මාධ්‍ය ආයතන දෙකක බොරු ප්‍රවෘත්ති නිසා ශානි පාස්කු කොමිසමේදී සංවේදී වෙයි

මාධ්‍ය ආයතන දෙකක් තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවත්, තමා කිසිම වරදක් කර නැතත් දැන් විය යුතු සියල්ලම පාහේ සිදුවී හමාර බවත්,තම ජීවිතය නැති වුවත් එයද සතුටින් බාර ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
ඔහු ඒ බව ප්‍රකාශ කරද්දී සංවේදී වූ අතර ඔහුගේ රෝගී තත්ත්වය සලකා බලා ඔහුට මද විවේකයක් ලබාදීමට ද ජනපති කොමිසම කටයුතු කළේය.
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනවලදී සාක්කි ලෙස සොයා ගැනුණු නඩු භාණ්ඩ විදේශීය බුද්ධි අංශ වෙත ලබා දීම සම්බන්ධයෙන් අබේසේකර මහතාගෙන් ප්‍රශ්න කැරිණි.
”අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා සහාය වෙන්න විදෙස් බුද්ධි අංශ පැමිනුනා. පිපුරුම් ස්ථාන ආශ්‍රිතව සොයාගත් නඩු භාණ්ඩ විශ්ලේෂණය කිරීමට ඔවුන් අවස්ථාවක් ඉල්ලුවා. මම ඊට තදින්ම විරුද්ධ වුණා. නඩු භාණ්ඩ තුන් වැනි පාර්ශ්වයකට දීමට මම කැමති වුණේ නෑ. ඉන් පසු මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කළා. එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාල විදෙස් බුද්දි අංශ නිලදාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අධිකරණයට කැඳවලා ඔවුන්ගේ ප්‍රකාශ අධිකරණයේදී ලබා ගත්තා. එම ප්‍රකාශ අනුව පසුව මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා දුන්නා විදේශ බුද්ධි අංශවලට පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා. අධිකරණ නියෝගය අනුවයි පරීක්ෂා කරන්න අවස්ථාව ලබා දුන්නේ. ”
” මෙම කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා වරක් පවසා තිබුනා අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ නඩු භාණ්ඩ විදේශීය බුද්ධි අංශ වෙත ලබා දුන්නේ එවකට අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකරගේ උපදෙස් පරිදි බව. එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක්. එම අසත්‍ය ප්‍රකාශය මත පදනම්ව එක්තරා මාධ්‍ය ආයතන දෙකක් මම ඇමෙරිකාවට සහ ඉන්දියාවට නඩු භාණ්ඩ ලබා දුන් බවට වැරදි ප්‍රවෘත්ති පළ කර තිබුණා.”
”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඔ්න හැම දෙයක්ම වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවට හිරිහැර කළා, පහර දුන්නා වගේ චෝදනා. මම සතුටු වෙනවා මට මේ වෙනකම් එහෙම චෝදනාවක් ඇවිත් නැතිවීම ගැන. මේකෙන් පස්සේ අද හවසට ඒහෙම චෝදනාවකුත් කරයිද දන්නේ නෑ. මගේ වැඩ තහනම් කළාට පසු පොලිස් කොමිෂන් සභාව 2020 අප්‍රේල් මාසයෙදි නිර්දේශ කළා මට අඩ වැටුපක් ගෙවන්න කියලා. තවම එය ක්‍රියාත්මක කරලා නෑ. මම රස්සාවට පිටින් සත පහක්වත් අරගෙන නෑ. මගේ රස්සාව යොදා ගත්තේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. ඒත් අද මගේ බිරිඳට සහ දරුවො දෙන්නට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ.” යැයි සංවේදී වෙමින් අබේසේකර මහතා කීවේය.
Previous articleපාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර ජනපතිටත් දැනුම් දුන් බවට විශ්වාසයි – සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ 
Next articleතමන්ගේ නඩු ඉවත් කරගන්න තමන්ම අත උස්සයි : පළිගැනීම් කොමිසම කැකිල්ලේ අධිකරණයක් – ජවිපෙ ප්‍රධාන ලේකම්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here