දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?

(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ඒ බව තහවුරු කිරීම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව ලෙස MediaLK සමඟ ඔහු සඳහන් කළේ විමර්ශකයන් විසින් ඒ ගැන තමන් දැනුම්වත් නොකළ බවයි. කෙසේ වෙතත් ජනමාධ්‍යයට අනුව පාස්කු ප්‍රහාරය මෙන්ම මෙම සිද්ධියට ද දැන් ප්‍රධාන සැකකරුවෝ දෙදෙනෙක් සිටිති. ඉදිරියේදී මේ දෙදෙනාම නොවන වෙනත් පුද්ගලයකු ප්‍රධාන සැකකරු වීමට ද හැකියාව ඇත. ඒ මීට ඉහත ද එවැනි සිදුවීම් සිදුවී ඇති නිසා ය.
2022 ජනවාරි 12 වැනිදා අරුණ පුවත්පතේ පුවත
පළමු සිදුවීම වාර්තා වන්නේ ජනවාරි 11 වැනිදා සවස් වරුවේ ය. ඒ, බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සැකකටයුතු යමක් ඇති බවට වාර්තාවීමත් සමඟ ය. පල්ලියේ වැඩ කරන පුද්ගලයකු ඒ ගැන පල්ලියේ පියතුමන්ලාට දැනුම්දීමෙන් පසු ඔවුන් විසින් පොලිසියට දැනුම් දෙනු ලබයි. එම දැනුම් දීමෙන් පසු පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද පැමිණ විමර්ශන ආරම්භ කළේය. පල්ලියේ පියතුමන්ලා මෙන්ම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද ප්‍රකාශ කළ පරිදි පොලිසිය කරන්නේ එදින සවස 3න් පසු සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමයි. පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර මහතා ද ඒ බව තහවුරු කරයි. එම දර්ශනවලට අනුව අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ අහළ-පහළ සිටින පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේ බෝම්බය තැබූ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.
සං ක්‍රිස්තියන්
පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය විසින් බෝම්බය තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නම් කළේ පල්ලියේ ‘සං ක්‍රිස්තියන්’ ධුරයෙහි කටයුතු කළ පුද්ගලයා ය. පන්සල්වල නම් ඔහු සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘ඇබිත්තයා’ යනුවෙන් ය. සං ක්‍රිස්තියන්ට ඇති ප්‍රධාන රාජකාරිය පල්ලියේ පූජාවලට උදව් කිරීමයි. පල්ලිය සුද්ද-පවිත්‍ර කරන්නේ ද ඔහු ය.
මෙම සිද්ධිය වූ 11 වැනිදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සං ක්‍රිස්තියන් ලෙස කටයුතු කළේ පල්ලිය සමඟ වසර ගණනාවක සිට කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු පල්ලියේ සං ක්‍රිස්තියන් ලෙස පැමිණ මාස කිහිපයක් පමණ වී ඇත. සිද්ධිය වූ දින සවස ඔහු පල්ලිය අතුගාමින් දෙව්මැදුර ඇතුළත කෙළවරට පැමිණ බිම තිබූ යමක් උඩින් තියයි. පසුව ඒ දෙස බියෙන් මෙන් බලා සිට පිටතට ගොස් තව කෙනෙකු කැඳවාගෙන විත් ඔහුට ද පෙන්වයි. පසුව දෙදෙනාම පිටතට ගොස් ඒ බව පල්ලියේ පියතුමන්ලාට දැනුම් දෙති.
සමස්ත කතාව දෙස බැලූ විට පෙනෙන්නේ බිම තිබුණු බෝම්බය බිම අතුගාමින් යද්දී මේසය මතින් තබා ඇත්තේ සං ක්‍රිස්තියන් විසින් බවකි. ඒ, එය බෝම්බයක් යැයි නොදැන බව පෙනේ. ඉන්පසු ඔහු ඒ දෙස චකිතයෙන් මෙන් බලා සිට දිවයන්නේ එය බෝම්බයක් බවට හෝ යම් සැකසහිත දෙයක් බවට දැනගැනීමෙන් පසුව විය යුතුය. බෝම්බය නොදැක්කා සේ සිටීමට ඔහුට හැකියාව තිබිණි. එසේ නොකළ, ඒ ගැන දැනුම් දුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේය.
බාලවයස්කරු
මේ අතර පොලිසිය එදින තුනෙන් පසුව සීසීටීවී දර්ශන නරඹද්දී පල්ලිය ආශ්‍රිතව ගැවසෙන කුඩා ළමයෙකු ගැන සොයා බලයි. ඔහු කවරයක් රැගෙන පල්ලියට පැමිණ බංකුවක් අසල බිම යමක් කරනු පෙනෙන බව කියනු ලබයි. ළමයා බෝම්බය තිබූ තැනට යන බවක් පෙනෙන්නේ නැත. එසේ තිබියදී ළමයා ද පොලිස් බාරයට ගෙන ඔහු ලවා මහේස්ත්‍රාත් ඉදිරිපිට ප්‍රකාශයක් ද කරවීය.
2022 ජනවාරි 13 දිවයින පුවත
ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයට මේ ළමයා මහේස්ත්‍රාත් ඉදිරිපිට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 යටතේ රහස් ප්‍රකාශයක් සිදු කර ඇත. සං ක්‍රිස්තියන් මෙම බෝම්බය ළමයා ලවා දෙවස්ථානය තුළට ගෙන්වාගෙන ඇති බව පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් පල්ලියේ ආරංචි මාර්ග අනුව ළමයා බංකුවක් අසල සිදු කර ඇත්තේ වෙනත් ක්‍රියාවකි. ඒ, උත්සව සමයේ විවිධ නිර්මාණ සිදු කර ඇති අතර, ඉන් ඉතිරි වූ යමක් ඉවත් කිරීම මේ ළමයා විසින් සිදු කර ඇති බව කියනු ලබයි. කිසිම සොයාබැලීමක් නැතිව පොලිසිය මේ ළමයා ද පොලිස් බාරයට ගත්තේය.
