ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන)
රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග විසි අවුරුද්දක් පුරා කළ සටනට වඩා ලොකු සටනක දැන් ඔහු නියැලී සිටී. ඒ තම දරු තිදෙනා ජීවත් කරවීම සඳහා කරන්නට සිදුවී තිබෙන සටනකි.  ඔහුට මෙම සටහනට මුහුණදීමට සිදුවූයේ ශ්‍රී ලංකාවේ මුහුදට පැමිණෙන ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රාවලින් ඔහුගේ සාම්ප්‍රදායික දැල්වලට වූ දැඩි හානියත් සමගය.
ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකාවේ මුහුදට පැමිණ ධීවර කර්මාන්තයේ යෙදෙන ඉන්දියාවේ ධීරවයන් නිසා රෙජිනෝල්ඩ් මෙන්ම උතුරු පළාතේ බොහෝ ධීවරයෝ දැඩි අර්බුදයකට මුහුණදී සිටියිති. ඩෙල්ෆ් ලෙස හඳුන්වන උතුරේ නෙදුන්තිව් දූපතේ ජීවත් වන රෙජිනෝල්ඩ් මෙන්ම එළුවතිව්, අනලතිව්, පුංකුඩුතිව්, කයිට්ස් වැනි උතුරේ සෙසු දූපත්වල ජීවත්වන ධීවරයන්ට ද ඉන්දියාවේ සිට පැමිණෙන ට්‍රෝලර්වල ගැටලුව තදින්ම දැනෙයි.
වසර ගණනාවක සිට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ධීවරයන් කෙතරම් හඬ නැගුවත් මේ වන තෙක් මෙම ගැටලුව සඳහා නිසි විසඳුමක් ලැබී නැත.  ඉන්දියාවේ ධීවරයන් දිනට යාත්‍රා 500කින් පමණ ශ්‍රී ලංකා මුහුදට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව බලා සිටියදී වීම විශේෂත්වයකි.
නාවික හමුදාවේ සුපරික්ෂාව යටතේ ඇති ඩෙල්ෆ් දූපතේ වෙසෙන රෙජිනෝල්ඩ් මුලින් තම පියා සමග ධීවර රැකියාව කරගෙන ගියද විවාහයෙන් පසු කුඩා බෝට්ටුවකින් තනිවම මුහුදු රස්සාව කරගෙන යයි.

‘මගේ බෝට්ටුවේ මෝටරයක් සවි කරන්න පුලුවන් බෝට්වුක්. ඒත් මෝටරයක් නෑ. මෝටරයක් ගන්න සල්ලි නෑ. ඒ නිසා ඈත මුහුදට යන්න බෑ. ඉස්සර සාම්ප්‍රදායික දැල් දාලා මාළු ඇල්ලුවා. ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රාවලින් ඒවා විනාශ කලා. දැන් සාමාන්‍ය පොඩි දැලක් දාන්නේ. ඉස්සර වගේ මාළු ගොඩක් අල්ලන්න අමාරුයි දැන්. පැය දෙක තුනයි මුහුදේ ඉන්නේ.  දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතා දැන් පහ වසරේ ඉගෙන ගන්නවා. එයාලගේ වැඩ සඳහා ලොකු මුදලක් වැය වෙනවා. දැන් හැමදේකම වියදමත් වැඩී. හරිම අමාරුයි  ජීවත් වෙන්න.‘ රෙජිනෝල්ඩ් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු සීමාව මුහුදු ප්‍රදේශ තුනකට බෙදා ඇත ඇති බව ආචාර්ය සනත් ද සිල්වා මහතා 2008 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් පැවැති ඇමරිකා ආරක්ෂක විශ්ව විද්‍යාලය සංවිධානය කළ ක්‍රියාකාරී කමිටු රැස්වීමකට ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන්වේ. උතුරේ බෙංගාල බොක්ක,  මැදින් පෝක් සමුද්‍ර සන්ධිය සහ දකුණේ මන්නාරම් බොක්ක එම ප්‍රදේශ තුන වේ. එහි සඳහන් වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 32ක් පමණ වන බවයි.  පෙර අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් තම ධීවර කටයුතු කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේය.

රෙජිනෝල්ඩ් වැනි ධීවරයන් රැසක් වර්තමානයේ මුහුණ දෙන ගැටලුව මීට වසර ගණනාවකට පෙර ද තිබිණි. එසේ හෙයින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමාව වෙන් කිරීමට සිදුවීම ද එක් ඓතිහාසික සංධිස්ථානයකි. එය වෙන් කළ ආකාරය සනත්ද සිල්වා එම පත්‍රිකාවේදී විස්තර කර ඇත්තේ මෙසේය.
