පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්

(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරමින් සිටි විමර්ශන සියල්ල අඩ පන කළ බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුක් කළේය.  ගෝඨාගේ නිවේදනය ඇතැම් කරුණු සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී විමර්ශන අඩපන කළ ආකාරය ගැන මෙම ලිපි පෙල ලියැවේ.
ශානි අබේසේකර
ශානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාය. 1986 වසරේ පෙබරවාරි මස 10 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ ඒ මහතා විවිධ තනතුරු දරමින් කටයුතු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්වන්නේ 2017 වසරේදී ය. ඔහු සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරී නිලයන්ට උසස්වීම් ලබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ  ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරද්දීය. එවකට පොලිස් දෙපාර්තමේන්තුව පැවැතියේ ද ආරක්ෂක අමාත්‍යංශය යටතේය.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වන විට අබේසේකර මහතා සමග අමනාපයෙන් සිටියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2019 නොවැම්බර් 24 වැනිදා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ගොස් ස්වාමීන්වහන්සේලා බැහැ දැක කළ අදහස් දැක්වීමකින් ඒ පැහැදිලි වේ. එම අදහස් දැක්වීම පහත දැක්වේ.
අබේසේකර ගැන විස්තර කරන ගෝඨාභය
“ශානි අබේස්කර එයාට හිතාගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි, බුද්ධි අංශය හිරේ දාන්නයි. මාව හිරේ දාන්නයි. එච්චර විතරක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ, නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නෙවෙයිනේ,”
මෙම ප්‍රකාශය කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ අනවශ්‍ය පොලිස් නිලධාරියකු ස්ථාන මාරු කර වෙනත් අයකු එම ස්ථානයට දැමීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නොහැකි වී ඇති බවයි. ‘‘මේකෙ වැඩේ තියෙන්නේ 19 වැනි සංශෝධනයයි. කිසි වැඩක් කරන්න බැහැ. පොලිසියේ අනවශ්‍ය තැනක ඉන්න කෙනෙක් මාරු කරලා හොඳ මිනිහෙක් දාගන්න කොමිෂන් එකට ගිහින් එවනවා නම් පොලිස්පතිතුමාගේ වැඩක් තියෙනවද?‘‘ යැයි ඔහු කීවේය. එයින් පැහැදිලි වන්නේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගෝඨාභය රාජපක්ෂට මොන තරම් හදිසියක් තිබුණේද යන්නයි.
ගෝඨාභය ශානි එක්ක තරහ ඇයි?
යහ පාලන ආණ්ඩුව බලයට පත්වූ 2015 ජනවාරි අට වැනිදාට පෙර සිදුවූ ප්‍රකට රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුදීන් ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාගේ නිවසට පැමිණ පහරදීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ආදී ආන්දෝලනාත්මක සිද්ධි රැසක් ගැන විමර්ශන බාර කෙරුණේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. මෙම සිදුවීම් සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේ වූ අපරාධ වේ. එම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ වැඩි දෙනෙක් යුද හමුදා බුද්ධි සාමාජිකයෝ වෙති. ඊට හොදම උදාහරණය කීත් නොයා සිද්ධියයි.
පහරකෑ කීත් නොයාර්
‘ද නේෂන්‘ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘව සිටි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 මැයි 22 දින පැහැර ගෙන ගොස් වධහිංසාවට ලක් කර තිබුණු අතර  මෙම පැහැර ගැනීම සැලවූ වහාම එවකට මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙදෙනකු වූ ක්‍රිෂාන්ත කුරේ සහ ලලිත් අලහකෝන් යන මහත්වරුන් කීත් නොයාර්ගේ දෙහිවල පිහිටි නිවසට ගොස් තිබේ. කීත් නොයාර් ලලිත් අලහකෝන් සහ ක්‍රිෂාන්ත කුරේ සමග කොළඹ පිහිටි අවන්හලට ගොස් ඔවුන්ට සමුදී නිවසට යෑමට පිටව ගොස් තිබිණි.