පල්ලියේ පියනම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ
මේ අතර ජනමාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පල්ලියේ පියනම ද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි. ඒ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ බව ද කියැවිණි.
ජනවාරි 13 වැනිදා ‘අරුණ’ පුවත්පත මෙම සිදුවීම වාර්තා කරමින් මෙසේ ද සඳහන් කර තිබේ.
2022 ජනවාරි 13 වැනිදා අරුණ පුවත්පතේ පුවත
‘අදාළ දේවස්ථානයේ යම්-යම් කටයුතු සඳහා පැමිණෙන එම දරුවා ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළ බවත්, දරුවා ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පළකර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අධිකරණය වෙත දන්වා සිටියේය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරව, අදාළ දරුවාගෙන් ප්‍රකාාශයක් සටහන් කරගැනීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නාය.’
‘මෙම අත්බෝම්බ සිද්ධියට අදාළ ව එම පල්ලියේ තිදෙනෙකු සහ බාහිර පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය, ඔවුන් අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ද දන්වා සිටියේය.’
‘බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ කතෝලික දේවස්ථානයේදී පෙරේදා (11 වැනිදා) ජීව අත්බෝම්බයක් පිපිරවීමට සැලැස්වීමේ සිද්ධියට අදාළ ව එම දේවස්ථානයේ පියතුමන් ද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු වන බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.’
‘රටේ ජාතික ආරක්ෂාව අනතුරේ පවතින බවත්, අන්තවාදී ක්‍රියාවන් තවදුරටත් සිදුවන බවත් හුවා දැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදු කර ඇතැයි සිදු කරන ලද මූලික විමර්ශන මඟින් හෙළිදරව් කරගෙන ඇත.’
‘මෙම දේවස්ථානයේදී සොයා ගත් ජීව අත්බෝම්බය දේවස්ථානයේ මාස නවයක කාලයක් රැඳී සිටිමින් සේවය කරන මරදාන ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙකු විසින් බෑගයක දමාගෙන එන ආකාරයත්, එම දේවස්ථානයේ ම රැඳී සිටින 13 හැවිරිදි දරුවකු යොදවා බෝම්බය රඳවන ආකාරයත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.’
‘දේවස්ථානයේ සුරුවමක් තුළ රබර් පටි, හඳුන්කූරු, ගිනිකූරු, සෙලෝටේප් යොදා සූක්ෂම ලෙස මෙම බෝම්බය ගිනි ගැනීමක් කර පිපිරවීමක් සිදුකර ඇතත්, එම උත්සාහය ව්‍යර්ථ වී තිබූ බව ද පොලිසිය සඳහන් කරයි. බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මෙම දේවස්ථානයේ බෝම්බයක් ඇතැයි කියමින් දේව මෙහෙය නවතන ලෙස පියනමකගෙන් ඉල්ලා සිටියත්, පියතුමන් දේව මෙහෙය නැවතීමට හෝ බියගැන්වීමකට ලක්නොවූ බවත්, ඒ සඳහා සහභාගි වී සිටි බැතිමතුන් ද එම ස්ථානයෙන් ඉවත් නොවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.’
‘එමෙන්ම මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයන් විමර්ශනයට ලක්කිරීමේදී පියතුමන් අනවශ්‍ය අන්දමින් පරීක්ෂණ නොමග යැවීමට උත්සාහ දරන බවත්, ඔහු සහ සංවිධානාත්මක පිරිසගේ දැනුවත් වීම මත මෙය සිදුව ඇතැයි සැකකරන බවත් ඔහු කීවේය.’
‘මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සිටියි.’
‘අරුණ’ පුවත්පත එම සිදුවීම වාර්තා කළේ එසේය.
කාදිනල්ගේ හෙළිදරව්ව
‘විමර්ශනය’ යනු සීසීටීවී දර්ශන නැරඹීම ම පමණක් නොවේ. සීසීටීවී දර්ශන යනු විමර්ශනයේදී කරුණු අනාවරණය කර ගත හැකි එක් සාධකයක් පමණි. බිම තිබූ බෝම්බය උඩින් තැබූ පමණින් එය පල්ලියට ගෙනැවිත් සවි කළේ එම පුද්ගලයා ම බව කිවහැක්කේ කෙසේද? අඩු තරමේ ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය ඔහු එය පල්ලිය තුළට ගෙන ආවේ දැයි තහවුරු කර ගැනීමට සීසීටීවී දර්ශන උදේ වරුවේ සිට වත් පරීක්ෂා කළ යුතුව තිබිණි.

