පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ඊයේ එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරීන් ද ඇතුළුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අනාවරණය කර ගැනීමට සමත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් මේ වන විට ඉවත් කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ පිපිරවීම් කිරීම සඳහා සඟවා තිබූ බව කියන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් පමණ ද, ඩෙටනේටර් 100ක් පමණ සොයා ගැනීම සඳහා විමර්ශන සිදු කළ, විමර්ශන මෙහෙයවූ සහ අධීක්ෂණය කළ නිලධාරීන් රැසක් ද මේ වන විට එම දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු කර ඇත.

වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම අධීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන ශානි අබේසේකර මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ රහස් පොලිසියෙන් ඉවත් කළ අතර එතැන් සිට වසරක කාලයක් ඇතුළත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, අංශ භාර ස්ථානාධිපතිවරුන් ඇතුළු විශාල පිරිසක් ස්ථාන මාරු කර ඇති බව අභ්‍යන්තරආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ නිලධාරීන් 19 දෙනකු ඉවත් කර ඇති අතර එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ පහත සඳහන් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා තවදුරටත් අවශ්‍ය නොවන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරු කිරීමට නියෝග කරන බවයි.

මෙම ස්ථාන මාරු කළ නිලධාරීන් අතර ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධ විමර්ශන රැසක් සිදු කර ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද සිටින බව පොලිසිය කියයි. විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක්වූ නිලධාරීන් ද මේ අතර සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස ස්ථාන මාරු කළ නිලධාරීන් 19 දෙනා මෙසේය.

1) ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ
2) ප්‍රධාන පොලිස් පරීක්ෂක කරසිංහආරච්චි
3) ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර
4) ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන
5) කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ප්‍රියන්තිකා
6) කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා මැණිකේ
7) කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා එන් හේවාවිතාරණ
8) කාන්තා පොලිස් පරීක්ෂිකා හේරත්
9) පොලිස් පරීක්ෂක රංජිත්
10) පොලිස් පරීක්ෂක යාපා
11) කාන්තා පොලිස් පරීක්ෂිකා වික්‍රමසිංහ
12) උප පොලිස් පරීක්ෂක වීරසිංහ,
13) පොලිස් සැරයන් ජයසිංහ
14) පොලිස් සැරයන් ප්‍රේමකුමාර
15) පොලිස් සැරයන් රාජපක්ෂ
16) පොලිස් සැරයන් විජේවර්ධන
17) කාන්තා පොලිස් සැරයන් සුනේත්‍රා
18) කාන්තා පොලිස් සැරයන් චන්දිමා
19) පොලිස් කොස්තාපල් ආරියසිංහ

Previous articleවැඩ කරන රටක් නම් – ‘ප්‍රසූත නිවාඩු දීමනා’ ඊට පහසු මගක් !
Next articleබැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු 19ක් ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here