ඉන් අනතුරුව ඩයලොග් සමාගමේ එවකට ප්‍රධානියා වූ ආචාර්ය හාන්ස් විජේසූරිය මේ දෙදෙනාගෙන් එක් අයකුගේ පාසල් මිතුරකු වූ අතර ඔහුට කීත්නොයාර්ගේ සිදුවීම දැනුම්දී සිටින ප්‍රදේශය සොයා ගැනීමට උත්සාහ කළේය.  ඒ වන විට කීත් නොයාර්ගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබිණි. ඒ අනුව ඔහුට දිගින් දිගටම එස්එම්එස් පණිවුඩ යවන ලෙස ඩයලොග් ප්‍රධානියාගෙන් උපදෙස් ලැබිණි. ඔවුන් විසින් මෙම අතුරුදන්වීම ගැන එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාව සිටි කරු ජයසූරියට දැනුම් දුන් අතර කරු ජයසූරිය ඒ ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ එය දැනුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. කරුණු එසේ වෙද්දී එක් අවස්ථාවක කීත් නොයාර්ගේ දුරකතනය ක්‍රියාත්මක වී තිබිණි. ක්‍රිෂාන්ත කුරේලා ඒ ගැන දැන ගත්තේ තමන් යැවූ එස්එම්එස් ඔහුගේ දුරකතනයට ගිය බවට පණිවුඩ ලැබීම නිසාය. පසුව කීත් නොයාර්  අතහැර දමා තිබිණි.
මෙම පැහැර ගැනීම ගැන විමර්ශන 2015න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු මූලික ප්‍රකාශ සටහන් කරගෙන දුරකතන විශ්ලේෂණ සහ තවත් සාක්කි ඔස්සේ විමර්ශන ඉදිරියට කරගෙන ගියේය. එම සොයා බැලීම්වලදී අනාවරණය වූයේ ගෝඨාභය රාජපක්ෂට මෙය දැනුම්දීමෙන් පසු ඔහු එවකට ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවයි. හෙන්දාවිතාරණ එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකරට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ. අමල් කරුණාසේකර විසින් ත්‍රිපෝලි කඳවුරේ පිහිටා තිබූ බුද්ධි අනු ඛණ්ඩයේ අණ දෙන නිලධාරී මේජර් බුලත්වත්තට ඇමතුමක් ලබාගෙන තිබේ. කුලුනු විශ්ලේෂණය අනුව ඒ වන විට බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ දොම්පේ ලන්සියාවත්ත ප්‍රදේශයේය. ඒ අනුව වැඩිදුරටත් කරන ලද විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර්ගේ දුරකතනය සහ ත්‍රිපෝලි කඳවුරේ අණදෙන නිලධාරී ඇතුළු කිහිප දෙනකුගේ දුරකතන මාධ්‍යවේදියා පැහැර ගැනීමේ සිට එකම ලෙස එකට ගමන් කර ඇති බවයි.  කීත් නොයාර්ගේ දුරකතනය විසන්ධි වී යළි ‘ඔන්‘ වන අවස්ථාව වන විට එය දොම්පේ ලන්සියා වත්තේ තිබී ඇති අතර ඒ අනුව අදාල ස්ථානය සොයාගෙන විමර්ශන කණ්ඩායම් ගිය විට අනාවරණය වී ඇත්තේ එය ත්‍රිපෝලි කඳවුරේ හමුදා සාමාජිකයන් කිහිප දෙනකු විසින් බද්දට ගෙන තිබූ ස්ථානයක් බවයි.