ළමයා ගෙනාවේ බෝම්බයම දැයි තහවුරු කර ගැනීමට අවශ්‍යතාව තිබුණේ නම් ඒ ළමයා බෝම්බය තිබූ අසලට යනවා දැයි පරීක්ෂා කළ යුතුව තිබිණි. මේ කිසිවක් නැතුව පොලිසිය කලබලයෙන් මෙන් පල්ලියේ වැඩ කරන පුද්ගලයා, ළමයා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියේ සැකසහිත හැසිරීම නිසා පල්ලියේ පියතුමන්ලා එදින උදේ වරුවේ සිට සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහ. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ උදෑසන කිසියම් පුද්ගලයෙකු ඉටි බෑගයක් රැගෙන පල්ලිය තුළට විත් බෝම්බය තිබුණු තැන සිට නැමෙමින්-නැගිටිමින් යමක් කරන බවයි. ඒ දෙසට පල්ලියේ වැඩ කරන පුද්ගලයෙකු එද්දී කලබලයෙන් මෙන් මෙම පුද්ගලයා පිටව යන අයුරු ද සීසීටීවී දර්ශනවල සටහන් ව තිබේ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළහ. එම සීසීටීවී දර්ශන ජනාමධ්‍යයට ද නිකුත් කළහ. විමර්ශනයේ ඇති සැකසහිත තැන් එකිනෙක පැහැදිලි කළහ.
මෙම හෙළිදරව්වෙන් පසු කලබලයට පත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. පොලිසිය බාර ඇමැතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද අදහස් දැක්වීය.
රහස් ප්‍රකාශය ඇමති ළඟට?
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රකාශයත් සමඟ කලබල වූ පොලිසිය බාර අමාත්‍යවරයා වන සරත් වීරසේකර මහතා ජනමාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ බෝම්බ සිද්ධිය ගැන ළමයා මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් කළ බවයි. පහත උපුටා ගැනීම ජනවාරි 14 වැනිදා දෙරණ ප්‍රවෘත්ති විකාශයෙනි.
‘හැන්දෑවේ 5ට පමණ පොලිසිය එම ස්ථානයට ගිහින් සැකකටයුතු හතර දෙනෙක් ගත්තා. ඒ ළමයට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ පල්ලියේ මාස අටක් පමණ වැඩ කරන ද්‍රවිඩ ජාතික … කියන පුද්ගලයා තමයි එයාට මේ මල්ලක් බාරදුන්නේ කියලා. බෝම්බය සහිත ඒ මල්ල බාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ. ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බය වටේට රබර් පටියක් දාලා, පින් එක ගලවලා, හඳුන්කූරක් තියලා, ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තු වෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඒ පුද්ගලයාගේ කාමරය ඇතුළේ ටේප් තිබ්බා. හඳුන්කූරු තිබ්බා. ගිනිකූරු තිබ්බා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තාම පල්ලියේ ඉන්න පුද්ගලයො අත්අඩංගුවට අරගෙන හිරිහැර කරනවා කියලා කියන එක මොන තරම් බාල තර්කයක්ද කියන එක තමයි මට අහන්න වෙන්නේ. උදේ නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මෙතැනදි තියෙන්නේ පොලිසියට දිය යුතු ඒ සීසීටීවී දර්ශන මාධ්‍යයට නිකුත් කළාම වෙන්නේ අදාළ පුද්ගලයන්ට පුළුවන් හැංගෙන්න.’
‘ප්‍රශ්නය – කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයේදී සඳහන් කරනවා සීසීටීවී දර්ශන ඇයි පොලිසිය පසුව නැරඹුවේ නැත්තේ කියලා?’
