දරුවන් සමග සංවාදයේ යෙදෙන්න : මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා – විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය

(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටුවී සිටින දරුවන්ගේ මනස පීඩාකාරී බවින් මුදවා ගැනීමට මව්පියන් දරුවන් සමග සංවාදයේ යෙදීම සුදුසු බව ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා ප්‍රකාශ කළේය.
රට තුළ දැඩි සංචරණ සීමා යොදවා ඇති කාල පරිච්ඡේදයක මුළු දවසම නිවසට වී ගතකරන විට කොවිඩ් තත්ත්වය ගැන ම අවධානය යොමුකිරීම නිසා ඇති වන පීඩනයත්, ආදායම් මාර්ග, එන්නත් ලබාගැනීම, අනාගතය ආදිය පිළිබඳව ඇති වන අවිනිශ්චිතකාරී තත්ත්වයත් නිසා ඇතැම් විට මානසික පීඩනයට ලක්වීමට ද හැකි බැවින් මෙම කාලයේදී සෑමවිටම වර්තමානයේ ජීවත්වීමට උත්සාහ ගැනීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍යවරයා මෙසේ ද කීවේය.

වසංගතය සහ මනෝ විද්‍යාව

කොරෝනා වසංගතය සමග මනෝ විද්‍යාවට අදාළ වන යම් යම් කාරණා ඇතිවෙනවා. ඒ වගේම කොරෝනා මැඩපැවැත්වීම සඳහා ගන්නා යම්-යම් ක්‍රියාමාර්ග, නිවසට වී සිටීම වැනි හේතු නිසාත් අපේ මනසට බලපෑම් ඇති වෙනවා. එය සංකීර්ණ තත්ත්වයක්. මෙවැනි කාලයක් මීට පෙර ඇතිවෙලා නැහැ. ඒ නිසා මෙවැනි කාලයක් මිනිස් මනසට බලපාන්නේ කොහොමද කියන කාරණය අපි තවමත් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ ගැන ස්ථිර මත ප්‍රකාශ කිරීමට තවත් කාලයක් අවශ්‍ය වෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව මිනිස්සු දැඩි පීඩනයකට ලක්වෙලා ඉන්න බව අපිට පෙනෙන්න තිබෙනවා.
ඒ වගේම සංචරණ සීමා නිසා පවුලක් ලෙස එකට ඉන්න වෙනවා. මේ නිසා ඇතැම් විට පවුල් ආරවුල් තිබුණු ඒවා සමථයට පත්වෙලා, පවුලේ සමගිය ඇතිවී තිබෙන්න පුළුවන්, නැත්නම් එන්න-එන්නම ඒවා වැඩිවෙලා ගැටළු බවට පත්වෙලා තියෙන්න පුළුවන්. අපි නිතර දෙවේලේ මුණගැහෙන නිසා ඇතැම් විට නොරිස්සුම් ගති වැඩිවෙලා තියෙන්න පුළුවන්. නිතර දකින කුකුළගෙ කරමලය සුදුයි කියලා කතාවක් තියෙනවානෙ. ඒ වගේම පවුලේ එකමුතු ස්වභාවය තිබෙන තැන්වල එය වැඩිවෙන්න මේ කාලය හේතුවක් වෙලා තිබෙනවා.