ගෝඨාභය රාජපක්ෂට කීත්නොයාර් පැහැරගෙන යෑම ගැන දැනුම් දුන් සැනින් ඔහු ඒ ගැන හමුදාවේ පිරිසකට දැනුම්දීමෙන් පෙනී යන්නේ පැහැර ගන්නා කණ්ඩායයම ගැන ගෝඨාභය හොඳ දැනුම්වත්වීමක් තිබූ බව නොවේද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යැවූ වාර්තාව
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කර මාධ්‍යවේදියා පැහැර ගැනීමට සම්බන්ධයැයි සැකකරන යුද හමුදා බුද්ධි නිලධාරීන් පස් දෙනකු 2017 පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගත් අතර මේ ගැන ගෝඨාභය රාජපක්ෂගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත්තේය. මෙම විමර්ශනය ගැන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සී 87/10 සීඑම් අංකයෙන් පොලිස්පතිට වාර්තාවක් යැවූ අතර එය එවකට අග්‍රාමාත්‍ය දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතට පවා පත්විය.
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් ද යුද හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එය ‘ලේකම්තුමාගේ‘ නියෝගයක් අනුව කළ බවයි. කෙසේ වෙතත් වෙනත් සාක්කි මගින් එය තහවුරු නොවූයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ හෝ නැත.
එසේ වුවද එම විමර්ශනයට අදාල ලේඛන 14ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබුණද ඒවා නොමැති බව කියමින් යුද හමුදාව බුද්ධි අංශ ඒවා ලබා නොදීම ගැන ශානි අබේසේකර මහතා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීය. ඒ අනුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි සුරේෂ් සලේ මහතා අධිකරණයට කැඳවීය. ඊට අමතරව ඔහු ඇතුළු පිරිසක් විමර්ශනයට බාධා කරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාට ලිපියක්ද යොමු කර තිබිණි.
මෙලෙස විමර්ශන කරගෙන යද්දී බුද්ධි අංශ අඩපන කරනවායැයි චෝදනා එල්ල විය. රණවිරුවන් දඩයම් කරනවා යැයි චෝදනා එල්ල කරන්නට පටං ගත්තේය. ලසන්න වික්‍රමතුංග ඝාතනයට මුලින්ම යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට පත් වන්නේ 2010 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදීය. ඉන් පසු එම වසරේදීම යුද හමුදාවේ තවත් පිරිසක් අත්අඩංගුවට පත්විය. කෙසේ වෙතත් විමර්ශන වෙනත් අංශයකට බාරදීමෙන් පසු නතරවුණු විමර්ශනය යලි ආරම්භ වූයේ 2015 ආණ්ඩු මාරුවෙන් පසුවය. 2010 දී යුද හමුදා සාමාජිකයන්, යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගනිද්දී බුද්ධි අංශ අඩපන කරන බවට හෝ රණවිරුවන් දඩයම් කරන බවට කිසිවකු චෝදනා කළේ නැත. වෙනත් අපරාධවලට හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගත් අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒ කිසිදු අවස්ථාවක රණවිරු කතා හෝ බුද්ධි අංශ අඩපන කරන කතා කියන්නේ නැත. එවැනි කතා කියන්නට පටං ගත්තේ දේශපාලනය සම්බන්ධ අපරාධවලට පමණි. රාජපක්ෂවරුන් සම්බන්ධයැයි සැක කරන අපරාධ සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගත් පසු රණවිරු දඩයම සහ බුද්ධි අංශ දුර්වල කිරීම වැනි කතා කියන්නට පටං ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනතුරු එම කතා ඇදෙමින් ගියේය.
ශානි සීඅයිඩියෙන් දොට්ට දැමීම
ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණය පැවැතියේ 2019 නොවැම්බර් 16 වැනිදා ය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ නොවැම්බර් 21 වැනිදාය. ඒ පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් හරියටම මාස හතකට පසුවය. අගමැතිවරයා පත් කරන්නටත් පෙරම එවකට වැඩ බලන පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න (සී.ඩී වික්‍රමරත්න) ලවා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කරන ලෙස ඉල්ලමින් ආරක්ෂක ලේකම්ට ලිපියක් යොමු කරවීය. ආරක්ෂක අමාත්‍යංශය එම ලිපිය ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය.