‘1957 දී ශ්‍රී ලංකාව සංරක්‍ෂණ ක්‍රියාමාර්ග ගැනීමට සහ තම මුහුදු සීමාව තුළ මුහුදේ මසුන් ඇල්ලීම නියාමනය කිරීම සඳහා මහාද්වීපික තටාකයේ ස්වෛරී අයිතිය ප්‍රකාශ කළේය. ඉන්පසුව,  1970 දශකය දක්වා වූ නිහඬ සබඳතාවයක් අපට හඳුනාගත හැකිය. මෙම කාලය තුළ ශ්‍රී ලංකාව සිය මුහුදු සීමා ආරවුල් විසඳාගත් වැදගත් කාල පරිච්ඡේදයක් විය. මන්නාරම් බොක්ක, පෝක් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධියේ ජලය සීමා කිරීමේ අවශ්‍යතාවය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය  ඉන්දිරා ගාන්ධි මැතිනියගේ රජයට පෙන්වා දුන්නාය. දෙරට අතර ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා එකිනෙකාට පිළිගත හැකි සමුද්‍ර සීමාව විධිමත් ලෙස නිර්ණය කළ යුතුය යන යෝජනාවට දෙරට එකඟ විය.

අනෙක් අතට පෝක් සමුද්‍ර සන්ධියේ සම්පත් අධික ලෙස සූරාකෑම ද ආණ්ඩු දෙකේම අවධානයට ලක් වූ කරුණක් විය. සාකච්ඡා වට කිහිපයකින් පසුව, 1974 සහ 1976 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් පනවන ලද සමුද්‍ර නීති මගින් නිර්වචනය කර ඇති පරිදි ජන සීමා පිළිගැනීමට රජයන් දෙක එකඟ විය. 1977 ජනවාරි 15 වන දින ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ පැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමි විය.‘

ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපතේ සිට ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා දුර නාවික සැතපුම් 14කි. එනම් කිලෝමීටර 26ක් පමණ වේ. යාපනේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර 60ක් පමණ දුරින් වූ කච්චතිව් දූපත දක්වා තම අණසක විහිදුවා ඇති ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ඒ ආසන්නයේම ඇති ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඉතාම කලාතුරකිනි. කෙසේ වෙතත් ඉන්දියා ධීවරයන් ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් ඇල්ලීම දිනපතා සිදුවන බව ධීවර සමිති නායකයෝ සඳහන් කරති.

‘මෙය වර්තමානයේ ධීවරයින් මුහුණ දෙන බරපතළම ගැටලුවක්. ඉන්දියාවේ ධීවරයින් අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු අදාළ ආයතන නිසි පියවර නොගැනීම මෙවැනි සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුවයි. සාමාන්‍යයෙන් දිනකට ඉන්දීය ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවුවත් ඉඳ හිට හෝ නඩු පැවරෙන්නේ ඉන් දෙක තුනකට පමණයි. ඉන්දියා ධීවරයන් කරන්නේ අපේ මුහුදු තීරයේ මාළු අල්ලලා නාවික හමුදාව ආපු ගමන් එයාලගේ පැත්තට යන එක. කෙසේ වෙතත්, නිසි අවධානයක් යොමු කළහොත් එවැනි සිදුවීම් වළක්වා ගත හැකියි. ධීවර අමාත්‍යාංශයද මෙම සිදුවීම් වැළැක්වීමට ප්‍රමාණවත් අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැහැ. ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රා ලොකුයි අපේ ධීවරයන්ගේ ඒවාට වඩා. දවස ගානේ ඉන්දියාවේ අය අපේ මුහුදු සීමාවට ඇවිත් මාළු අල්ලනවා. මේ නිසා අපි ගැටලු ගණනාවකට මුහුණ දෙමින් ඉන්නවා. එකක් ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට අපිව තල්ලුවෙමින් තියනවා. මේ රටේ මත්‍ය සම්පත ඉන්දියාවට ගෙනියන එකෙන් මෙහේ ධීවරයන්ගේ ආදායමට දැඩි බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම ඉන්දියා ට්‍රෝලර් යාත්‍රා නිසා අපේ ධීවරයන්ගේ දැල්වලට හානි වෙනවා. මෙහේ ධීවරයන්ගේ බෝට්ටුවලට හානි සිදු කිරීමේ සිදුවීම්පවා වාර්තා වෙනවා. ‘ යැයි කයිට්ස් ධීවර සමිති සම්මේලනයේ සභාපති අන්නාලිංගම් අන්නරාසා පැවසීය.
