ඇප දීමේ තීන්දුව හෙට : එක් කටඋත්තරයක් නිසා රිමාන්ඩ් කිරීම අසාධාරණයි – ශානිගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට කියයි !

මාස 10ක් තිස්සේ රිමාන්ඩ් කරනු ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබා දීම සම්බන්ධ තීන්දුව හෙට (16) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.
අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා සම්බන්ධ පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. යූ. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවන ලදි.
ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා ද, සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා සමග නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද අධිකරණයේ දී කරුණු දැක්වීය.
අබේසේකර මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ විරාන් කොරයා මහතා ප්‍රකාශ කළේ ඇප පනත අනුව විශේෂ හේතුවක් නොමැතිව මහාධිකරණයට ඇප ලබාදිය හැකි නමුත්, ඔහුට ඇප ලබා නොදුන් බවයි. විශේෂ හේතුවක් අවශ්‍ය නැතත්, විශේෂ හේතු දෙකක් ඉදිරිපත් කළ ද ඇප හිමි නොවූ බව නීතිඥවරයා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බැවින් මෙම සැකකරුවන් ද රට හැර යතියි කියා ඇප දීමට විමර්ශන කණ්ඩායම් විරුද්ධ වුවද, මෙම සැකකරුවන් කිසිම අවස්ථාවක රට හැර නොයන බවත්, නිශාන්ත සිල්වා රට හැර යද්දී එන ඔ්නෑම අභියෝගයකට මුහුණ දීම සදහා මෙම සැකකරුවන් රටේ සිටි බවත්, ප්‍රකාශ ලබා ගැනීමට කැඳවූ සෑම අවස්ථාවකම ප්‍රකාශ ලබාදීමට ගිය බවත් නීතිඥ කොරයා මහතා ප්‍රකාශ කළේය.
ශානි අබේසේකර මහතාට හෘදයාබාධයක් සහ තවත් රෝග කිහිපයක් තිබෙන බව කී ඒ මහතා, මීට පෙර බන්ධනාගාරයේ සිටියදී කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වූ බව සඳහන් කළේය. සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහුට ජීවිත අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි සඳහන් කළ නීතිඥ කොරයා, ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය සැකකරුවන්ට පවා ඇප ලබා දෙන ලෙස දැනුම් දී තිබෙන බවත්, අසනීප තත්ත්වයේ පසුවන අබේසේකර මහතාට ඇප ලබා නොදීමට හේතුවක් නැති බවත් ඔහු කීවේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටි අතර, ඔහු ප්‍රකාශ කළේ ඇප ලබාදීමට විරෝධතාව දක්වන බවයි.
මීට අදාළ විමර්ශන තවම අවසන් නැති බවත්, විමර්ශනයට අදාළව ‘සංජීවනී’ නම් කාන්තාවකගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුව ඇතත්, ඇය රටේ නොමැති නිසා විමර්ශන අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් අබේසූරිය මහතා ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දෙමින් විරාන් කොරයා මහතා ප්‍රකාශ ක‌ළේ විමර්ශන අවසන් නොවීම මෙම සිදුවීමට ඇප ලබා නොදීමට හේතුවක් නොවන බවයි. මාස 10ක් තිස්සේ කටඋත්තරයක් නොගෙන එය ලබාගන්නා තෙක් යැයි පවසමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම අසාධාරණ බවත්, ඇප දීම රීතියක් බවත්, එබැවින් අබේසේකර මහතාට ඇප ලබා දෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද කරුණු දක්වමින් ඔහුට ද ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව ඇප සම්බන්ධ තීන්දුව හෙට උදෑසන ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
සුගත් මෙන්ඩිස් මහතා සිර කිරීමට එකම හේතුව ශානි අබේසේකර මහතාට එරෙහිව සාක්කි ලබා නොදීම බවත් තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ශානි අබේසේකර මහතාට එරෙහිව සාක්කි ලබාදෙන ලෙස කළ බලපෑම් සම්බන්ධයෙන් පසුදිනම මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් ලබාදුන් බවත් නීතිඥ චමින්ද අතුකෝරල මහතා පැවසීය.
Previous articleඅසාත් සාලිගේ විමර්ශනයක් අවසන් : ඉදිරි ක්‍රියාමාර්ග සතියක් තුළ – නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
Next articleවසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here