කාලය කළමනාකරණය

මේ දිනවල බොහෝ දෙනා ගෙදර ඉඳන් වැඩ කරනවා. ඒ කියන්නෙ වැඩ නැත්තෙ නැහැ. එහෙම තිබිලත් අපිට කාලය වැඩි වුණේ කොහොමද? අපි ගෙදර ඉඳලා පැය හයක් විතර වැඩ කරනවා. ඒ වගේම ගෙදරක් ක්‍රියාත්මක කරනවා කියන්නේ, ගෙදර වැඩ ටික කරනවා කියන්නෙත් ලොකු කාර්යයක්.
ඒ වගේම මෙවැනි සිද්ධි සමග බලන විට මීට පෙර පැවති කාලයේදී අපි බොහෝ විට කාලය නාස්ති කරලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මහ පාරේ පැය ගණන් කාලය නාස්ති කරනවා. ඒක දින චර්යාවේ කොටසක් වෙලා තිබිලා තියෙන්නේ. ඒ සියලු කාලය දැන් ඉතුරුයි. ඒ නිසා දැන් අපිට ගෙදර තියෙන වැඩ ටික කළ පසුව වැඩිපුර ගෙදර කාලය ඉතුරු වෙනවා.
කොහොම වුණත් මේ සිදුවන දේවල්වල හොඳ පැත්තකුත් තියෙනවා. එයින් එකක් මම කියන්නම්. ඉස්සර විදිහට අපි පැය ගණන් පාරෙ ගතකරලා, වැඩට යද්දි-එද්දි සිදුවන සිදුවීම් නිසා යම් ස්ට්‍රෙස් ගතියක්, පීඩනයක් දැනෙනවා. මෙවැනි දේවල් ටික-ටික එකතු වෙලා දවස අවසානය වන විට මේ ස්ට්‍රෙස් ගතිය මනසේ එකතු වෙනවා. එතකොට මනසට පීඩාකාරීයි, වෙහෙසයි.
මේ නිසා හවස ගෙදර යද්දි සමහර අයට තරහ යනවා වැඩියි. ළමයි මොනව හරි කිව්වොත් අහගෙන ඉන්න බැහැ. හිනාවෙලා රෑ කෑම ගන්න බැහැ. මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් මේ තත්ත්වය තුළ එවැනි ප්‍රශ්න ඉවත් වෙලා ගිහින් තියෙනවා. මේ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. එහෙනම් අපි ඊළඟට කොවිඩ්වලින් පසුව නව සාමාන්‍යකරණයට හුරුවෙද්දි මේ පොඩි-පොඩි ස්ට්‍රෙස් ගති, පීඩනය අවම වුණු රටක් විදිහට ඉදිරියට යා යුතුයි. මෙයින් අපි ඉගෙන ගත යුත්තේ ඒ දෙයයි. නව සාමාන්‍ය තුළ අපි මෙහි වාසිය අත්විඳිය යුතුයි.

වැඩ කරන ක්‍රමවේදයේ වෙනසක්

අපේ එදිනෙදා වැඩ කටයුතු කරන ක්‍රමවේදයේ පිම්මක් පනින්න මේ කොරෝනා වසංගතය අපිට බලකළා වගේම අපිට අපේම මනෝ විද්‍යාව, අපේම ආදර සම්බන්ධකම්, අපේම මනස ගැන ගැඹුරින් බලන්න බලකරනවා. මොකද බොහෝ වෙලාවට අපි මෙවැනි කාරණාවලින් පැනලා ගියා. එහෙම කළේ අපිට වෙලාව නැහැ කියලා. නමුත් දැන් අපිට එහෙම පැනලා යන්න බැහැ. මොකද  අපි සමගියෙන් හිටියා වුණත් එක තැනකට කොටුවෙලා ලොකු කාලයක් ගතකරන එක ලේසි නැහැ. එමගිනුත් ස්ට්‍රෙස් ඇතිවෙනවා. ඒ නිසා අපි සතුටුවෙන්නේ මොනවගෙන්ද, සතුටු නොවන්නේ මොනවගෙන්ද කියලා  බලන්න මේ තත්ත්වය අපිට බලකරලා තියෙනවා. මේ අභියෝගයට අපි මුහුණදෙමු. එයින් පැනලා යන්න හදන්න එපා. මෙහි නියම රහස තිබෙන්නේ එතැනයි.