අන්නරාසා ප්‍රකාශ කළ පරිදි ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රා පැමිණීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ දැනටමත් නීති පද්ධතියක් තිබේ. 1979 අංක 59 දරණ ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) පනතේ 06 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද අවසරපත්‍රයක් නැතිව ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීම සඳහා හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා විදේශීය ධීවර බෝට්ටු භාවිත කිරීම නොකළ යුතු බව එම පනතේ 04 වැනි වගන්තියේ සඳහන් කර තිබේ.  යම් ආකාරයකට විදේශීය බෝට්ටුවක් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වන්නේ නම් එම බෝට්ටුවේ ඇති ධීවර ආම්පන්න මසුන් ඇල්ලීමට නොහැකි වන සේ නියමිත ආකාරයට ගබඩා කර තිබිය යුතු බව පනතේ 05 වැනි වගන්තියේ සඳහන්වේ.
ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වෙන ඕනෑම විදේශීය බෝට්ටුවක් නැවැත්වීමට, සෝදිසි කිරීමට මෙන්ම වරෙන්තු නැතිව තම බාරයට ගැනීමට සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද බලධාරීන්ට බලය තිබේ. මෙම නීතිය 2008 වසරේදී සංශෝධනය වූ අතර ඒ මගින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී සන්නද්ධ සේවාවන්හි හමුදාපතිවරුන් මෙන්ම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද සහයෝගය ලබා දිය යුතු බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා මුදුහු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතු කරීමට අදාලව වන දඬුවම වසර දෙකක් දක්වා වූ සිර දඬුවමකි. මීට අදාල නඩු කටයුතු මාසයක් ඇතුළත අවසන් කළ යුතු බව නීතියේ සඳහන්වේ. මේ පනත ක්‍රියාත්මක කරන අමාත්‍යවරයා වෙත ද පනත මගින් පුළුල් බලතල ලබාදී තිබේ. ඇතැම් අවස්ථාවන්හිදී රෙගුලාසි නිකුත් කිරීමට පවා ඔහුට හැකියාව තිබේ. 1981 දී ඒ යටතේ විදේශීය ධීවර බෝට්ටු නියාමන රෙගුලාසි නිකුත් කර ඇති අතර විදේශීය ධීවර බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වන්නේ නම් ඒ සඳහා අවසර ගත යුතු ක්‍රමවේදයත්, අවසර දිය යුතු ක්‍රමවේදයත් එහි සඳහන්වේ. ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට සහ එම දෙපාර්තමේන්තුව අයත් ධීවර අමාත්‍යංශයට මෙම පනත සහ ඊට අදාල රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි.
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදේ සිදුකරන නීතිවිරෝධී ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2023.01.24 වන දින සාකච්ඡාවක් පවත්වා තිබේ. එසේම නීතිවිරෝධී විදේශීය ධීවර යාත්‍රා සහ ධීවරයින් පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීම ද 2023 වසරේ දී සිදු කර ඇති බව ධීවර අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවේ සඳහන්වේ.
