, එසේ වුවද මේ දක්වා අධිචෝදනා ගොනු කිරීමට පැමිණිල්ලට නොහැකි වී ඇති බවත්, මෙය නඩු පවරණ පාර්ශ්වයේ බරපතල අඩුපාඩුවක් බවත් එම තීන්දුවේ සඳහන් වේ.
අනවශ්‍ය ප්‍රමාධයකින් තොරව නඩු විභාගයක් පවත්වා ගැනීමට ඇති අයිතිය බොහෝමයක් අන්තර්ජාතික හා කලාපීය මානව හිමිකම් යාන්ත්‍රණවල සඳහන් වන බව ඊට උදාහරණ ලෙස  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ, මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා සම්මුතියේ, මානව සහ ජනතා අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තියේ සහ මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා වන යුරෝපා සමුම්තියේ අදාල වගන්ති ගෙන හැර දක්වමින් අභියාචනාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.
යම් පුද්ගලයකු සැලකිය යුතු කාලයක් චෝදනා ගොනු නොකර රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින්නේ නම් ඔහු හෝ ඇය අධිචෝදනා ඉදිරිපත් කරන තෙක් ඇප මත මුදා හැරිය යුතු බව ද, එසේ නොවුවහොත් එය  බන්ධනාගාර තදබදයට හේතු වනු ඇති බව ද, දඬුවම් ලෙස කිසිවිටෙක ඇපදීම නොතැබිය යුතු බව ද, ඇප ලබා දීම මූලික වශයෙන් අධිකරණයේ අභිමතය බවද, එම අභිමතය එක් එක් සිද්ධියේ කරුණු සහ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද අභියාචනාධිකරණය කියයි.
දීර්ඝ ලෙස කරුණු සලකා බලා ඇති අභියාචනාධිකරණය නඩු නොපවරා රිමාන්ඩ් බාරයේ දීර්ඝ කාලයක් තබා ගැනීම අධික පීඩාකාරී බවත්, කිසිදු චෝදනාවක් ගොනු නොකර සැකකරුවෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔහුගේ අයිතිවාසිකම්වලට සහ ඔහුගේ පවුලට ද අගතියක් වනු ඇති ඇති බවත් සඳහන් කරමින් මෙම සැකකරු දැඩි   කොන්දේසි මත ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක්ද, ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියෝග කළ අධිකරණය නඩුව අවසන් වන තෙක් සැකකරුගේ සහ ඇපකරුවන්ගේ ලබාදී ඇති ලිපිනයන් වෙනස් නොකළ යුතු බව ද සඳහන් කළේය. සෘජුව හෝ වක්‍රව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බාධා නොකළ යුතු බවටත්, විදෙස් ගමන් තහනම් කිරීමටත්, සෑම මසකම අවසන් ඉරිදා උදේ 9ත් සවස 1ත් අතරතුර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට වාර්තා කිරීමටත්, ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් ඇප අවලංගු කිරීමටත් අධිකරණය නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ සංදීපනී විජේසූරිය මහත්මිය පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ රිද්මා කුරුවිට මහත්මිය පෙනී සිටියාය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com

news@medialk.com
tharindu@medialk.com
Previous articleටිරාන් අලස්ට එරෙහිව අජිත් රෝහණ උසාවි යයි
Next articleනීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here