‘සීසීටීවී දර්ශන දවල් තුනේ ඉඳන් බැලුවේ මොකද ඉක්මනට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ඔ්නෙ හින්දා. මේක පහට රිපෝට් කළේ. එහෙම කියලා උදේ ඒවා බලන්න එපා කියලා නැහැනෙ පොලිසිය. උදේ තියෙන සීසීටීවී දර්ශන විනාශ කරන්න කියලා නැහැනෙ පොලිසිය. ඒ වගේම තමයි අපි ජනතාවට කියන්න ඔ්නේ ඇපලෝ රෝහලේ වැසිකිළියේ බෝම්බය තිබ්බ පුද්ගලයයි, පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. රජයට අපහාස කරන්න, රජය අපහසුතාවට පත්කරන්න පොලිසිය හමුදාව අපහසුතාවට පත්කරන්න. ඒ මහ මොළකරුවා අපි ඉදිරියේදී අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි මේ අවස්ථාවෙදි කියන්න ඔ්නෙ.’
ඇමැතිවරයා සිය කතාවේදී ‘ඒ ළමයා ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ පල්ලියේ මාස අටක් පමණ වැඩ කරන ද්‍රවිඩ ජාතික … කියන පුද්ගලයා තමයි එයාට මේ මල්ලක් බාර දුන්නේ කියලා බෝම්බය සහිත.’ යැයි කීවේය. ළමයා මහේස්ත්‍රාත් හමුවේ ලබාදුන්නේ රහස් ප්‍රකාශයක් බව ‘අරුණ’ පුවත්පත ඇතුළු ජනමාධ්‍ය වාර්තා කළේය. මහේස්ත්‍රාත්වරයා රහස් ප්‍රකාශ ලබාගන්නේ පොලිසිය ඉදිරිපිටදී නොවේ. පොලිසිය ඉදිරිපිටදී ප්‍රකාශයක් ලබාගන්නේ නම් එහි ඇති රහස්‍ය බවක් නැත. එසේ නම් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබාදුන් ප්‍රකාශය ඇමැතිවරයා දන්නේ කෙසේද? එක්කෝ අධිකරණයෙන් එය ඇමතිවරයාට යා යුතුය. නැතහොත් ළමයා ලවා මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ කරවන්නේ පෙර ගෙතූ කතාවක් විය යුතුය.
හිජාස්ට එරෙහි රහස් ප්‍රකාශ
මීට පෙර මෙවැනි සිදුවීම් ගැන ඔ්නෑ තරම් උදාහරණ තිබේ. ඉන් එක් ප්‍රධාන ‘රහස් ප්‍රකාශයක්’ වන්නේ මුලින් පාස්කු බෝම්බ ප්‍රහාරයට බව කියමින් අත්අඩංගුවට ගෙන පසුව වෙනත් කාරණයක් ගැන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සිසුන් තිදෙනකු ලබා දුන් බව කියන රහස් ප්‍රකාශයයි.
මදුරන්කුලියේ පාසලක සිසුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන ගොස් තිබුණු අතර, ඉන් සිසුන් තිදෙනකු මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් ලබා දී තිබිණි. එම ප්‍රකාශවල අන්තර්ගත වූ කරුණු බව කියමින් එදින රාත්‍රී සහ පසු දින ජනමාධ්‍යවල යම් ප්‍රකාශ කිහිපයක් වාර්තා කළේය. ඊට පසු නඩු දිනයේදී මේ සම්බන්ධයෙන් නීතිඥ හිජාස්ගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වීය. මෙම ප්‍රකාශ රහස් ප්‍රකාශ බැවින් අධිකරණයෙන් ඒවා පිටතට ගොස් ඇත්දැයි සැක සහිත බවත්, එලෙස අධිකරණයෙන් පිටතට ගොස් නැතිනම් මේවා ළමයින් ලවා කඩපාඩම් කරවූ ප්‍රකාශ විය යුතු බවත් නීතිඥවරු කීහ.
මහේස්ත්‍රාත් ඉදිරියේ කළ රහස් ප්‍රකාශයක් වෙනත් පාර්ශ්වයකට යෑම කොතරම් බරපතළ ද යත් එම අවස්ථාවේ දී කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා වහාම මේ ගැන විමර්ශනයක් කරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය. ඒ හිජාස්ගේ සිදුවීමේදී ය. හිජාස් මහ මොළකරු කරන්නට හැදූ නාටකයේදී ය.
පාපොච්ඡාරණ
පොලිසිය හිතා මතා හෝ වැරදීම්වලින් හෝ ඇත්ත සැකකරුවා වෙනුවට අහිංසකයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථා ඔ්නෑ තරම් තිබේ. ඊට හොඳම උදාහරණය කොටකෙතන සිදුවීමයි. කොටකෙතන ඝාතනවලට සැකපිට පොලිසිය විවිධ පිරිස් අත්අඩංගුවට ගත්තද, ඔවුන් ඇත්තටම සම්බන්ධ පුද්ගලයන් නොවූ බව පසුව අනාවරණය විය.

