යළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසිය උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන මුල්ලිවයික්කාල් සිහිකිරීම් නතර කිරීමට කටයුතු කරමින් සිටී. වාර්තාවන අන්දමට දැනට එවැනි සිහිරීම්වලට බාධා කළ සහ කිරීමට උත්සාහ කළ සිද්ධි ගණන හතරකට වැඩිය.
කැඳ බෙදීමත් තහනම්
පළමු වැන්න සාම්පූර් සිද්ධියයි. දෙවැනි සිද්ධිය වාර්තා වූයේ කල්මුණෙ ප්‍රදේශයෙනි. ක්‍රියාකාරිකයකු වන දමෝදරම් ප්‍රදීපන්ගේ නිවසට අද උදෑසන 7.30ට පමණ ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් සිහිකිරීම් සිදු නොකරන ලෙස දැනුම් දී තිබේ. පොලිසිය දැනුම් දී ඇත්තේ ඒ සඳහා උසාවි නියෝගයක් ලබා ගත් බවයි.
එසේම අම්පාර අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති තම්බිරාසා සෙල්වරානි මහත්මියගේ නිවසට ද අද උදෑසන ගොස් ඇති පොලිසියේ පිරිසක් මුල්ලිවයික්කාල් සිහිකිරීම් සිදු නොකරන ලෙස දැනුම් දී තිබේ. පොලිසිය ඇයටද දැනුම් දී ඇත්තේ අනුස්මරණයන් නැවැත්වීමට තහනම් නියෝගයක් ලබා ගත් බවයි. ඊට පෙර ඊයේ ඔවුන් කෝවිලට එක්ව කැඳ පානය කරද්දී ද ⁣පොලිසිය පැමිණ බාධා කළ බවට වාර්තා විය. එහි සිටි කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළ බවද වාර්තා විය.
එසේම අඟහරුවාදා (14) මඩකලපුවේ සංවිධානය කර තිබූ කැඳ පානය කිරීමකටද පොලිසිය සහ මහජන පරීක්ෂකවරු එක්ව බාධා කළහ.
මුල්ලි වයික්කාල් කැඳ
මුල්ලිවයික්කාල් කැඳ බෙදා හැරීම සහ මුල්ලිවයික්කාල් අනුස්මරණය යනු එල්ටීටීඊ ප්‍රවර්ධනයක් ලෙස පෙන්වීමට ශ්‍රී ලංකා පොලිසිය උත්සා කළ ද, එය කිසිසේත්ම එල්ටීටීඊ ප්‍රවර්ධනය කිරීමකට අදාල නොවේ. ‘මහ විරු සමරුව’ සහ මුල්ලිවයික්කාල් අනුස්මරණය යනු වෙනස් සිදුවීම් සහ අවස්ථා⁣ දෙකකි.
මුල්ලිවයික්කාල් අනුස්මරණයේදී සිදු කරන්නේ යුද්දයේ අවසන් කාලයේදී මරණයට පත්වූවන් සිහිකිරීමය. යුද්දයේ අවසන් කාලයේදී ඊට මැදිවූ සාමාන්‍ය වැසියන්ට ආහාරපාන ආදිය නොතිබූ අතර ඔනුන් ජීවත්වූයේ බත් කැඳ පානය කරමිනි. ආහාර නැතිව ඇතැමුන් මිය ගිය බවද වාර්තා විය. මුල්ලිවයික්කාල් අනුස්මරණය කරමින් කැඳ බෙදා හරින්නේ එය අනුස්මරණය කිරමිනි. එසේ තිබියදී එය එල්ටීටීය ප්‍රවර්ධනය කිරීමක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය අර්ථ දැකවීමට උත්සාහ කරන්නේ දෙමළ ජනතාව පීඩනයට පත් කිරීමට බව පැහැදිලිය.
මිය ගියවුන් අනුස්මරණය වරදක් නොවේ
ශ්‍රී ලංකා පොලිසිය මිය ගිය දමිළ ජාතිකයන් අනුස්මරණය කිරීමට දිගින් දිගටම බාධා කරද්දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් රජයට මගපෙන්වීමක් කරමින් 2017දී ලිපියක් යොමු කළේය. එහිදී කොමිසම පෙන්වා දුන්නේ මිය ගිය තම ඥාතියා එල්ටීටීඊ සාමාජිකයකු වුවද ඔහු අනුස්මරණය කිරීමටද ඥාතීන්ට අයිතිය ඇති බවයි. 2017 දී එම ප්‍රවෘත්තිය අප වාර්තා කළේ මෙසේය.
“‘කොටි ලේබලය ගසා ප්‍රියයන් සැමරීම වළක්වන්න බෑ‘
තරිදු ජයවර්ධන
තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන කිසියම් පවුලක එම අයිතිය අහිමි කිරීම නොකළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා තිබේ.
ආයුධ සන්නද්ධ අරගලයේ අග භාගයේ දී ජීවිතය අහිමිවූවන් අනුස්මරණය කිරීමට මුලතිව්හි සංවිධානය කළ වැඩසටහනෙන් පසු ආරක්ෂක අංශවලින් එන බව කියන බලපෑම් සම්බන්ධයෙන් එලිල් රාජේන්ද්‍රන් පියතුමන් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාවට ජනාධිපතිවරයාට එලෙස ලිඛිතව දැනුම් දී ඇත.
රාජේන්ද්‍රන් පියතුමා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරමින් කියා ඇත්තේ මෙම අනුස්මරණෝත්සවය ගැන පොලිසිය විසින් විවිධ පොලිස් ස්ථානවලදී සහ නිවසේදී පුන පුනා ප්‍රශ්න කිරීම හිංසාවක් බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රකාශිතව පිළිගනු ලබන යාම්ඊම්, භාෂණයේ හා සමාගමයේ ස්වකීය නිදහසට එමගින් බාධා පැමිණෙන බවත්, තම වියපත් දෙමාපියන්ගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීම නිසා ඔවුන් ද සිත්තැවුලට පත්ව ඇති බවත් ඔහු කළ පැමිණිල්ලේ සදහන් වෙයි.
