මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි සහ කළුපහන පියරතන හිමියන් ය.
කොමිෂන් සභාවේ සේවක පිරිස විසින් එම කාර්යාලයේ 7 වැනි මහලේදී මෙම කොමසාරිස්වරුන්ට අවධාරණය කරන ලද්දේ මානව හිමිකම් විෂය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව, විෂය සම්බන්ධයෙන් කටයුතු කරන කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව මාධ්‍ය යොදාගනිමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. අවස්ථා කිහිපයකදීම මාධ්‍ය මගින් කොමිසම සම්බන්ධයෙන් අසත්‍ය පුවත් වාර්තා කළ බව තහවුරු විය.
ආසන්නතම සිදුවීම
එහි ආසන්නතම සිදුවීම වූයේ අද (26) මව්බිම පුවත්පතේ පළවූ ප්‍රධාන ශීර්ෂපාඨයයි. එහි සඳහන් වූයේ ‘සභාපතිනිය එක්ක අපිට වැඩ කරන්න බෑ – මානව හිමිකම් කොමසාරිස්වරු ජනපතිගෙන් ඉක්මන් සාකච්ඡාවක් ඉල්ලති’ යනුවෙනි. ඉහත නම් සඳහන් කොමසාරිස්වරුන් උපුටා දක්වමින් අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වූයේ කොමිසමේ සභාපතිවරිය සහ කොමසාරිස්වරුන් අතර ගැටුම උග්‍ර වී ඇති බවයි. සභාපතිවරිය තම අවශ්‍යතාව මත ක්‍රියා කිරීම සහ දේශපාලන උත්තේජනයෙන් ක්‍රියා කිරීම මීට හේතු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
නිශ්චිත සිදුවීම
කොමසාරිස්වරුන්ගෙන් විමසීමක් නොකර මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීම පසුගිය මාර්තු මාසයේදී ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙහිදී ද අදාළ කොමසාරිස්වරුන් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත සඳහන් කළේ ඊට තමන් එකඟ නොවන බවයි.
ඊට පිළිතුරු දෙමින් මානව හිමිකම් කොමිෂන් සභා සේවක සංගමය එම අවස්ථාවේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් 2023 මාර්තු 12 දිනැති මව්බිම පුවත්පතේ පළකර තිබූ ‘මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම දේශපාලන කුමන්ත්‍රණයක් ද?’ යන පුවතට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි, පූජ්‍ය කළුපහන පියරතන හිමි සහ අනුසුයා ශන්මුගනාදන් විසින් සිදුකර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බව අවධාරණය කෙරිණි.
අනුෂ්‍යා ශම්මුගනාදන් මහත්මිය කොමිසමේ කටයුතුවලට සක්‍රීයව දායක වන අතර ඇය පසුව කියා තිබුනේ පුවත්පතින් කතා කර සිංහලෙන් විමසූ දේ තමන්ට හරිහැටි නොතේරුණු බවයි.
පනතේ ඇත්තේ කුමක්ද?
මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව එම ආයතනයේ ප්‍රධානීන් වන්නේ සභාපතිවරයා සහ ලේකම්වරයාය. ප්‍රධාන විධායක නිලධාරී සභාපතිය.
ඔවුන්ගේ අනුදැනුමකින්  තොරව කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් සිදුකරන ලද උක්ත ක්‍රියාව හුදෙක්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ පනත සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සිදුකරන ලද එකක් බව සේවක සංගමය එහිදී දැඩිසේ අවධාරණයට ලක්කළේය.
ශ්‍රී ලංකාව තුල සිදුවන මානව හිමිකම් කඩවීමක් පිළීබඳ සොයා බැලීමට, ඒ පිළිබඳ විමර්ශනය  කිරීමට සහ රජයට උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පූර්ණ බලතල හිමිවේ. එවැනි විමර්ශනයක් සඳහා පුද්ගලයෙකු කොමිෂන් සභාවට කැඳවීම සඳහා අවශ්‍ය නෛතික වටපිටාව 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් සහ පැරිස් මූලධර්ම මගින් කොමිෂන් සභාවට හිමිව ඇත.
එවැනි පසුබිමක එකී කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව අදාළ කොමසාරිස්වරුන් මාධ්‍යයට සිදුකර ඇති ප්‍රකාශ හුදෙක්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බරපතළ හානියක් බව ඒ අවස්ථාවේදී ද සංගමය පෙන්වා දුන්නේය.
කොමසාරිස්වරුන්ගේ දැනුම ?
කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ආරක්ෂක අංශ කැඳවා විරෝධතාකරුවන්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් කරුණු විමසීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබිණි. එසේ කැඳවීමට පෙර කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අදාළ කොමසාරිස්වරුන්ට මේ පිළිබඳව ලිඛිතව දන්වා තිබියදී පවා ඔවුන් එසේ කර නොමැති බවට මාධ්‍යයට ප්‍රකාශ කිරීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට, ගෞරවයට සහ පැවැත්මට බරපතළ හානියක් සිදු කර ඇති බවට සේවක සංගමය පසුගිය මාර්තු මාසයේදී චෝදනා කළේය.