කොටකෙතන දී මවක ඝාතනය කළ බව කියමින් ඇගේ පුතා වන සිසුවකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. තම මව ඝාතනය කළ හැටි සිසුවා ප්‍රකාශ කළ බව කියමින් ඒ දිනවල මාධ්‍යවල පිටු ගණන් පාපොච්ඡාරණ කතා පළ විය. පෙම්වතියට තෑග්ගක් රැගෙන දීමට මව මුදල් නොදුන් නිසා මවට පහර දුන් බවත්, මිය ගිය පසු ඊට පෙර සිදුවූ ඝාතනවලට සමාන කරමින් මිනිය වෙනත් තැනක සැඟවූ බවත් පුතා ප්‍රකාශ කළැයි පොලිසිය කීවේය.
අම්මා මැරූ බව කියා බොරුවට අත්අඩංගුවට ගත් පුතාට සාධාරණයක් නැද්ද?
අත්අඩංගුවට ගත් සිසුවා දීර්ඝ කාලයක් රිමාන්ඩ් බාරයේ පසු විය. අවසානයේ එම ඝාතනයේ නියම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිසුවාට නිදහස හිමි විය. ඒ වන විට ඔහුට සියලුම හානි සිදුවී අවසන් ය. සිසුවා බොරුවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු අදටත් ගැටලුවකින් තොරව සිටිති. ‍
කොටදෙනියාවේ සේයා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියමින් මේ ආකාරයටම බොහෝ දෙනෙකු පොලිසිය රැගෙන ගොස් පහර දී වරද බාරගන්නා ලෙස බල කර තිබිණි. එවකට පාසල් ශිෂ්‍යයකු ද, එක්දරු පියකු ද පොලිසියෙන් කොණ්ඩයා නමින් හැඳින්වූ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි. විශේෂයෙන් කොණ්ඩයා නමින් පොලිසිය හැඳින්වූ පුද්ගලයා දැරිය රැගෙන ගොස් අපයෝජනය කළ ආකාරය බව කියන කතාවක් ද ගොතා පාපොච්ඡාරණයක් ලෙස ජනමාධ්‍ය වෙත නිකුත් කළේය. අවසානයේ ඔවුන් තිදෙනාම මෙම අපරාධය කර නැති බව තහවුරු විය.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සිදුවීමත් එබඳුම විය හැකිය. සං ක්‍රිස්තියන් බෝම්බය තැබූ බව පිළිගත්තේ යැයි ඇමැතිවරයා ද ප්‍රකාශ කරයි. මෙය පොලිසියේ විමර්ශන නොහැකියාව පෙන්වන සිද්ධියක් ලෙස ලඝු කළ නොහැක්කේ කාදිනල්ගේ අනාවරණයෙන් පසු පොලිස්පතිවරයාගේ සිට ඇමතිවරයා දක්වාත්, ආරක්ෂක ලේකම්වරයා දක්වාත් වගකිවයුත්තෝ කලබලයට පත්වීම නිසා ය.
2022 ජනවාරි 17 අරුණ පුවත්පතේ පුවත
කාදිනල් හිමි අනාවරණය කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි. මෙම බෝම්බය ඔහු රැගෙන ආවේ රුපියල් 50,000ක කොන්ත්‍රාත්තුවකට බව අනාවරණය වී යැයි ද පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේය. එම සැකකරු රඳවාගෙන සිටින්නේ නීත්‍යනුකූල රැඳවුම් නියෝගයක් මත ද යන්න තවමත් ගැටළු සහගත ය.
මේ සම්බන්ධයෙන් MediaLK විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා විමර්ශන ගැන ප්‍රතිචාර දැක්වීමට අදිමදි කළේය. ඔහු කීවේ අත්අඩංගුවට ගැනීම ගැන විමර්ශකයන් තමන් දැනුම්වත් නොකළ බවයි. විමර්ශන අවසන්වූ පසු විමර්ශකයන් තමන් දැනුම්වත් කරනු ඇති බවත්, ඒ වන තෙක් තමන් ඒ ගැන විමසීම් නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ කතාවට හදිසියේ ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම සිදුවීමේදී මුනිවත රැකීමත් බරපතළ සැකයට තුඩු දෙන්නකි.
පල්ලියේ වැඩ කළ සං ක්‍රිස්තියන් අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ගිනි පෙට්ටියේ කූරු අඩුවීම ගැන පොලිසිය සහ ඇමැතිවරයා සඳහන් කළේය. මේ වන විට එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්වී තිබේ. මේ සිදුවීම සිදු වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 1,000ක් පිරීම සනිටුහන් කරමින් විශේෂ දේව මෙහෙයක් තේවත්ත පල්ලියේ සූදානම් කර තිබූ පසුබිමක වීම ද විශේෂත්වයකි. පොලිසිය ‘නාටක’ නිර්මාණය නොකර සත්‍ය තත්ත්වය කඩිනමින් හෙළිදරව් නොකළහොත් මතුවී ඇති සැක සංකා තවදුරටත් ඔඩුදුවනු ඇත.

පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?

ප්‍රහාරයට මාස 28ක් ; අපිව බේරන්න ! – පාස්කු චූදිතයෝ ඉල්ලති

Update : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු මිතුරෙක් නෙමෙයි – රියාජ් බදියුදීන් 

පාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය

මාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?

පාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා 

මාධ්‍ය ආයතන දෙකක බොරු ප්‍රවෘත්ති නිසා ශානි පාස්කු කොමිසමේදී සංවේදී වෙයි

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර ජනපතිටත් දැනුම් දුන් බවට විශ්වාසයි – සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ 

පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි අබේසේකර සාක්ෂි දෙයි!

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට 

‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ දෙස බලන්නේ කවදාද ?

සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

නීතිඥ හිජාස් හිස්බුල්ලා නඩුව : මහේස්ත්‍රාත්වරයාගෙන් ⁣ඓතිහාසික නියෝගයක්

නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත පමණක් බවට නීතීඥවරයා කියයි

“පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට කියයි

FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම ද ?

 

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleවැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවූවන් ඝාතනය කළ බව සනාථ වෙයි !
Next articleදේවස්ථානයේ බෝම්බ නාට්‍යය පාස්කු විමර්ශන අඩපණ කරන්නන්ගේ අසාර්ථක පිටපතක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here