දැනුම්වත් කිරීම් සහ සාකච්ඡා කොතෙක් කළත් උතුරේ ධීවරයන්ට තවමත් අදාල ගැටලුව සඳහා විසඳුම් ළඟා කර දීමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට රජයට නොහැකි වී තිබේ.  ගැටලුව එන්න එන්නම උත්සන්න වෙමින් තවමත් ඇදෙමින් යයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයේ ලේකම් කේ එන් කුමාරි සෝමරත්න මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මෙය රටවල් දෙක අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.  ‘වසර කිහිපයක සිට රටවල් දෙක අතර මේ ගැන සාකච්ඡා තිබ්බා. අපි විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරලා තියනවා නැවත මේ ගැන සාකච්ඡා ආරම්භ කරන්න. විදේශ අමාත්‍යවරයාත් ඊට අදාලව කටයුතු කරගෙන යන බව අපි දන්නවා. මීට අදාලව දැනට තියන නීති වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එය දැන් අවසන් අධියරේ තියෙන්නේ. දැනට නීතියේ තියනවා පළමු වරට අත්අඩංගුවට පත්වුණොත් දඬුවම සහ නැවත නැවත අත්අඩංගුවට පත්වුණොත් දෙන දඬුවම් ගැන.‘ යැයි සෝමරත්න මහත්මිය සඳහන් කළාය. පනත යටතේ අත්අඩංගුවට ගැනීම් කිරීමට නාවික හමුදාවට ඇති බලය භාවිත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා නොදෙන්නේ ඇයිදැයි කළ විමසීමේ දී ලේකම්වරිය ප්‍රකාශ කළේ දැනටත් එය ක්‍රියාත්මක වන බවයි. ‘දැනට අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඒ අනුව තමයි. කොහොම නමුත් මෙය රටවල් දෙක අතර සාකච්ඡා මගින් විසඳා ගැනීම තමයි වඩාත් හොඳ.‘ ඇය සඳහන් කළාය. මේ දිනවල මෙම ගැටලුව උතුරේ උග්‍ර වීම සම්බන්ධයෙන් කළ විමසීමේදී එය සත්‍යයක් බව ඇයද පිළිගත්තාය.
ලේකම්වරිය ප්‍රකාශ කළ පරිදි මෙම ගැටලුව විසඳීම සඳහා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් සමග රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි වෙත ගොස් ඉන්දියාවේ ධීවර නියෝජිතයන් සහ රජයේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වූහ. ආචාර්ය වරදාස් ත්‍යාගරාජා ද එම සාකච්ඡාවට ධීවර සමිති උපදේශකයකු ලෙස සහභාගී විය. එවකට ධීවර අමාත්‍යවරයා වූ මහින්ද අමරවීර විසින් මෙම ගැටලුව ගැන සෙවීමට පත් කරනු ලැබූ විශේෂඥ කමිටුවේ ද වරදාස් සාමාජිකයකු විය.

‘අපි 2016දි දිල්ලි ගිහිනුත් සාකච්ඡා කළා. වසර ගණනාවක සිට සාකච්ඡා කළා. ඒත් විසඳුමක් නෑ. දෙපාර්ශ්වයක් අතර සාකච්ඡා මගින් ප්‍රශ්නයක් විසඳා ගැනීමට නම් ඒ සඳහා දෙපාර්ශ්වයේම කැපවීමක් පෙන්නුම් කළ යුතුයි.  මේ ගැටලුවට විසඳුමක් ලෙස 2018 වසරේදී අදාල පනත සංශෝධනය කරන්න එවකට ධීවර ඇමති මහින්ද අමරවීර පියවර ගත්තා. එය ඉතාම හොඳ තීරණයක්. එම සංශෝධනය මගින් අත්අඩංගුවට ගන්නා තමිල්නාඩු ධීවරයන් සම්බන්ධ නඩු අහන්න මහේස්ත්‍රාත් උසාවියට බලය ලැබුණා. ඒ වගේම ඊට අදාල දඩයත් වැඩි කළා. එම සංශෝධනය මගින් වෙච්ච තවත් වැදගත් දෙයක් තමයි ඔවුන්ගේ බෝට්ටු රාජසන්තක කරන්නත් ඉන් පසු ඒවා වෙන්දිසි කරන්නත් අවස්ථාව ලැබීම. මේ ප්‍රශ්නය විසඳා ගන්න නම් ශ්‍රී ලංකා මුහුදට එන තමිල්නාඩු ධීවරයන් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත යුතුයි. අපි මේක අභ්‍යන්තර අවරෝධන ප්‍රතිපත්තිය ලෙස හඳුන්වනවා. එමගින් තමිල්නාඩු ධීවරයන්ට මානුෂීයව සලකන්නට ලැබෙන අතරම  බෝට්ටු මුදලාලිලාට තිබෙන නීති විරෝධී මසුන් මැල්ලීමට ඇති ප්‍රාග්ධනය විතරක් අඩපණ කිරීමට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතිපත්තියට ඉන්දියාවෙන් කිසිදු විරෝධයක් තිබුණෙත් නැහැ. ‘ ආචාර්ය වරදාස් ත්‍යාගරාජා පැවසීය.
