Home පුවත් පාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා 

පාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා 

0
පාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා 
පාස්කු බෝම්බ ප්‍රහාරය අයි.එස් සංවිධානයේ මෙහෙයවීම මත සිදු කරන ලද්දක් බව සනාථ කෙරෙන සාක්කි කිසිවක් හමු නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (26) රාත්‍රී පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි දෙමින් පැවසුවේය.
බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානයෙන් බාර ගන්නැයි ඉල්ලා තිබුණේ ‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයකු බවත්, එම පුද්ගලයා හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු දිගින් දිගටම සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වූ බවත් ශානි අබේසේකර මහතා කීවේය.
‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයා දිගින් දිගටම සම්බන්ධතා පවත්වා තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා ‘ටොනික් ටොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බව ද, ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් රාජ්‍ය බුද්ධි සේවයට ගිය විට බුද්ධි ප්‍රධානීන් ඊට ඉඩ ලබා නොදුන් බව ද ශානි අබේසේකර මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දුන් අවසන් සාක්කිකරු ශානි අබේසේකර මහතාය. අබේසේකර මහතාගෙන් සාක්කි ලබාගෙන අවසන් වන විට රාත්‍රී 11ට පමණ ළංවී තිබිණි.
මාවනැල්ල සහ පුත්තලම වනාතවිල්ලුවේ අන්තවාදි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සංවිධානය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුම්වත් කිරිමට අවස්ථාව ලබා දෙන බව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ශානි අබේසේකර මහතා කීවේය.
ශානි අබේසේකර මහතා –
‘මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීම යන සිදුවීම් දෙක පිටුපසම සිටින්නේ එකම කණ්ඩායමක් බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා 2019 පෙබරවාරි මස දෙවැනි දා පැජට් පාරේ ජනාධිපති නිල නිවසෙදි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. එවිට “හොදයි රවී එහෙනම් ඔය ගැන ආරක්ෂක මණ්ඩලයෙදි දැනුම්වත් කරන්න” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එහෙත් ඉන් පසු කිසිම අවස්ථාවක මටවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාටවත් ආරක්ෂක මණ්ඩලයේදී දැනුම්වත් කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නෑ.’
රජයේ නීතීඥවරයා – අදාල සංවිධානයේ මූලිකත්වය දරන්නෙ සහරාන් හෂීම් බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්නාද?
ශානි අබේසේකර මහතා – ඒ ගැන මතකයක් නෑ. හැබැයි ආරක්ෂක මණ්ඩලයේදී මේ ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නා නම් සියලුම විස්තර ඉදිරිපත් කරන්න තිබුණා.
2020 වසරේ මැයි මාසයේදි පමණ සහරාන් හෂීම් ඇතුලු පිරිස කිසියම් ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා සූදානමින් සිටියත් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍යය තොගයක් සොයාගැනීමත් සමඟ එම ප්‍රහාරය වැලකී ගිය බව ද අබේසේකර මහතා කීවේය. මෙම සිද්ධිවලට සම්බන්ධ පිරිස ජංගම දුරකතනවලට විශේෂ යෙදවුම් භාවිත කරමින් සන්නිවේදන කටයුතු සිදු කර තිබුණු නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අසීරු වූ බව ද ඔහු ප්‍රකාශ කළේය. ඔවුන් භාවිත කළ ජංගම දුරකථන යෙදවුමට අදාල සමාගමෙන් අදාල විස්තර ඉල්ලා සිටියද ඔවුන් එය ලබා නොදුන් බව ද අබේසේකර මහතා පැවසීය.
කොමිසම – සහරාන් ඇතුළු පිරිස මෙම ජංගම දුරකතන යෙදවුම භාවිත කරමින් සන්නිවේදනය කළ බව ප්‍රහාරයට පෙර සිටම දැනගෙන සිටියාද?
