නාඋල මරණය ; පොලිස් ලොක්කෝ සාක්කි වසං කරලා?

(තරිඳු ජයවර්ධන)
නාඋලදී වෙඩි වැදී  මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් නීතියෙන් ගැලවෙන ආකාරයට පොලිසිය විමර්ශනය කර ඇති බවට පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් මතුවී තිබේ.
මීඩීයාඑල්කේ මගින් පසුගිය16 දින මරණ පරීක්ෂණය වාර්තා කළ 2022 මාර්තු මස තුන් වැනිදා නාඋලදී මරණයට පත්වූ අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න හෙවත් රාල නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ” ඒ ” වාර්තාවකින් කරුණු වාර්තා කිරීම මගින් පෙන්නුම් කරන්නේ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දීමට පෙර පොලිසිය එම මරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
“ඒ” වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අවස්ථා, “බී” වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අවස්ථා සහ සාමාන්‍ය කොළයක (වයට්) කරුණු වාර්තා කළ යුතු අවස්ථා ගැන පොලිසියට අවශ්‍ය තරම් උපදෙස් ලබා දී ඇති බවත්, ඒ වාර්තාවක් මගින් කරන්නේ වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති හදිසි මරණ දැනුම්දීම, වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති සැකකරුවන් අත්අඩංගුවට ගෙන මුදා හැරීම් දැනුම්දීම වැනි කරුණු බවත්, මරණ පරීක්ෂණයක් පවත්වා මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කරනු ලැබිය යුතු කරුණක් සම්බන්ධයෙන් “ඒ” වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයකු මෙන්ම අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියත්න ජයකොඩි මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා ප්‍රකාශ කළේ වෙඩි තැබීමකින් සිදුවූ මරණයක් සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන්නේ නම් එය කළ යුත්තේ “බී” වාර්තාවකින් බවයි.
නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් එස් රාජනායක මහතා 2022 මාර්තු මස 03 වැනිදා සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් එදිනම අධිකරණය කරුණු වාර්තා කර ඇත්තේ “ඒ” වාර්තාවක් මගිනි. එහි අංකය ඒආර් 249/2022 වේ. මෙම සිද්ධියට අදාලව ඇසින් දුටු සාක්කිකරුවන් ද සිටියත් පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ මරණ පරීක්ෂණයේ තීන්දුව ද ඔහුම ලබා දෙමිනි. එම වාර්තාවේ මෙසේ සඳහන් වේ.
‘ඒ අනුව මෙම නිලධාරියාගේ ගිණි අවිය උදුරාගෙන පලා යාමට උත්සාහ කරන අවස්ථාවේදී හා නිලධාරීන්ට වෙඩි තැබීමට සූදානම් වන අවස්ථාවේදී සැකකරු අත තිබූ ගිනිඅවිය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇත.’
කෙසේ වෙතත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් මෙවැනි මරණයකදී පොලිසිය කටයුතු කළ යුතු ආකාරය ගැන විමසීමේදී ඔහු සඳහන් කළේ පොලිසිය කඩිනමින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට “බී” වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ යුතු බවයි. පොලිසිය සියලු දෙනාගෙන් සාක්කි සටහන් කර ගත යුතු බවත්, ඒ මගින් අනාවරණයවන තොරතුරු අධිකරණයට වාර්තා කළ යුතු බවත්, කිසි ලෙසකින් ඒක පාර්ශ්විකව කරුණු වාර්තා කිරීමේ හැකියාවක් නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සාක්කි කැඳවමින් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, මරණයට හේතුව තීන්දු කළ යුත්තේ පොලිසිය නොව මහේස්ත්‍රාත්වරයා පමණක් බවත්, මරණයට හේතුව තීරණය කරද්දී මරණ පරීක්ෂණයේදී ලබා දුන් සාක්කි, ස්ථානීය පරීක්ෂණයේ නිරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත හැකි බවත් ජයකොඩි මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් නාඋල සිදුවීමේදී පොලිසිය කරුණු වාර්තා කර ඇත්තේ ඒක පාර්ශ්විකව බව බැලූ බැල්මක පෙනෙයි. පොලිසියේ නොවන සිවිල් සාක්කිකරුවන්ගේ සාක්කි මගින් අනාවරණය වන කරුණු පොලිසිය මුල් “ඒ” වාර්තාව මගින් අධිකරණයට වාර්තා කර නැත.  මෙම සිදුවීමට සෘජුව පොලිස් නිලධාරීන් සම්බන්ධ නිසා විමර්ශනය ස්වාධීනව කරන බව තහවුරු කිරීමට එම අවස්ථාවේම විමර්ශන වෙනත් අංශයකට පැවරීමට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ ඊට ඉහළ පොලිස් නිලධාරීන්ට හැකියාව තිබුණ ද එසේ සිදු කර නැත.