1996 අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 03 වැනි වගන්තියට අනුව, එහි කොමසාරිස්වරයෙක් ලෙස පත්වීම සඳහා ‘මානව හිමිකම්වලට අදාළ කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇත්තාවූ තැනැත්තන් අතුරින් තෝරාගත යුතුය’ යන්න පැහැදිලිව සඳහන්ව තිබේ.
කොමසාරිස්වරුන්ගේ වගකීම
මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකුට මාසික දීමනා ලෙස රුපියල් 1,44,250ක් ගෙවනු ලබයි. ඒ අතරින් රුපියල් 90,000ක් කොමසාරිස් සේවය වෙනුවෙන් වන දීමනාව වන අතර, දුරකථන දීමනා ලෙස රුපියල් 4,250ක දීමනාවක් ද, ප්‍රවාහන දීමනා ලෙස රුපියල් 50,000ක් ද ගෙවනු ලබයි.
මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ එක දිනක් හෝ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ නැති කළුපහන පියරත්න හිමියන් රුපියල් 1,44,250ක දීමනා එම මාසය සඳහා ලබාගෙන ඇති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් MediaLK ලබාගත් තොරතුරු මගින් තහවුරු වේ. ඒ අතර ප්‍රවාහන දීමනා රුපියල් 50,000ක් ද වේ. 2021 දෙසැම්බර් 17 දින කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කරන ලද මේ හිමියන්, මෙතෙක් මානව හිමිකම් කොමිසමේ එකදු නිර්දේශයකට හෝ අත්සන් කර නැත.
එම මාසයේදී කොමසාරිස් නිමල් කරුණාසිරි දින 09ක් කොමිසමට පැමිණ තිබේ. විජිත නානායක්කාර එම මාසයේදී කොමිසමට පැමිණ ඇත්තේ එක් දිනක් පමණක් වන අතර, අනසුයා ෂන්මුගනාදන් දින 14ක් පැමිණ ඇත. එක්දිනක් පමණක් කොමිසමට පැමිණි විජිත නානායක්කාර ද ප්‍රවාහණ දීමනා ඇතුළු සියලු දීමනා ලබාගෙන තිබේ.
2023 ජනවාරි මාසයේදී කොමසාරිස් නිමල් කරුණාසිරි දින 10ක් කොමිසමට පැමිණ ඇත. විජිත නානායක්කාර කොමසාරිස්වරයා පැමිණ ඇත්තේ එක් දිනක් පමණි. අනසුයා ෂන්මුගනාදන් දින 19ක් කොමිසමට පැමිණ තිබේ. එම මාසයේදී කළුපහන පියරතන හිමියන් කොමිසමට පැමිණ ඇත්තේ දින 03ක් පමණි.
මාර්තු මාසයේදී නිමල් කරුණාසිරි කොමසාරිස්වරයා දින 08ක් කොමිසමට පැමිණ ඇති අතර, විජිත නානායක්කාර එක් දිනක් සහ අනසුයා ෂන්මුගනාදන් දින 15ක් පැමිණ ඇත. කළුපහන පියරතන හිමියන් එම මාසයේදී කොමිසමට පැමිණ ඇත්තේ දින 02කි. එසේ ම අප්‍රේල් මාසයේදී නිමල් කරුණාසිරි දින 02ක් ද, අනසුයා ෂන්මුගනාදන් දින 08ක් ද, විජිත නානායක්කාර සහ කළුපහන පියරතන හිමියන් එක දිනය බැගින් ද කොමිසමට පැමිණ තිබේ.
රාජකාරියට වගවීමේ ප්‍රමාණය
2023 වසර සඳහා කොමසාරිස් නිමල් කරුණාසිරි මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 33කට අත්සන් කර ඇත. කොමසාරිස් විජිත නානායක්කාර නිර්දේශ 16කට අත්සන් කර ඇති අතර, අනසුයා ෂන්මුගනාදන් කොමසාරිස්වරිය අත්සන් කර ඇති නිර්දේශ ප්‍රමාණය 51කි.
විජිත නානායක්කාර කොමසාරිස්වරයා පත්කළ දින සිට මේ දක්වා අත්සන් කර ඇත්තේ නිර්දේශ  29කට පමණි.  කළුපහන පියරතන හිමියන් පත්වූ දා සිට එක් නිර්දේශයකට හෝ අත්සන් තබා නැත. ඉන්පසු අඩුවෙන් ම නිර්දේශවලට අත්සන් තබා ඇත්තේ විජිත නානායක්කාර කොමසාරිස්වරයා ය.
කොමසාරිස්වරුන් රාජකාරි නොකළද, කාර්යාලයට නොපැමිණියද ප්‍රවාහන දීමනා ඇතුළු සියලු දීමනා ලබාගෙන තිබීම විශේෂත්වයකි.
Previous articleවිමර්ශන නෑ : උප නගරාධිපතිගේ බොරු පැමිණිල්ලට ගුටිකෑ පියතුත් අල්ලයි
Next articleකාන්තාවක් වසර 22කට පසු අපයෝජනය ගැන හත්වැනි වරටත් සාක්කි දෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here