ඒ අනුව පාස්කු ප්‍රහාරයට මාස හතක් පිරුණු 2019 නොවැම්බර් මස 21 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ අතර එම කොමිසම වැඩබලන පොලිස්පතිවරයා විසින් එවන ලද ලිපිය සැලකිල්ලට ගෙන  ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළේය. පොලිස්පතිගේ ඉල්ලීම පරිදි මහනුවර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර යැවීම වෙනුවට ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර යැවීය. අබේසේකර මහතා ස්ථාන මාරු කිරීමට අදාල ලිපිය MediaLK තොරතුරු පනත අනුව ලබා ගත් අතර අබේසේකර මහතා ස්ථාන මාරු කිරීමට විශේෂ හේතුවක් පොලිස්පතිවරයා එහි සඳහන් කර තිබුණේ නැත. සඳහන්ව ඇත්තේ සේවයේ අවශ්‍යතා මත ස්ථාන මාරු කිරීමට නිර්දේශ කරන බව පමණි.

ආණ්ඩු මාරුව සිදුවූ විගසම කිසිම හේතුවක් විමසන්නේ හෝ නැතිව පොලිස්පතිගේ වැරදි ඉල්ලීම කොමිසම අනුමත කරන්නේ එවකට පොලිස්පති විසින් වෙනත් පුද්ගලයකු සීඅයිඩී අධ්‍යක්ෂ තනතුරට පත්කරන ලෙස කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඊට වඩා සුදුසුකම් ඇත්තේ ශානි අබේසේකර මහතාට බව කියමින් ජාතික පොලිස් කොමිසම විසින්ම ගත් තීන්දුව අනුව 2017 සැප්තැම්බර් 07 වැනිදා  අබේසේකර මහතා එම තනතුරට පත් කරීමට තීරණය කර තිබියදීය. එවකට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කරන ලෙස එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ඉල්ලා සිටියදී ජාතික පොලිස් කොමිසම එවකට ශානි අබේසේකර එම තනතුරට පත් කළේ අදාල තනතුරට නියම සුදුස්සා අබේසේකර මහතා බව කියමිනි.  පොලිස් කොමිසම ඔහු තනතුරෙන් ඉවත් කිරීම අනුමත කළේ කිසිම හේතු විමසීමක් හෝ නැතිවය. ශානි සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පවා තිබුණු බලපෑම කෙසේද යන්න ඉන් සිතාගත හැකිය.
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන රැසක් මෙන්ම 2015 කාලයට පෙර සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශනවල අධීක්ෂණ නිලධාරියා වූ ශානි අබේසේකර 2019 නොවැම්බර් 21 එම තනතුරින් ඉවත් කළ පසු එම තනතුරට පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කණ්ඩායමේ කාලයක් කටයුතු කළ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතාය.
ගෝඨාට වැරදුණු දොට්ට දැමීම සහ වැඩතහනම
ගෝඨාභය රාජපක්ෂ චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘මහාධිකරණයේ විභාග වෙමින් පැවැති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමග ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකතන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනව ආණ්ඩුවකටවත් නොහැක.‘
ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම සාධාරණීකරණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මෙලෙස සඳහන් කළ ද අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කෙරුණේ මෙම හඬපට සිදුවීමට මාස එක හමාරකට පමණ පෙරය. 2019 නොවැම්බර් 21 වැනිදා ශානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කෙරුණු අතර හඬපට සිද්ධිය ප්‍රසිද්ධ වූයේ 2020 ජනවාරි මාසයේය. එම සිද්ධිය පාදක කරගෙන අබේසේකර මහතාගේ වැඩ තහනම් කරනු ලැබුවේ 2020 ජනවාරි හත්වැනිදාය.
අබේසේකර මහතා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සහ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු දෙකක් පවරා තිබේ. වැඩ තහනමින් පසු මූලික පරීක්ෂණයක් සහ විනය පරීක්ෂණයක් සිදු කළ යුතු අතර ගෝඨාභය රාජපක්ෂගේ රජය යටතේ එවැනි පරීක්ෂණයක් සිදු කළේ නැත. ඒ අනුව ඔහුට හිමි වැටුප, විශ්‍රාම වැටුප ඇතුළු සියල්ල ගෙවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය සහ ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය. අබේසේකරට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ යටතේ විමර්ශන 20ක් පමණ ආරම්භ කෙරුණු අතර ඒ සියලු විමර්ශනවලින් ඔහු නිදහස් කෙරුණේ ඔහුට එරෙහිව තිබූ සියලු චෝදනා සනාථ කිරීමට සාක්කි නොමැති වූ බැවිනි.
