සූරියවැව අරගලයෙන් ලැබුණු අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රයට සියලු රෝග නිවාරණය කළ හැකිද ?

(සුපුන් ළහිරු ප්‍රකාශ්)
ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබීම ප්‍රශංසනීය ය.

හෙක්ටයාර 23,746.55ක්

ඊට අදාළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත් වී තිබේ. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාරව වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ ප‍්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව දකුණු සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මොණරාගල (ගැසට් නිවේදනයේ මොණරාගල දිස්ත්‍රික්කය දකුණු පළාතට අයත් ලෙස සඳහන් කර ඇත.) යන පරිපාලන දිස්ත‍්‍රික්කවල පිහිටි හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 23,746.55ක භූමි ප‍්‍රමාණයකින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සමන්විත ය.

කබලෙන් ලිපට වැටුණේ ඇයි ?

හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම මගින් මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය අලි-ඇතුන් සඳහා වෙන්කිරීමට යෝජනා කෙරුණේ මීට දශකයකට පමණ පෙර ය. (ආසියානු අලි-ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙය යෝජනා කළේ ඊට ද පෙර සිට ය.) නමුත් දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදීම් හේතුවෙන් එය මෙතෙක් කලක් ප්‍රමාද වූ බව නොරහසකි. එහි ප්‍රතිඵලය වූයේ එදා මෙදා තුර තවත් අලි-මිනිස් ජීවිත රැසක් අකාලයේ රටට අහිමි වීම සහ ප්‍රදේශයේ ජනජීවිතය කබලෙන් ලිපට වැටීම ය. මේ මොහොතේ ද ආණ්ඩුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කරන්නේ එහි සැබෑ සංරක්ෂණ සහ සමාජ-ආර්ථික අවශ්‍යතාව වටහාගෙනද, නොඑසේ නම් වල්සපුගල ගොවි සංවිධාන නායකයන් තවමත් ගෙන යන අනවරත අරගලය හේතුවෙන් ආණ්ඩුවට එල්ල වූ බලපෑම නිසා ද යන්න ගැටළු සහගත ය. මීට නොබෝ දිනකට පෙර ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් එම අරගලයට නායකත්වය දෙන ගොවි නායකයන්ට එල්ල කළ ඉතා තුච්ඡ සහ පහත් චෝදනාව එම කුකුසට එක් සාධාරණ හේතුවකි. කෙසේ නමුත් වන අලි කළමනාකරණ රක්ෂිතවල සැබෑ සංරක්ෂණ සහ සමාජ-ආර්ථික අවශ්‍යතාව පිළිබඳව ආණ්ඩුව සහ අලි-මිනිස් ගැටුමෙන් බැට කන – නොකන පොදු ජනතාව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක්

අලි-මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක් පුරා පැතිරුණු විශාල සමාජ-ආර්ථික, පාරිසරික හා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වන්නේ මීට දශක ගණනාවකට පෙර සිට ය. 2009 වසරේදී යුද්ධය අවසන්වීමත් සමග එය මෙරට ඉහළම ජාතික ප්‍රමුඛතාව බවට පත්විය. දිවයිනේ පළාත් 08කට අයත් දිස්ත්‍රික්ක 19 ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක අලි-මිනිස් ගැටුම ව්‍යාප්තව පවතී. එමගින් ලොව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි-ඇතුන් ප්‍රමාණයක් සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව ලියුම්කරු ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් ඉකුත් වසරේ විද්‍යාත්මක අධ්‍යයනයක් මගින් පෙන්වා දුන්නෙමු. පසුගිය දශක හයක පමණ කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටළුවට විසඳුම් සෙවීමට ප්‍රයත්න දැරුවේ අලි-ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට ගාල්කර, විදුලි වැට ඉදිකිරීමේ දිගින්-දිගටම අසාර්ථක ක්‍රමවේදය මගිනි.

එකම විසඳුම ද?

නමුත් ශ්‍රී ලංකාවේ දිවි ගෙවන 6,000කට ආසන්න අලි-ඇතුන් ජීවත් වන වාසභූමිවලින් සියයට 70ක් පමණ ව්‍යාප්තව ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශවලින් පිටත ය. එම සතුන් වනජීවී රක්ෂිත තුළට ගාල්කර, මෙම මහා අරගලයට විසඳුම් සෙවීමට නොහැකි බවත් අලි-මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීම බවත් පර්යේෂකයන් පෙන්වා දුන්නේ අද-ඊයේ නොවේ. ‘වන අලි කළමනාකරණ රක්ෂිත’ යෝජනා වන්නේ ඒ සඳහා ය. එහි ආරම්භක පියවරක් වශයෙන් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිතවලින් බැහැරව ජීවත් වූ අලි-ඇතුන් 400ක පමණ ප්‍රමාණයක වාසභූමි ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසිණි. ඒ ද මෙම අලි-ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල්කිරීමට දරන ලද අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමක ය. නමුත් එදා මෙදා තුර දශකයකට වැඩි කාලසීමාවත් තුළ එකී ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ අතර, එම හස්ති වාසභූමි දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සහාය ඇතිව විවිධ ව්‍යාපාරිකයන් විසින් ආක්‍රමණය කෙරිණි. විවිධ වගා ව්‍යාපෘති, පස් කැණීම්, ගල් කොරි වැනි එකී-මෙකී නොකී විනාශකාරී ක්‍රියා හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් එන්න-එන්නම උත්සන්නවූ ආකාරය අපි ද අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර, අලි-ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දීමට සිදුවන තැනට තත්ත්වය දරුණු අතට හැරිණි.
හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මේ දක්වා ඇති වන අලි කළමනාකරණ රක්ෂිතය

ගැටළු මොනවාද?

