මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ : විමර්ශකයන්ට සාධාරණය ඉටු කරන්නැයි එ.ජා. මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් !

ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන නිලධාරීන්ට එරෙහිව සිදුකෙරන හිරිහැර, සෝදිසි කිරීම් සහ පහරදීම් නතර කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරමින් යෝජනාවක් සකස් කරන්නැයි ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කරමින් යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (CJA) සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියි.
මාධ්‍යවේදීන්ට එරෙහි හිංසන පිළිබඳ පරීක්ෂණ අධීක්ෂණය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන්නැයි ද ඔවුන් වාර්තාවක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. යුක්තිය සහ මාධ්‍ය අයිතිවාසිකම් නියෝජනය කරන එම ජාත්‍යන්තර ආයතන දෙක තවදුරටත් ඉල්ලා සිටින්නේ ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් අත්හිටවූ පරීක්ෂණ නැවත ආරම්භ කර එම පරීක්ෂණ සඳහා අවශ්‍ය සම්පත් ලබා දෙන ලෙසට නිර්දේශ කරන ලෙසයි. මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යළිත් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පිරිහෙමින් පවතින බවද එහි දැක්වෙයි.
එහි මෙසේ සඳහන් වෙයි.
“දශකයකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය මාධ්‍යවේදීන් නිහඬ කිරීමට හා මර්දනය කිරීමට ක්‍රමානුකූල හා මාරාන්තික ව්‍යාපාරයක් දියත් කළේය. 2014 දී, ශ්‍රී ලංකාව මාධ්‍යවේදීන් ඝාතනවලට දඬුවම් හිමි නොවීම පිළිබඳ සීපීජේ දර්ශකයේ මුල්ම රටවල් 10 අතර සිටියේය. අද වන විට එම අපරාධවලට දඬුවම් නොලැබීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව පාලනය යටතේ නව මර්දන රැල්ලකට හේතු වී තිබේ.
මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යළිත් රට තුළ වේගයෙන් පිරිහෙමින් පවතී. මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන් අත්අඩංගුවට ගෙන හෝ එම නිලධාරීන්ට රටින් පලා යාමට සිදුව ඇත. මාධ්‍යවේදීන්ට නැවතත් රටින් පිට වීම හෝ ස්වයං වාරණය අතර තෝරා ගැනීමක් කිරීමට සිදුව ඇත.
මානව හිමිකම් කවුන්සිලය මේ මාසයේ කැඳවීමට නියමිතය. වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වැඩි ආරක්ෂාවක් සහතික කිරීම සඳහා පියවර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රයෙන් සිදුවූ හිංසනවලට දඬුවම් නොලැබීම
  • 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂගේ පරිපාලනය තුළ රජය සහ එහි ආරක්ෂක අංශ විවේචනය කරනු ලබන මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් නිදහස් මාධ්‍යයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළේය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබූ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ‘සුදු වෑන් කොමාන්ඩෝවරුන්’ යොදාගනිමින් මාධ්‍යවේදීන් පැහැරගැනීමට සහ මරාදැමීමට මෙම ක්‍රියාන්විතය දියත් කළේය. මාධ්‍යවේදීන් ගැන සෝදිසි කර පහරදීම සිදුකරනු ලැබූ “ටි‍්‍රපොලි ප්ලැටුන්” නම් රහසිගත ඒකකයක් හමුදා බුද්ධි අංශ තුළ ක්‍රියාත්මක විය. අවම වශයෙන් මාධ්‍යවේදීන්ට එල්ල වූ පහරදීම් හතරකටවත් ට්‍රිපෝලි ප්ලැටුන්හී සම්බන්ධතාවක් තිබේ : ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම සහ ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදහන් කිරීම
  • රජය විසින් දශකයකට වැඩි කාලයක් තිස්සේ පොරොන්දු වී තිබුණද, මෙම ඉහළ පෙළේ පහරදීම් කිසිවකට මෙතෙක් වගවීමක් සිදුව නැති අතර අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහයන්වලට දේශපාලන මැදිහත්වීම්, සාක්ෂිකරුවන් බිය ගැන්වීම සහ තවදුරටත් පළිගැනීම් සිදුවි තිබේ.
  • වසර ගණනාවක් අපරාධවලට දඬුවම් නොලැබීමෙන් පසු, වැරදිකරුවන් නැවත බලයට පැමිණ තිබේ: ට්‍රිපෝලි ප්ලැටූන්හී ප්‍රධානියා උසස් කර ඇති අතර ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද අපරාධවලට සම්බන්ධ වෙනත් නිලධාරීන් ද අණ දෙන තනතුරුවලට නැවත පත් කරන ලදී. මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද අතර ලසන්තගේ ඝාතනයට සම්බන්ධ බව කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2019දී ජනාධිපති ලෙස පත්විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයගත් 2019 නොවැම්බර් මැතිවරණයේ සිට ජනමාධ්‍යවේදීන්ට එල්ල වන පහරදීම් වැඩි වීම
  • අලුත් රාජපක්ෂ රජයක් යටතේ මාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම්, නීති විරෝධී සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සහ රටින් පලා යාමට බල කිරීම් සිදුව ඇත. සාක්ෂිකරුවන් බියවැද්දීම් සිදුව ඇති අතර මාධ්‍යවේදීන්ගේ පහරදීම් පිළිබඳ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ජනමාධ්‍යවේදීන් පිළිබඳ රාජ්‍ය සෝදිසි කිරීම් වැඩි වී ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට නිර්දේශ:
  • රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහනයක් ලැබීමට අයිතියක් ඇති බව සහතික කිරීම ඇතුළුව ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් සම්බන්ධ බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථිර පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සැලකිල්ලට ගෙන, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අපි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු : අනාගත වගවීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා සාක්ෂි රැස් කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා කැපවූ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙන නව යෝජනාවක් සම්මත කිරීම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අධීක්ෂණය කිරීම, සිවිල් සමාජ සඳහා සහාය ලබා දීම (විශේෂයෙන් වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහය ලබාදෙන)
  • ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය වැළැක්වීම සඳහා පහත පියවරයන් ඇතුළු ස්ථිරසාර පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන ලෙස අපි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු.
  1. ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන නිලධාරීන්ට එරෙහිව සිදුකෙරන හිරිහැර, සෝදිසි කිරීම් සහ පහරදීම් නතර කරන ලෙස
  2. මාධ්‍යවේදීන්ට එරෙහි හිංසන පිළිබඳ පරීක්ෂණ අධීක්ෂණය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස
  3. රජය විවේචනය කිරීම සාපරාධී කරවන නීති අවලංගු කරන ලෙස
  4. ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නලිගොඩ වැනි මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් සිදුකෙරමින් තිබියදී අත්හිටවූ පරීක්ෂණ නැවත ආරම්භ කර එම පරීක්ෂණ සඳහා අවශ්‍ය සම්පත් ලබා දෙන ලෙස
එම වාර්තාව පහතින්……… (https://cja.org/what-we-do/litigation/wickrematunge-v-rajapaksa/advocacy/)

Previous articleකොරෝනා ආසාදිත සිසුන් වාර්තා වූ පාසලක හෙ⁣ට විශාල උත්සවයක් : අමාත්‍යවරයෙකුත් එයි
Next articleහමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දීම : වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නවා – යුද හමුදාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here