ගෝඨාභය රාජපක්ෂ ඉහත ප්‍රකාශයෙන් කියන්නේ දුමින්ද සිල්වාගේ නඩුව ගැනයි. රංජන් රාමනායක එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග කතා බහක යැයි හැඟෙන හඬපටයක් ජනමාධ්‍ය ඔස්සේ විකාශය කළ අතර එය සංස්කරණය කළ හඬපටයක් බවටද චෝදනා එල්ල විය. එම හඬවල කිසිම තැනක විනිසුරුවරුන්ට බලපෑම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. රාමනායක මහතා විනිසුරුවරුන්ට ඇමතුම් ලබා දෙන බව කියද්දී එලෙස නොකරන ලෙස අබේසේකර මහතා උපදෙස් දෙන අයුරු එම හඬපටවල තිබිණි. එසේ නම් අබේසේකර කර ඇත්තේ බලපෑම් කිරීම හෝ කුමන්ත්‍රණය කිරීම නොව බලපෑම් කිරීම නතර කිරීමය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
එසේම දුමින්ද සිල්වා හට එම නඩුවෙන් මරණ දඬුවම නියම විය. එම දඬුවම නිවැරදි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු පස් දෙනෙක් එම තීන්දුව ස්ථිර කළහ. කුමන්ත්‍රණකාරීව දුමින්ද සිල්වා ඇතුළට දැම්මා  යැයි කියන පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙක්  මහාධිකරණ තීන්දුව අනුමත කිරීම ගැන කතා කරන්නේ නැත. දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වූ සිද්ධිය සිදුවූයේ 2011 වසරේදීය. එවකට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ අතර දුමින්ද සිල්වා කටයුතු කළේ ආරක්ෂකඅ මාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙසය. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ශානි අබේසේකර ඇතුළු පිරිසක් විසින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 මාර්තු 05 වැනිදාය. දැන් කුමන්ත්‍රණයක් ගැන කියන ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම්වරයාය.
නිලධාරීන් මාරු කිරීම
‘මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති ළුූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහ අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි.‘
පාස්කු විමර්ශන අඩපන කිරීමට නිලධාරීන් මාරු කිරීමක් බව සඳහන් කළ විට ගෝඨාභය රාජපක්ෂ ඒ කියන්නේ අබේසේකර ගැන බව උපකල්පනය කරයි. 2019 නොවැම්බර් මස සිට 2022 ජූලි 09 ඔහු ජනාධිපති ධුරයෙන් පහ කරවනු ලැබීම දක්වාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් ස්ථාන මාරු ලැබූහ. එසේ තිබියදී චැනල් ෆෝ චෝදනාව අදාල වන්නේ ශානි අබේසේකරටම බව ගෝඨාභය අනුමාන කරන්නේ කෙසේද? ඔහු විසින් අබේසේකර ඉවත් විමර්ශන අඩපන කිරීමටම බව දන්න නිසා ඔහුට එසේ කියැවිණිද?
රාජපක්ෂ මහතා නොදන්නවා සේ එවැනි කරුණු මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණෙ  2019 වසරේ නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ඉවත් කෙරුණු පාස්කු ප්‍රධාන විමර්ශකයන් සහ විමර්ශන අධීක්ෂකයන් ගණන 31 දෙනෙකි. එම ලැයිස්තුව පහත දැක්වේ.
  1. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රවී සෙනවිරත්න මහතා (ඔහු විශ්‍රාම ලැබීය. විමර්ශන අධීක්ෂණය කළ ඔහුට එම විමර්ශන කඩිනමින් අවසන් කරන තෙක් සේවා දිගුවක් නොලැබිණි.