දරුවන්ට ජංගම දුරකතන

නිවසේ සිට සියලුම දේ කරන්න සිදුවෙලා තියෙන නිසා දැන් දරුවන්ට ජංගම දුරකතන දෙන්න වෙලා තියෙනවා. දරුවන්ට ඉස්සර ජංගම දුරකතන දෙන්න මව්පියෝ බය වුණා. එමගින් අවැඩක් වෙයි කියලා ඔවුන් හිතුවා. මේ බය මත ගත්තු තීරණයක් හැටියටයි ජංගම දුරකතනය ඔවුන්ට නොදෙන්න තීරණය කරලා තිබුණෙ. නමුත් මේ හැමදේකින්ම ලබාගත හැකි ප්‍රයෝජන තිබෙනවා. ඒ වගේම හානි තිබෙනවා.
මේ උපකරණය මගින් අපිට දැනුම හොයාගන්න පුළුවන්. ඒ වගේම යම්-යම් කණ්ඩායම්වලට මේ හරහා දරුවන්ගේ මනස වෙනස් කරන්නත් පුළුවන්. කොහොම වුණත් ජංගම දුරකතනය දරුවාගෙන් වෙන්කර තැබීමෙන් වෙන්නේ දරුවාට එය මැජික් එකක් බවට පත්වීම. මේ නිසාම ඇතැම් විට ජංගම දුරකතනය දරුවාට ලබාදීම අල්ලසක් දීමක් බවට පත්වෙනවා. ඒ නිසා ජංගම දුරකතනය දරුවාට මැජික් එකක් බවට පත්නොකර, එය නිවැරදිව භාවිතා කරන හැටි දරුවාට කියාදෙන්න.
ඒ වගේම මේ තත්ත්වය යටතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දරුවන්ට දුරකතනය දෙන්න අපිට සිදුවෙලා තියෙනවා. ඒ වගේම ස්මාර්ට් දුරකතනයක් නැති, සිග්නල් පහසුකම් නැති ළමයි සිය-දහස් ගණනක් ඉන්නවා. ඒක කණගාටුවට කරුණක්. ඔන්ලයින් ක්ලාස් කරන්න ළමයින්ට දුරකතනය ලබාදෙද්දි  එය නාලිකාවක්, මාධ්‍යයක් කියන දේ මව්පියන් තේරුම් ගත යුතුයි. මේ මාධ්‍ය හරහා කවුරු ප්‍රවේශ වෙනවාද කියලා අපි දන්නේ නැහැ. ඇතැම් විට වෙනත් රටක, වෙනත් සමාගමක මතවාද දරුවාට යොමුවෙන්න පුළුවන්. ඒ නිසා අපි වරින්-වර කළ යුත්තේ දරුවා සමග සංවාදයක් ගොඩනගාගෙන, දරුවා කොතැනද ඉන්නේ කියලා සොයාබැලීමයි. සංවාදය කියලා අපි අදහස් කරන්නේ කටින් කරන සංවාදය පමණක් නෙමෙයි. ගෙදර කරන වැඩ, වත්තේ කරන වැඩවලට දරුවා යොමුවන ආකාරයත්, දරුවා සමග සංවාදයේ යෙදෙන ආකාරයත්. නියම මව්පියන් හැටියට දරුවන් සමග සංවාද කිරීමට මෙය අවස්ථාවක් කරගන්න.

වර්තමානයේ ජීවත් වීම

අපි වැඩි දෙනෙක් ජීවත් වෙන්නෙ වර්තමානයේ නෙමෙයි අනාගතයේ. එහෙම නැත්නම් අතීතයේ. අපිට වරින්-වර හරි වර්තමානයට එන්න පුළුවන්. තමන් අවට ඉන්න අය හා වර්තමානයේ සිදුවන දේවල් ගැන අපිට දකින්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ වගේම අපි මධ්‍යස්ථ වෙන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට කොවිඩ්වලට බයේ කිසිදෙයක් නොකර, හුඟාක් ආරක්ෂා වෙන්න ගත්තොත් හරියට ඔරලෝසුවෙ බට්ටා අන්ත දෙකට ගමන් කරනවා වගේ බොහොම ඉක්මනින් ඒකෙ අනෙක් පැත්තට යයි. මොකද එතකොට වෙන හානිය අති ප්‍රබලයි. සුදුසු පරිදි නිසි ලෙස කළ හැකි ආරක්ෂාකාරී ක්‍රමවේදයකට මේකෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරනවා නම් බොහොම හොඳයි.

ඇබ්බැහිවීම් වළක්වා ගැනීම

ඒ වගේම නරක ඇබ්බැහිවීම්වලින් මිදෙන්න මේක හොඳ අවස්ථාවක්. අපි ඒක හරි විදිහට භාවිතා කරන්න අවශ්‍යයි. මධ්‍යසාර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න අයට මේ කාලයේදී එයින් ඈත්වෙන්න පුළුවන්. මොකද කවදාවත් නොබී ඉන්න බැහැ කියපු අය, මේ සංචරණ සීමා කාලයේදී බොහොම අපූරුවට ඉන්නවා අපි දකිනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින්න කැමතියි.
Previous articleශානිට – මෙන්ඩිස්ට මාස 10කට පසු ඇප
Next articleසජිත් අඩුපාඩු හදාගන්න ඕනෙ කියලා හිතනවා – මනෝ ගනේෂන්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here