ශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

ඔහුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වන්නේ ඔහුගේ ඇප නඩුව ගම්පහ මහාධිකරණයේ හෙට (26) කැඳවීමට නියමිතව තිබියදීය.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි අබේසේකර මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් ඒ මහතාගෙන් සඳුදා දින ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබූ නමුත් එය ද අවලංගු කර තිබිණි.

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව සඳහන් කරමින් ඔහුගේ බිරිඳ විසින් අගවිනිසුරුවරයා ඇතුළු පාර්ශ්ව රැසකට මීට සති කිහිපයකට පෙර ලිපියක්ද යොමු කරනු ලැබ තිබිණි.

ශානිගේ ස්ථාන මාරුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2019 වසරේ නොවැම්බර් 21 වැනිදා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කළේය.
පොලිස් කොමිෂන් සභාව හදිසියේ ගත් එම තීරණයට එදින සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය එදින පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කර තිබිණි.

ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.

ශානි අබේසේකර⁣ කළ විමර්ශන

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට  සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය.

අබේසේකර මහතා එම ස්ථානමාරුව සම්බන්ධයෙන් 2019 වසරේ දෙසැම්බර් 08 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම මාසයේම 20 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පසුව ඒ මහතාගේ වැඩ තහනම් කරනු ලැබූ අතර පසුගිය මහමැතිවරණයට දින පහකට පෙර එනම් ජූලි 31 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් සිට මාස හතරකට ආසන්න කාලයක සිට ඔහු රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

(MediaLK සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතවූවන්ගේ අනන්‍යතාව හෙළි නොකරන අතර ඔහු සම්බන්ධව පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලානාත්මක සිද්ධි සහ වෙනත් හේතු කිහිපයක් මුල් කරගෙන මෙම පොලිස් ප්‍රධානියාගේ පුවත පළ කරන ලදී.)

Previous articleසනීපාරක්ෂක තුවා බද්ද තරුණ ගැහැණු ළමුන්ට කරන අසාධාරණයක් !
Next articleකොරෝනා නිසා බදියුදීන්ට ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here