පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි අබේසේකර සාක්ෂි දෙයි!

පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ලබාදුන් සෑම බුද්ධි වාර්තාවකම සඳහන්ව තිබූණේ එම ඝාතනය එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරනු ලැබූ ඝාතනයක් බවට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (25) පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.
ජාතික ⁣රෝහලේ 42 වැනි වාට්ටුවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඒ මහතා මේ බව කීවේය. එම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ලබාදුන් වාර්තා 06ක් කොමිසම විසින් ශානි අබේසේකර මහතාට පෙන්වනු ලැබූ අතර, එම වාර්තා සලකා බලා අබේසේකර මහතා මෙසේ සදහන් කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව දිසානායක මහතා සාක්ෂි විමසීම මෙහෙයවූ අතර, සාක්ෂි විමසීම ආරම්භයේදී ශානි අබේසේකර මහතාගේ සේවා කාලයේදී සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් සහ සේවා කාලය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිණි.
සාක්ෂි විමසීම ආරම්භයේදී අබේසේකර මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ ඒ මහතා අසනීප තත්ත්වයෙන් රෝහලේ සිට සාක්ෂි ලබාදෙන නිසා එකදිගට සාක්ෂි ලබාදිය නොහැකි බවයි. එවිට කොමිසම අබේසේකර මහතාට දැනුම් දුන්නේ අපහසුතාවක් දැනෙන සෑම අවස්ථාවකම ඒ පිළිබඳ කොමිසමට දැනුම් දෙන ලෙසයි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here