ශානි අබේසේකර ජාතික රෝහලෙන් වැලිකඩට

Update 8.00 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රාත්‍රී 7.00ට පමණ කොළඹ ජාතික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
Update : 12.00 PM
කොළඹ ජාතික රෝහලේ දී ඊයේ(18) රාත්‍රී සැත්කමක් සිදු කරනු ලැබීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (19) සවස් වරුවේ බන්ධනාගාර රෝහලට මාරු කිරීමට නියමිත බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ශානි අබේසේකර මහතාට පසුගිය නොවැම්බර් 25 වැනිදා කොරෝනා ආසාදනය වූ බවට ප්‍රකාශ කෙරුණ අතර පසුව ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කෙරිණි. ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අවස්ථා කිහිපයකදී නිර්දේශ නිකුත් කරනු ලැබ තිබිණි. නොවැම්බර් 26 වැනිදා ඒ මහතාට හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් ඊට පසුදින වැලිකන්ද රෝහලට මාරු කර පසුව අයිඩීඑච් රෝහලට මාරු කෙරුණු අතර ඉන්පසුව හෘද රෝග සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදි එම සැත්කම සිදු කර ඇති අතර ඉන්පසුව අද වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇත.

ශානි අබේසේකරට දුන් ස්ථාන මාරුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව 2019 වසරේ නොවැම්බර් 21 වැනිදා තීරණය ක⁣⁣ළේය.
පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණයට එදින සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය එදින පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කර තිබිණි.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.
අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කළ අතර ඉන්පසු මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට තිදෙනකු පත් කරනු ලැබීය.

ශානි අබේසේකර⁣ කළ විමර්ශන

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට  සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය.
මෙම හදිසි ස්ථාන මාරුව සිදු කරනු ලැබුවේ එම සංවේදී විමර්ශන අවුල් කිරීමට යැයි සැක සහිත බවට පොලිස් අභ්‍යන්තරයේ ඒ වන විටත් කසුකුසුවක් ඇතිවී තිබිණි.
අබේසේකර මහතා එම ස්ථානමාරුව සම්බන්ධයෙන් 2019 වසරේ දෙසැම්බර් 08 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම මාසයේම 20 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පසුව ඒ මහතාගේ වැඩ තහනම් කරනු ලැබූ අතර පසුගිය මහමැතිවරණයට දින පහකට පෙර එනම් ජූලි 31 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
Previous article‘දූපත් ව්‍යාපෘතිය’ ජනතාවගේ කැමැත්තට පිටින් : උතුර එක්වෙයි !
Next articleවිල්පත්තු ප්‍රේරණ කලාපය නැවත වනසයි – පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here