  2. නියෝජ්‍ය පොලිස්පති පී.කේ.ඩී. ප්‍රියන්ත (ප්‍රවර්තන දිසාව)
  3. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (විශ්‍රාමික) ශානි අබේසේකර මහතා
  4. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ පියසෙන් අම්පාවිල මහතා (වර්තමාන නියෝජ්‍ය පොලිස්පති වන්නි දිසාව)
  5. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා (වර්තමාන මෙහෙයුම් අධ්‍යක්ෂ අල්ලස් හෝ දූශන චෝදනා විමර්ශන කොමිෂන් සභාව)
  6. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. ඩබ්ලිව්. වික්‍රමසේකර මහතා (වර්තමාන අධ්‍යක්ෂ පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශය)
  7. නියෝජ්‍ය පොලිස්පති ජනාධිපති ආරක්ෂක දිසාව, ජේ.පී.ඩී ජයසිංහ
  8. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්ජිත් වෙදසිංහ
  9. අධ්‍යක්ෂ ගොඩනැගිලි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා
  10. පොලිස් අධිකාරී කලනසිරි මහතා (වර්තමාන පොලිස් අධිකාරී බදුල්ල කොට්ඨාශය)
  11. පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකර (පොලිස් රථවාහන කොට්ඨාශය නාරාහේන්පිට)
  12. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය කොට්ඨාශය ඉන්දික ලොකුහෙට්ටි මහතා
  13. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි (පොලිස්පති කාර්යාලය)
  14. කාන්තා සහකාර පොලිස් අධිකාරී තනුජා දමයන්ති හෙලඋඩගේ (ළමා හා කාන්තා කාර්යාංශය)
  15. කාන්තා සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම (ස්ථානමාරු කිරීමෙන් පසු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත)
  16. කාන්තා සහකාර පොලිස් අධිකාරී දීපානි මැණිකේ (ස්ථානමාරු කිරීමෙන් පසු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත)
  17. කාන්තා සහකාර පොලිස් අධිකාරී නාමලී හේරත් (ගම්පහ කොට්ඨාශය)
  18. සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ (කොළඹ දකුණ කොට්ඨාශය)
  19. ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ (විදේශගතවී ඇත)
  20. ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කරසිංහආරච්චි (අල්ලස් හෝ දූශන චෝදනා විමර්ශන කොමිෂන් සභාව)
  21. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොල (මූලස්ථාන පොලිස් පරීක්ෂක දඹුල්ල)
  22. ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා (දේශපාලන රැකවරණ පතමින් විදේශගතවී ඇත)
  23. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ (පොල්ගහවෙල පොලිස් ස්ථානය)
  24. පොලිස් පරීක්ෂක ජයසිංහ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව)
  25. පොලිස් පරීක්ෂක ෆසීර් (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව)
  26. උප පොලිස් පරීක්ෂක ආර්.එස්.එම් මෙන්ඩිස්
  27. උප පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර
  28. උප පොලිස් පරීක්ෂක ජගත්
  29. උප පොලිස් පරීක්ෂක ලක්මාල්
  30. පොලිස් සැරයන් විජිත
  31. පොලිස් සැරයන් රාජපක්‍ෂ
රාජපක්ෂ මහතා තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට මහජනතාවට කරුණු කියන්නේ මෙවැනි බොලඳ සහ ව්‍යාජ කරුණු නම් එමගින් තව තවත් තහවුරු වන්නේ කුමක්ද?

ඉතිරි කොටස තවත් ලිපියකින්….

විනිසුරුවරුන් 07 දෙනකුගේ තීන්දුව ඉවතට : දුමින්ද සිල්වා නිදහස්

දුමින්ද සිල්වා සභාපති පුටුව බබලවයි ද? : වරදකරුවෙක් පත්කරන්න කිසිම ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර

චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී !

 

Previous articleසාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්
Next articleඅතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here