නාවික හමුදාව මෙම වසරේ ගෙවුණු කාලසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති ඉන්දියා ධීවරයන්ගේ සංඛ්‍යාව 178කි. එය විශාල සංඛ්‍යාවක් වුවද දෛනිකව ශ්‍රී ලංකා මුහුදට එන ඉන්දියා ධීවරයන් ගණන සමග සංසන්ධනය කරද්දී එය කුඩා සංඛ්‍යාවක් බව ධීවර සමිති නායකයෝ ප්‍රකාශ කරති. ඒ අනුව ලංකා මුහුදු සීමාවට එන ඉන්දියා ධීවරයන් නිරීක්ෂණය කිරීම සඳහා ‘මුහුදු ආරක්ෂකයන්‘ ලෙස හඳුන්වන ස්වේච්ඡා කණ්ඩායමක් උතුරේ ස්ථාපිත කිරීම සඳහා ධීවර අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඉන්දීය ධීවර ප්‍රශ්නය නිසා නිකට වන ආර්ථික අලාභය රුපියල් මිලියන 350ක් පමණ වන බව අමාත්‍යංශය සඳහන් කරයි.
වර්තමාන ධීවර අමාත්‍යවරයා උතුරේ දූපත්වාසී ධීවර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූවකු ලෙස සැලකේ. උතුරේ ධීවර සමිති නායකයන් සඳහන් කළේ ඔහු ධීවර ඇමති වූ පසු ප්‍රමාණවත් ලෙස මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත්වී නැති බවයි. උතුරේ ධීවරයන් සමග ළඟින් වැඩකටයුතු කරන මන්නාරම සමාජ ආර්ථික සංවර්ධන ආයතනයේ ප්‍රධානී ජේ යාල්සන් මහතා සඳහන් කළේ උතුරේ දූපත් ආශ්‍රිතව සක්‍රීයව සිටින නාවික හමුදාව ඉන්දියා ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට එද්දී අවශ්‍ය කටයුතු සිදු නොකිරීම පුදුම සහගත බවයි. ඔවුන්ට ලේසියෙන් එලෙස සිදු කළ හැකි බවත්, එසේ වුවද ඔවුන් අවශ්‍ය පරිදි ඒ සඳහා කටයුතු සිදු නොකරන බවත් යාල්සන් මහතා පැවසීය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ත මහතාගේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ඉන්දියාවේ මධ්‍යම රජය සමග පමණක් නොව ප්‍රාන්ත රාජ්‍යයන් සමගද මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා කරන බවයි. 2017 සහ 2018 වසරවල ගෙන ආ ධීවර හා විදේශීය බෝට්ටු පනත් ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගන්නා බව ඇමතිවරයා කීවේය.

‘මේක අද ඊයෙක ඉඳන් තියන ප්‍රශ්නයක් නෙමේ. මේ ප්‍රශ්නය ගැන ඉන්දියාවට ගිහිනුත් සාකච්ඡා කරලා තියනවා. මෙහේ මුහුදට එන ඉන්දියාවේ බෝට්ටු නාවික හමුදාවෙන් ඇල්ලුවම එයාලා ඉන්දියාවට ගිහින් කියන්නේ නාවික හමුදාව කරදර කරනවා කියලා. මෙච්චර කල් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා. දෙරටේ අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා 03ක් කළා, ධීවර ප්‍රජාව අතරත් සාකච්ඡා වට 05ක් පමණ තිබුණා. ඒ සාකච්ඡාවලින් ප්‍රගතියක් කරා යන ක්‍රියාමාර්ගන ගන්නා ලෙස අපි ඉල්ලුවා. ඒ නිසා තමයි අපි විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්න යන්නේ. මේක රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් නිසා නාවික හමුදාව මැදිහත් වෙද්දි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඉන්දියාවේ ට්‍රෝලර් බෝට්ටු ඉතාම විෂාලයි. අපේ බෝට්ටු ඉතාම පොඩියි. හරියට ලොරි සහ ත්‍රීරෝද රථ වගේ. ඉන්දියාවෙන් ලංකාවේ මුහුදට එන බෝට්ටු අත්අඩංගුවට අරගෙන ඒවාගෙ තහනම් ආම්පන්න ඉවත් කරලා නීත්‍යනුකූල ක්‍රමයට