ශානි අබේසේකරට හෘදයාබාධයක් : මානව හිමිකම් කොමිසමෙන් දෙවැනි වතාවටත් ලිපියක්

අසනීප තත්ත්වයේ පසුවන ශානි අබේසේකර මහතාට ගල්ලෑල්ල රෝහලේ ප්‍රතිකාර කිරීමට පහසුකම් නැති හෙයින් වැලිකන්ද රෝහලට මාරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (26) ලිපියක් මගින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාට නිර්දේශ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙලෙස නිර්දේශ ⁣කර ඇත.

කෙසේවෙතත් ඊයේ රාත්‍රීයේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අබේසේකර මහතා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. හෘද රෝග වි⁣ශේෂඥයින් මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව ද එම ආරංචිමාර්ග කියයි.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවට ශානි අබේසේකර මහතාගේ පවුලේ අය කොමිසමට දන්වා ඇති බව ද මානව හිමිකම් කොමිසම යැවූ ලිපියේ දක්වා තිබේ.

සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති අබේසේකර මහතා ගල්ලෑල්ලේ පිහිටි සිරකරුවන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇති බව දැන ගැනීම පුදුමයට කරුණක් බව ද ඊට වඩා හොඳ ප්‍රතිකාර පහසුකම් වැලිකන්ද ප්‍රතිකාර රෝහලෙන් ලබා ගත හැකි බවද මානව හිමිකම් කොමිසම සිය ලිපියේ දක්වා තිබිණි. ඒ අනුව අබේස්කර මහතා වැලිකන්ද ප්‍රතිකාර රෝහලට මාරු කිරීම වඩාත් සුදුසු බවත් එහි සඳහන් විය.

“සියලුම සිරකරුවන්ගේ පවුල්වලට තොරතුරු දෙන්න”

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සියලුම සිරකරුවන්⁣ගේ පවුල්වලට එම සිරකරුවන් ප්‍රතිකාර ලබන ස්ථානය පිළිබඳව දැනුවත් කර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

අත්අඩංගුවේ පසුවන තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු අපේක්ෂා කරන පවුලේ සාමාජිකයන්ගෙන් කොමිසමට බොහෝ පැමිණිලි ලැබෙමින් පවතින බවත් එමනිසා, වෛරසය ආසාදිත වී සිටින සියලුම සිරකරුවන්ගේ යාවත්කාලීන ලැයිස්තුවක් සහ ඔවුන්ගේ වර්තමාන ස්ථානය සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් විස්තර කොමිසමට ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසම යෝජනා කර සිටී.

පවුලේ සාමාජිකයින්ට වැඩිදුර තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු ලබාගැනීමට එක් එක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සම්බන්ධීකරණ පුද්ගලයෙකු පත් කිරීම සාදරයෙන් පිළිගත හැකි බව ද කොමිසම සඳහන් කරයි.

එම ලිපියේ මෙසේද දැක්වෙයි.

“උපුල්දෙනිය මහතා, ඔබ දන්නා පරිදි, රිමාන්ඩ් භාරකරුවන් ඇතුළු සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වගකීම වේ.

ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් දැනටමත් ඔබ වෙත ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගෙන, අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටියෙමු.

නිදහස අහිමි වූ රැඳවියන්ගේ සුබ සාධනය සහතික කිරීම සඳහා 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ආ), 11 (ඇ) සහ 28 (2) වගන්ති යටතේ කොමිසමට ඇති බලය යටතේ මෙම ලිපිය යොමු කර තිබේ.”

Previous articleශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07 වැනිදා
Next articleසෞඛ්‍ය ජනරාල්ගේ නිර්දේශවලට පටහැනිව පාසල් ආරම්භ කරලා – ලංකා ගුරු සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here