මේ ගැන අවධානය යොමු කර ඇති ශ්‍රී මානව හිමිකම් කොමිෂන් සභාව එහි සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් ලිපියක් යොමු කරමින් ජාතික ඒකාබද්ධතා හා සංහිදියා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ස්මරණය කිරීමේ ක්‍රියාකාරකම් වල යෙදීමට අදාල පවුල්වලට ඇති අයිතිය සහ එවන් ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි.
තම ප්‍රියයන්ගේ විප්‍රයෝගය ගැන ශෝකවීම සහ ඔවුන් අනුස්මරණය කිරීම සදහා අවකාශය සහ හැකියාව සියලුම ප්‍රජාව සතු වීම වැදගත් බව කියන මානව හිමිකම් කොමිසම එවන් ක්‍රියාදාමයකට අවකාශය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස තම අයිතිවාසිකම් භුක්ති විදීමට හැකිය යන විශ්වාසය අදාළ පවුල් තුළ ගොඩ නැගෙන බව ද පෙන්වා දෙයි. එය සංහිදියාව කරා යන පොදු ගමනේ එක් අංගයක් වන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.” (උපුටා ගැනීම 2017 ජුනි 09 ලංකාදීප)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මුල්ලිවයික්කාල් සැමරුම්වලට කොටි ලේබලය අලවමින් මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව රජයට 2017දී පැහැදිලි නිර්දේශ ලබාදී තිබියදීය.
උසාවි නියෝග කඩ කිරීම
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව සාම්පූර් සිද්ධියේ පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය යන්නේ ප්‍රධාන වශයෙන් අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙනි. පිරිස අධිකරණ නියෝගයකට අවනත නොවූ බව සාම්පූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස පරීක්ෂක තුෂාර ඉදිරිපත් කළ බී වාර්තාවේද සඳහන් වේ.
කල්මු‍ණේ
පුද්ගලයෙකු අධිකරණ නියෝගයක් කඩ කිරීම වරදක් වන්නේ 2024 අංක 08 දරණ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත යටතේය. එම පනත යටතේ අධිකරණ නියෝග කඩකරමින් අධිකරණයට අපහාස කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට බලතල ලබාදී නැත.
අධිකරණයට අපහාසයක් සිදු කර ඇත්නම් ඊට අදාලව ගත යුතු ක්‍රියාමාර්ගය සහ අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ එම පනතේ සඳහන් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම වරෙන්තු නැතිව කඩාපැන බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන ඇදගෙන යායුතු වරදක් ලෙස එහි සඳහන් නොවේ.
එසේම පුද්ගලයන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන බවට තොරතුරක් ලදහොත් එය නතර කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය වන්නේ ඒම වරද සංඥය වරදක් (වරෙන්තු නැතිව සිරබාරයට ගත හැකි වරදක්) නොවන අවස්ථාවකදීය. වරෙන්තු නැතුව සිර බාරය⁣ට ගත හැකි වරදක් සිදු කරන්නේ නම් (කරමින් සිටින්නේ නම්) පොලිසිය කෙලින්ම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබේ.
එහෙත් පොලිසිය දැන් කරන්නේ සාමකාමී නීත්‍යනුකූල කටයුත්තක් වුවද නීතිවිරෝධී බවට පත් කර පෙන්වීම සඳහා අධිකරණයට ව්‍යාජ තොරතුරු ඒකපාර්ශවිකව වාර්තා කර තහනම්/වාරණ නියෝග හෝ කොන්දේසි සහිත ආඥා ලබා ගැනීමයි. එලෙස තහනම් නියෝග ලබාගෙන ඉන් අනතුරුව සාමකාමී සහ නීත්‍යනුකූල කටයුත්තේ යෙදෙමින් සිටින පිරිස අත්අඩංගුවට ගන්නේ අධිකරණ නියෝග කඩකල බව කියමින් සහ රජයේ නිලධාරියකුගේ අනට අකීකරු වූ බව කියමිනි.
පොලිසිය පුරවැසි අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා නීතිය අවභාවිත කිරීම කොන්දේසි විරහිතව හෙළාදැකිය යුතු අතර එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව මෙන්ම අපරාධ නීතිය යටතේද කටයුතු කළ යුතුය. එලෙස කටයුතු කිරීමට බල කළ යුතුය.
ජාතීන් අතර ගැටලු මතුවීමට හෙතුව සොයනවා වෙනුවට සහ රට තුළ සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් වගකීම සහිත සංස්කෘතියක් පෝෂණය කරනවා වෙනුවට රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා පොලිසිය ජාතීන් තලා පෙළා දමමින් නීතිය සහ බලය අවභාවිත කිරීම සුළුකොට සැලකිය නොහැකි බරපතල තත්ත්වයකි. එසේ හෙයින් එලෙස කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල ලෙස කටයුතු නොකළ හොත් ආරක්ෂක අංශ කෙරෙහි දෙමළ ජනතාවගේ පමණක් නොව සියලුම ජාතිකයන්ගේ විශ්වාසය පළුදුවී යනු ඇත. එය රට තුළ තවදුරටත් දීර්ඝ අර්බුදයකට මග පාදනු ඇත.
 
Previous articleපොලිසිය අයි.සී.සී.පී.ආර් පෙන්වා කැඳ බෙදූ පිරිස රිමාන්ඩ් කරවයි
Next articleනඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව (ඡායාරූප සහිතයි)

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here