මඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන අවසන් වූ නැවක් – නාවික හමුදාව

නැගෙනහිර වෙරළේ මඩකලපුව ප්‍රදේශයට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ධීවරයෝ සැක මතු කරති.
මේ නෞකාව මගින් මුහුදේ වැලි හාරන බව පවසන ඔවුහු, එම ප්‍රදේශයට යෑම නාවික හමුදාව විසින් වළක්වන බව ද සඳහන් කරති. මේ නෞකාව මගින් හාරන වැලි වෙනත් ස්ථානයකට රැගෙන යන බවට ද එම ධීවරයෝ සැක කරති. රාත්‍රී කාලයේදී එම කටයුතු සිදුකරන බව පෙන්වා දෙන ඔවුහු, මේ සම්බන්ධයෙන් බලධාරීන් කිසිවක් නොකරන බවට ද චෝදනා කරති.
මෙවැනි සැක කටයුතු නෞකාවක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ ප්‍රකාශකයෙක් MediaLK වෙත තහවුරු කළේය. ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි ද අදාළ ප්‍රකාශකයා පැවසීය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වාගෙන් මේ පිළිබඳව MediaLK කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි ව්‍යාපෘතියක් සඳහා ආරක්ෂාව ලබාදීමට නාවික හමුදාවට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. මෙය පසුගිය 15දා සිට නැංගුරම් ලා ඇති බවත්, ඊට හේතුව නැවේ ඉන්ධන අවසන් වීම බවත් සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙය මැද පෙරදිග රටක සිට නැගෙනහිර ආසියානු රටකට යන නෞකාවක් බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන්ධන අවසන් වීම වැනි අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී මෙසේ ආරක්ෂිත කලාපයක නැංගුරම් ලෑමේ හැකියාව ඇති බව ද පැවසූ ඔහු, ඒ ආසන්නයේ ම නාවික හමුදා නිරීක්ෂණ ස්ථානයක් ද ඇතැයි කීය. නාවික හමුදාව අදාළ නෞකාව සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.
ධීවරයන් විසින් කරනු ලබන චෝදනාව පිළිබඳව විමසීමේදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ දිනවල නැගෙනහිර මුහුද රළු නිසා නාවික හමුදාව ධීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පියවර ගන්නා බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන මඩකලපුව ප්‍රදේශයේ ධීවරයන් පෙන්වාදෙන්නේ මුහුදේ රළු ස්වභාවය පිළිබඳ කතාව සත්‍යයක් වුවද, දැනුවත් කිරීම් හැර වෙනත් කිසිවක් නාවික හමුදාව පාර්ශ්වයෙන් සිදු නොවන බවයි. එසේම විශේෂයෙන් මේ ප්‍රදේශය ආරක්ෂා කරන බවක් පෙනෙන්නට ඇතැයි ද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මෙසේ සඳහන් කරයි.
‘මෙම නෞකාව මඩකලපුව වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා දැනට සතියකට වැඩි කාලයක් ගත වී ඇත. එමගින් මුහුදේ වැලි හාරන අතර, තවත් නෞකාවකින් රාත්‍රී කාලයේ වැලි ප්‍රවාහනය කරන බව ප්‍රදේශයේ ධීවරයෝ පවසති. ආයුධ අතැතිව සිටින නිල ඇඳුමින් සැරසුණු පිරිස් රජයේ නිලධාරීන් හරවා යැවීය. මේ පිළිබඳ පිළිතුරු සැපයිය හැක්කේ කාටද ?’
මේ අතර නැගෙනහිර වෙරළේ අක්කරෙයිපත්තු – තිරුක්කෝවිල් ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නීතිවිරෝධී ඛනිජ වැලි කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී MediaLK අපි අනාවරණය කළෙමු.

නැගෙනහිර වෙරළ : ඇමැති නොදත් සමාගම දත් උමා ඔය පන්නයේ ඛනිජ වැලි බිස්නස් !

නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ – පරිසර ඇමති

ජනතා විරෝධය මැද්දේ අක්කරෙයිපත්තු වෙරළේ සම්පත් ඕස්ට්‍රේලියාවට 

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleමැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01
Next article‘ආණ්ඩුවට සහාය දුන්නා’ – නුසුදුස්සන් ඔ්අයිසී කරගන්න දේශපාලනඥයෝ තරඟෙට ලිපි ලියති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here