අලින් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

මුල් අයිතිකරුවන් වෙත මුදා  හැරීමට මහේස්ත්‍රාත්වරුන් දෙදෙනකු නියෝග කළ හීලෑ අලි ඇතුන් 15  දෙනා, වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ  ලියාපදිංචි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්  පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය. නීතියට පටහැනිව අල්ලාගත් අලි ඇතුන් අදාළ ගැසට් නිවේදනය යටතේ  ලියාපදිංචියට කිරීමට ඉඩ සලසා ඇති බැවින් එය වලක්වන්නැයි ඉල්ලමින් මෙම රීට් පෙත්සම ගොනු කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලකිනි.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හරින ලෙස නියෝග කර තිබෙන “සුජීවා” නැමැති ඇතින්නිය සහ ඇගේ පැටවා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ තවදුරටත් රඳවා තබන ලෙස ද අභියාචනාධිකරණය  නියෝග  කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, පත්‍රගොඩ කංකානම්ගේ දිලේකා, පංචාලි මධුරංගි පනාපිටිය, මහේෂි නලින්කා මුණසිංහ සහ  වාද්දුවගේ විශාඛා පෙරේරා තිලකරත්න මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.

වනජීවී  රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ස්ථානාධිපති (අංක 01), පොලිස්පති සී ඩී වික්‍රමරත්න, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන්, මාතලේ  මහේස්ත්‍රාත් සී. වික්‍රමනායක සහ නීතිපතිවරයා  මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ  සිටිති.

හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2241/41) ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

නීතීඥ නිම්මි සංජීවනී මහත්මිය මගින් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

‘ආසියානු අලියා  ආසියා කලාපයට විශේෂිත , වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්වයෙකි. අලියා ශ්‍රී ලංකාවේ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස ප්‍රකාශයට  පත් කර ඇත. නිසි ලෙස ලියාපදිංචි නොකළ අලි ඇතුන් ළග තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.

නීතියට පටහැනිව අල්ලා ගනු ලබන අලි ඇතුන් ද පසුගිය අගෝස්තු 19 වැනිදා ප්‍රකාශිත 2241/41 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ විධි විධාන මගින්  ලියාපදිංචියට ඉඩ සලසා ඇත. අල්ලා ගනු ලබන අලි ඇතුන් වාණිජ ක්‍රියා සඳහා භාවිතා කිරීමට   මෙම ගැසට් පත්‍රයේ විධි විධානයන්ට අනුව ඉඩ සැලසේ.    මෙම ගැසට් පත්‍රයේ විධි විධාන යටතේ තබා ගන්නා අලින්ට යම් හිරිහැරයක් සිදුවුවහොත් චූදිතයින්ට නීතියෙන් ගැලවී යාමට ද ඉඩ අවස්ථාද ඇත. මෙම ගැසට් නිවේදනයේ විධි විධාන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ විධි විධානයන්ට පටහැනිව නිකුත් කර තිබේ.

හීලෑ අලි ඇතුන් 14 දෙනෙකු මුදා හැරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නොබෝදා ලබා දුන් නියෝගය වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ විධි විධානයන්ට ද පටහැනි වේ.ඊට අමතරව මෙම නඩුවලදී අදාළ අලි මුදා හැරීමට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දණ්ඩ නීති සංග්‍රහයේ 112 ,162 ,181 සහ199  යන විධි විධානයන්ටද පටහැනි වේ.

එබැවින් හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ආඥාවක් නිකුත් කරන ලෙසද , ඒ යටතේ කොළඹ හා මාතලේ මහේස්ත්‍රාත්වරුන් දුන් නියෝග අහෝසි කරන ලෙසද , අදාළ අති විශේෂ ගැසට් පත්‍රය යටතේ ලියාපදිංචි කොට අලි ඇතුන් ළඟ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය මගින් කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද , වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ යටතේ ලියාපදිංචි කර නොමැති අලි ඇතුන් ළඟ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන ලෙස නියෝග කරන ලෙසද , පෙත්සම්ක්රුවෝ   පෙත්සමෙන් ඉල්ලා සිටිති.’

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ සහ නීතීඥ නිල්මල් වික්‍රමසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.

 

Previous articleතොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?
Next articleඅපරාධ සැකකරුවන් වූ බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන ඉල්ලීම විසිවෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here