මසුන් අල්ලන්න හැදලා අපේ ධීවරයන්ට දෙන්න පුලුවන්. එයාලා ඒ ලොකු බෝට්ටුවලින් ගිහින් නාවික හමුදාවෙත් අධීක්ෂණය යටතේ ධීවර කටයුතු කරද්දී ඉන්දියා ධීවරයන්ගේ පැමණීම අඩුවෙයි. ඒ වගේම 2017 ගෙන ආ පනත සහ 2018 ගෙන ආ විදේශ ධීවර බොට්ටු පනත දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම තමයි උතුරු පළාතේ මහජන නියෝජිතයන් ඉන්දියාවට ගිහින් ඇත්ත තත්ත්වය පැහැදිලි කරමින් මෙම තත්ත්වය උතුරේ දෙමළ ධීවරයන්ට බලපාන විදිහ පැහැදිලි කරන්න ඕනා. ඉන්දියාවේ මධ්‍යම රජය සමග පමණක් නොව ප්‍රාන්ත රාජ්‍ය සමගත් සාකච්ඡා කළ යුතුයි. පාන්ඩචේරි (Puducherry) මහ ඇමති මට ලියුමක් එව්වා සාකච්ඡා කරන්න ලෑස්තියි කියලා. ඒවගේම තමිල්නාඩු මහ ඇමතිත් එව්වා. එහේ ඡන්දය නිසා එහේ මැතිවරණ කොමිසාරිස් සමග සාකච්ඡා කර ලිපියක් යවන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා කරන්න මම ලෑස්තියි. දැනට ඉන්දියා ට්‍රෝලර් බෝට්ටු 98ක් ලංකාවේ අත්අඩංගුවේ තිබෙනවා. ඒ වගේම ලංකාවේ බෝට්ටු 79ක් ඉන්දියා අත්අඩංගුවේ තිබෙනවා. සාකච්ඡා අතරතුරදි ඒවා නිදහස් කර ගැනීම ගැන කතා කරන්න පුලුවන්. හැබැයි සාකච්ඡා ආරම්භ කරද්දි එක බෝට්ටුවක්වත් මේ පැත්තට එවන්නෑ කියලා සහතික වෙන්න ඕනා. ඉන්දියා ට්‍රෝලර් නිසා අපේ මුහුදු සම්පත් විනාශ වෙනවා විතරක් නෙමේ අපේ ධීවරයන්ගේ ධීවර ආම්පන්න පවා විනාශ වෙනවා.‘ ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා එන ඉන්දියාවේ ධීවරයන් නතර කිරීමට අවශ පියවර ගත්තද එක වර බෝට්ටු 500ක් පමණ එද්දි ඊට අදාලව පියවර ගැනීම ප්‍රායෝගිකව අපහසු බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය.

‘එකක් තමයි ඉන්දියාවේ ධීවර බෝට්ටු ලංකාවේ මුහුදු සීවාට ඇතුලු වීම. අනික තමයි ඇතුළුවෙන බෝට්ටුමගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදීම. 2024 වසරේ මේ දක්වා අපි ඉන්දියා ධීවරයන් 150කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම බෝට්ටු 20ක් පමණ අපේ බාරයට ගත්තා. ඉන්දියා ධීවර බෝට්ටු 500ක් විතර එකවර එනවා. අපි හැකි උපරිමයෙන් වලක්වන්න උත්සාහ කරනවා. නාවික හමුදාව මේ කටයුත්තට අමතරව තව බොහෝ කටයුතු කරනවා. ඉතින් පුලුවන් උපරිම බලය යෙදවනවා මේක නවත්වන්න. අපි මුලින්ම ඔවුන්ට දැනුම් දෙනවා මුහුදු සීමාවට එන්න එපා කියලා. අපේ ඒ දැනුම්දීමත් ගණන් නොගෙන මුහුදු සීමාවට ඇතුළත් වෙන ධීවරයන් තමයි පහුගිය කාලේ අත්අඩංගුවට ගන්නේ. බෝට්ටු 500ක් විතර එනවා කියන්නේ විශාල ගණනක්. කිසිම නාවික හමුදාවකට මේ ඔක්කොම නතර කරන්න පුලුවන් කමක් නැතිවෙයි. ඒ එන්නේ ඉන්දියාවේ ධීවරයෝ. ඔවුන් නවත්වන්න කියලා අපට වෙඩි තියන්න බෑ. ඒ නිසා මේක රටවල් දෙක සාකච්ඡා කරලා විසඳුමක් ලබා ගත යුතුයි. ඒ වෙනකං අපි පුලුවන් උපරිමයෙන් අත්අඩංගුවට ගැනීම් සහ වැලැක්වීම් කරනවා.‘ යැයි වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය.

Previous articleකිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි !
Next articleThe Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here