මූලික වශයෙන් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියේ ගැටළු තිබේ. එහි සහ හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මේ දැක්වෙන අලි කළමනාකරණ රක්ෂිතයේ වපසරිය අතර පැහැදිලි වෙනස්කම් ඇති බව මෙහි දැක්වෙන සිතියම් දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහේ. තවද දැනට ප්‍රකාශයට පත්කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය තුළ ද මෙතෙක් සිදුකෙරුණු නීතිවිරෝධී මානව ක්‍රියාකාරකම් අවසන් කිරීමද ආණ්ඩුවට අභියෝගයක් බව නොකිවමනාය. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව අවිවාදිත ය.
ඊට ප්‍රධානතම හේතුව වන්නේ වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රක්ෂිතවලින් එහා ගිය විකල්ප දැකීමට දේශපාලකයන්, නිලධාරීන් සහ ජනතාව යොමුවීම ය. රජය අවංකවම කැපවුණහොත් රක්ෂිතවලින් බැහැරව ජීවත්වන අලි-ඇතුන් ඔවුන්ගේ වාසභූමි තුළ ම සංරක්ෂණය කිරීම මගින් අලි සම්පතට සහ අලි-මිනිස් ගැටුම් සංසිඳුවීමට ලැබෙන දායකත්වය ප්‍රායෝගිකව දැකගැනීමට ඉඩ ලැබේ. හම්බන්තොටින් එහා දිවයිනේ එවැනි අලි-ඇතුන් ජීවත්වන අනෙකුත් ප්‍රදේශවල ද මෙම න්‍යාය ක්‍රියාත්මක කර අලි-මිනිස් ජීවිතවලට අස්වැසිල්ලක් ලබාදීමට හැකියාව ලැබේ.

අලිගහනයට එල්ල කරන බලපෑම

වන අලි පළවාහැරීම් අඛණ්ඩව සිදුකිරීම සහ අලි-ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට උත්සාහ කිරීම අලි-මිනිස් ගැටුම් උත්සන්න වීමට හේතු වන අතර, එමඟින් විශාල ආර්ථික අලාභයක් සිදු වේ. මීට අමතරව ඉසිලුම් ධාරිතාව ඉක්මවා යෑම නිසා අලි රංචු අහිමි වීම රක්ෂිත ප්‍රදේශවල අලිගහනයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. අලි රංචු ජාතික උද්‍යානවලට පළවාහැර ඒවා තුළට සීමාකිරීම අලි-මිනිස් ගැටුම් කෙරෙහි බලපෑමක් ඇති නොකරන්නේ ගැටුම් ඇතිකරන පිරිමි සතුන් බහුතරයක් පළවාහැරීම් මගින් ඉවත් කිරීමට හැකි බැවිනි.
නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අලි රංචු අහිමි වීම වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමට විශාල බලපෑමක් ඇති කරනු ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාව ආසියානු අලි-ඇතුන් නැරඹීම සඳහා ලොව ඇති හොඳම සංචාරක ගමනාන්තයයි. කෙසේ වෙතත් මේ වන විට එම කරුණ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති අතර, නිසි ආකාරයෙන් ප්‍රවර්ධනය කර නැත. වන අලි කළමනාකරණ රක්ෂිත තුළ පවා වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් රටට සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකි අතර, එය ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකයට ද අස්වැසිල්ලකි.

විශ්මකර්මයෙක් ද?

වන අලි කළමනාකරණ රක්ෂිත සියලු රෝග නිවාරණය සඳහා විශ්මකර්මයෙකු නොවේ. නමුත් එය නිසි පරිදි අවංක චේතනාවෙන් යොදාගැනීම මගින් වන අලි සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන පුළුල් ජාතික වැඩපිළිවෙලක විශාල පරාසයක් ආවරණය වේ. එබැවින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව කිවමනා ය.
ගැසට් නිවේදනයේ දක්වා ඇති වන අලි කළමනාකරණ රක්ෂිතය
ඡායාරූප අනුග්‍රහය : සජීව චාමිකර

ඡායාරූප අනුග්‍රහය : සජීව චාමිකර

Previous articleකබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් !
Next articleපාස්කු ප්‍රහාරය : විමර්ශකයන්ට ස්වාධීනව වැඩ කරන්න ජනාධිපතිතුමා පහසුකම් සපයලා තියෙන්නෙ – අගමැති

1 COMMENT

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here