මාර්තු මස 03 වැනිදා මුල් “ඒ” වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු නාඋල පොලිස් ස්ථානාධිපතිවරයා  වැඩිදුර වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ මාර්තු මස 21 වැනිදාය. මාතලේ දිස්ත්‍රික් 01 බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධය අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකවර්ධන ඇතුළු කණ්ඩායමක් විමර්ශන කරන බව දන්වමින් මරණ පරීක්ෂණයේ සාක්කි ලබාගත යුතු ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කළේ නාඋල පොලිස් ස්ථානාධිපති විසින්මය. ඉන්පසු 2022 ජුනි 06 වැනිදා නැවත වරක් අධිකරණයට වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරිපත් කර ඇත්තේ ද නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයාම ය. එමගින් ඔහු විමර්ශනයට අදාල වාර්තා ලබා ගැනීමට නියෝග ඉල්ලා තිබේ. මෙම විමර්ශනය මාතලේ මූලස්ථාන පොලිසියෙන් සිදු කරන බවට මීට පෙර වැඩිදුර වාර්තාවෙන් ප්‍රකාශ කළ ද විමර්ශන බාර ගත් බව කියන කණ්ඩායම තමන් විමර්ශනය බාර ගත් බවට ⁣එම අවස්ථාවේ වාර්තා කර නැත. එමෙන්ම වෙනත් සාක්ෂිකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු ද වාර්තා කර නැත.
මෙම සිදුවීම සිදුවූ අවස්ථාවේ සිටම සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවන්ගේ ප්‍රකාශ පසෙකලා පොලිසිය පොලිසියේ දෙදෙනාගේ ස්ථාවරය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට උත්සාහ කළ බවක් ද මාධ්‍ය වාර්තා බැලූවිට පෙනී යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා උපුටා දක්වමින් දිවයින පුවත්පත 2022 මාර්තු 04 වැනිදා වාර්තා කළේ මිය ගිය පුද්ගලයා සතුව තිබී මත්කුඩු සහ ගංජා සොයා ගත් බවයි. ගංජා මත්ද්‍රව්‍ය සොයා ගත් බවට නාඋල පොලිස් ස්ථානාධිපතිවරයා පවා වාර්තා කර නැති පසුබිමක සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව කියන පොලිස් සැරයන්වරයා තමන් ගංජා අත්අඩංගුවට ගත් බවට මරණ පරීක්ෂණයේ සාක්කි දෙද්දී හෝ ගංජා මත්ද්‍රව්‍ය සොයා ගත් බවට ප්‍රකාශ කර නොතිබියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ජනමාධ්‍ය වෙත ව්‍යාජ තොරතුරු සපයා ඇත්තේ මෙම අපරාධය වසන් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක කොටසක් ලෙසද යන්න සැක සහිත යැයි පොලිසියේම පිරිස් පවසති.
මිය ගිය පුද්ගලයාගේ පෙර ගති පැවතුම් ගැන සහ ඔහුට එරෙහි වෙනත් නඩු ගැන මෙම සිද්ධියට කිසිම අදාලත්වයක් නැතිව තිබියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදී ඇති බව දිවයින පුවත්පතේ වාර්තාව අනුව පෙනී යන අතර එය ද මෙම ඝාතනය සාධාරණීකරණය කිරීමේ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් විය හැකිය.
මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් වරදකරුවන් වීම වලක්වා ගැනීමේ අරමුණින් පොලිසියේ ඉහළ නිලධාරීන් මනා අවබෝධයෙන් යුක්තන සාක්කි වසන් කිරීමක් සිදු කර ඇති බවට බැලූ බැල්මට පෙනේයැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි⁣යෙක් සඳහන් කළේය.  වෙනත් කණ්ඩායමක් විමර්ශනය කරන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කළ යුත්තේ සහ ඊට අදාල නියෝග ඉල්ලා සිටිය යුත්තේ විමර්ශනය සිදුකරන කණ්ඩායම බවත්, තමන් විමර්ශනය බාර ගත් බව ඔවුන් අධිකරණයට දැනුම් දිය යුතු බවත්, එසේ නොවී නාඋල පොලිසියම වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇත්නම් සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකි බවත් ඔහු කීවේය.
මෙලෙස සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් මීට පෙර වෙනත් සිදුවීම් වලදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වැනි උසස්ම පොලිස් නිලධාරීන් හා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවා අත්අඩංගුවට පත්වී ඇති තිබේ. වසීම් තාජුඩීන් ඝාත⁣නයේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර, නාරාහේ්න්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් විය.  බියගම විලේජ් අධිපති ඝාතන සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. ලසන්ත වික්‍රමතුංග ඝාතන සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් විය.
නාඋල සිදුවීමේ තවත් විශේෂත්වයක් වූයේ පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු නීතිඥවරු පිරිසක් මරණ පරීක්ෂණයේ සාක්කි විමසීමයි. ඊට අගතියට පත් පාර්ශ්වයේ විරෝධය එල්ල විය.
නාඋල සිදුවීමේදී පොලිසිය සාක්කි වසන් කරමින් කටයුතු කිරීම ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. දෙසැම්බර් 15 වැනිදා සවස 3.40ටත්,  දෙසැම්බර් 16 වැනිදා උදෑසන 7.52ටත්, දෙසැම්බර් 20 වැනිදා සවස 2.48ටත් නිල ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තද ඊට ප්‍රතිචාර දැක්වීමක් සිදු නොවිනි.
Previous articleනාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස් කරලා
Next articleඑස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here