පොලිසිය සාක්කිකරු සැකකරුවකු කරලා – නීතිඥවරයාගෙන් චෝදනා ; අධිකරණයෙන් ඇප

(තරිඳු ජයවර්ධන)
අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන්නේයැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
දින 16ක් පමණ තිස්සේ සිට රිමාන්ඩ් බාරයේ පසුවන මෙම පුද්ගලයා සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රත්වරයා එලෙස ඇප නියම කළේය.
සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 120, 175, 485, පරිගණක අපරාධ පනතේ 06, පොලිස් ආඥා පනතේ 98 යන වගන්ති සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (අයිසීසීපීආර්) 03 වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම පුද්ගලයාට වෙනත් පුද්ගලයකුගෙන් මෙම තොරතුර ලැබුණු බවත්, එය සත්‍ය තොරතුරක්ද යන්න විශ්ලේෂණය කිරීමට ඔහුට හැකියාවක් නැති බවත්, නීතිගරුක පුරවැසියකු ලෙස ඔහු මෙම තොරතුර ප්‍රසිද්ධ නොකර එය අදාල වගකිවයුතු බලධාරීන්ට දැනුම් දී ඇති බවත් නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. ඔහුට තොරතුර ලබා දුන් පුද්ගලයාගේ දුරකතන අංක සහ බැංකු ගිනුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී දින 16ක් ගත වුවද ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා නැති බවත්, මෙම නඩුවේ සාක්කිකරුවකු විය යුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ ද චෝදනා ඉදිරිපත් කළ ද එම පනත කිසිම අදාලත්වයක් නැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. මෙම පුද්ගලයා මෙලස තොරතුරු නොදී සිට යම් ප්‍රහාරයක් එල්ල වූයේ නම් ඔහු තොරතුරු දැනගෙන ලබා නුදුන් බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි ද ඔහු කීවේය.
ඔහුට එම පනත පමණක් නොව වෙනත් නීති යටතේ ද විමර්ශන යන නිසා  ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
ඒ් අනුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසුවේ සැකකරුට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ නඩුවක් ගෙන යාමට තරම් කරුණු ඉදිරිපත්ව නැති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රිමාන්ඩ් කිරීමේ අරමුණින් අයිසීසීපීආර් පනත යටතේ ඉදිරිපත් කර ඇති බව පෙනී යන්නේයැයි ද, සැකකරු අදාල පනත යටතේ ඇති චෝදනාවලින් මුදා හරින්නේයැයි ද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා තවදුරටත් විමර්ශන පවතින නිසා සෙසු චෝදනාවලින් මුදා හැරීමට නොහැකි යැයි ද ප්‍රකාශ කළේය. සැකකරුට ලැබුණු තොරතුර නිසි බලධාරීන්ට ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති කරුණු වලින් ද පෙනී යන බව කී මහේස්ත්‍රාත්වරයා පොලිසියට තොරතුරු ලබා දෙන පුද්ගලයන් අයීසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගතහොත් මින් ඉදිරියට පුද්ලයන් අපරාධ සම්බන්ධ තොරතුරු ලදහොත් පොලිසියට නොදී සිටිනු ඇතැයි ද සඳහන් කළේය.
අයීසීසීපීආර් පනත යටතේ ඇති චෝදනාවෙන් මුදා හැරීමෙන් පසු ඉතිරි චෝදනා ඇප දිය හැකි වැරදි බැවින් සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Previous articleපොලිසියම දෙදරයි ; මාරුව නීති විරෝධී – අජිත් රෝහණගෙන් වීරසූරියගෙන් පැමිණිලි ; අනීතික නියෝග පිටුපස අලස්?
Next articleපාස්කු චෝදනාපත්‍ර අවුරුදු හතරකට පසු දෙයි ; දේශබන්දුත් ඒ අතර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here