ශානි අබේසේකර – ඔව් ස්වාමිනි. එලෙස ප්‍රහාරයට පෙර දැනුම්වත්ව සිටියා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අප ඉල්ලා සිටියා. නමුත් අදාල තාක්ෂණික ආයතනවලින් එම තොරතුරු නිසි පරිදි ලැබුණේ නැහැ.
පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍යය තොගයක් හමුවීමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේදී ප්‍රශ්න කෙරිණි. එම පුද්ගලයන් දෙදෙනා මුදා හැරීමට තමා මැදිහත් නොවූ බව ශානි අබේසේකර මහතා කීවේය.
ශානි අබේසේකර – මේ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. ඊට එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහත්වරුත් සහභාගී වුණා.  අසාත් සාලි සහ ෆයිසර් මුස්තාපා මහත්වරු එම සැකකරුවන් දෙදෙනා මෙම සිදුවීමට සම්බන්ධ නැති නිසා මුදාහරින්න කියලා ඉල්ලිම් කළා.ඒ වෙලාවෙ මම කිව්වා මම ඒකට විරුද්ධයි, ඒ අයට දැන් ඩිඕ ගහලා තියෙන්නේ කියලා.  මෙම විමර්ශනය කළ නිලධාරියා පසුව ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුණා මේ දෙදෙනාට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කරලා කොන්දේසි හතක් යටතේ ඔවුන් මුදා හැරීමට පියවර ගත්තා.  මගේ වැඩ තහනම්කරනතුරුම ඔවුන් දෙදෙනා සෑම මසකම අවසන් සෙනසුරාදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී ඉඳලා අත්සන් කළා.
මේ අතර නීතීපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවලට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිසා තමා අද මෙවන් තත්ත්වයකට පත්වී ඇති බව අබේසේකර මහතා කීවේය. ඔහු කීවේ තම විමර්ශනයවලදී කිසිසේත්ම දේශපාලනය අදාල කර නොගත් බවයි.  තමන් සෑමවිටම සිදු කළේ දේශපාලනඥයන් කළ ඉල්ලීම්වලට ප්‍රතිවිරුද්ධ දේ බවද අබේසේකර මහතා කීවේය.
නඩරාජා රවිරාජ් ඝාතනය නඩුවට අදාළව විත්ති පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබා දුන් බව ශානි අබේසේකර මහතා ප්‍රකාශ කළේය. පොලිස් නිලධාරීයකු මෙවැනි නඩුවක විත්ති පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි ලබාදීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, එම නඩුව මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමක් නොකර නිලන්ත ජයවර්ධන මහතා එලෙස විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි බවත් අබේසේකර මහතා කීවේය.
නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය හරස් ප්‍රශ්න අසමින් ශානි අබේසේකර මහතාගෙන් විමසා සිටියේ නඩරාජා රවිරාජ් ඝාතන නඩුවට අදාළව විත්තිය පාර්ශ්වය වෙනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ලබාදුන් සාක්ෂියෙ අන්තර්ගතය පිළිබඳ දැනුම්වත්ද යන්නයි.  ඊට පිළිතුරු දෙමින් අබේසේකර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමා දැනුම්වත් නොමැති බවයි. එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ සිද්ධියකට අදාළව එදින නිලන්ත ජයවර්ධන මහතා එම සාක්ෂිය ලබා දුන් බව නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කළාය.
අබේසේකර මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වෙනත් ඉල්ලීමක් කළ අතර හරස් ප්‍රශ්න ඇත්නම් ඊයේ දිනයේදීම විමසන ලෙස කොමිසම දැනුම් දුන්නේය. අනතුරුව හමුදාව පාර්ශ්වයෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු නීතීඥවරයා දැනුම් දුන්නේ එදින හරස් ප්‍රශ්න ඇසීමක් සිදු නොකරන බවයි. ශානි අබේසේකර මහතාගේ සාක්කියෙන් පසු සාක්කි ලබා ගැනීම අවසන් කළේය.
කොමිෂන් සභාවේ කටයුතුවලට සහාය වූ විමර්ශන කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව අවසානයේ නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here