නීතිඥ හිජාස් හිස්බුල්ලා නඩුව : මහේස්ත්‍රාත්වරයාගෙන් ⁣ඓතිහාසික නියෝගයක්

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළ සියලු විධිවිධාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයින්ටත් අදාළ වන බව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමක් සිදු නොවන බවට ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී සඳහන් කළේය.
මහාචාර්ය ජී. එල් පීරිස් මහතා විසින් රචිත “අපරාධ නඩු විධාන සංග්‍රහය” නම් පොත උපුටා දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඕනෑම වරදක් පිළිබඳ සියලු පරීක්ෂණ මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය හා පාලනය යටතේ පවතින බවයි.
හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 2020 අගෝස්තු 19 දිනැති නියෝගයකින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කළේ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ විමර්ශන ක්‍රියාවලියේදී ලබාගත් සියලු ප්‍රකාශ පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. එහිදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙ⁣රෙන විමර්ශන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණයට යටත් නොවන බවට නීතිපතිවරයා විරෝධය පළ කිරීමෙන් පසු හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අදාළ නියෝගය පිළිපදින්නැයි ඉල්ලා මෝසමක් ගොනු කළහ. හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ විශේෂ නීතිවල ප්‍රතිවිරුද්ධ විධිවිධාන නොමැති නම් අපරාධ නඩු විධාන සංග්‍රහය සෑම විටම අදාළ වන බවයි.
නීතිපති එදිරිව වීරවංශ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු මහතාගේ තීන්දුවක් උපුටා දක්වමින් නීතිඥවරුන් කියා සිටියේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විමර්ශනය කිරීම හා කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිවිරුද්ධ විධිවිධාන නොමැති බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 5 වන වගන්තිය ඉතා පැහැදිලි බවත් කිසිදු පුද්ගලයෙකුට නීතිය උල්ලංඝණය කළ නොහැකි බවත් නීතිඥවරු පැවසූහ.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය ප්‍රචාරය සඳහා අර්ධ කරුණු අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවට ඔහුගේ නීතිඥයින් පෙන්වා දීමෙන් පසු, හිස්බුල්ලා මහතා සම්බන්ධ විමර්ශනයේදී ගත් සියලු ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීමක් සිදුකෙරිණි. අල්-සුහ්රියා අරාබි පාසලේ ගුරුවරුන් සහ සේව් ද පර්ල්ස් සංවිධානයේ අනෙකුත් සාමාජිකයින් ඇතුළුව විමර්ශනයේදී ලබාගත් සියලු පුද්ගලයින්ගේ ප්‍රකාශවලින්, හිස්බුල්ලා මහතා කරන ලදැයි චෝදනා නගන වැරදිවලින් නිදොස් වනු ඇතැයි නීතිඥයෝ පැවසූහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් උපුටා දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ආරක්ෂක ඇමතිවරයාගේ රැඳවුම් නියෝගය යම් කිසි පුද්ගලයෙකු කරන ලද වරදක් විමර්ශනය කිරීම සඳහා පමණක් බවත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකුට දඬුවම් කිරීම සඳහා නොවන බවත් ය.
හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව අධිකරණයේදී ලබාගත් සියලු ප්‍රකාශ ඇතුළුව සවිස්තර වාර්තාවක් 2021 පෙබරවාරි 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරන ලදී.හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, හෆීල් ෆාරිස්, ධනුෂන් කනේෂයෝගන් සහ කවිඳු ඉන්දතිස්ස පෙනී සිටියහ.
මීට පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍ය වාර්තා මාලාවකදී කියා සිටියේ හිස්බුල්ලා විසින් අරාබි විද්‍යාලයේ ත්‍රස්ත පුහුණුව ලබා දී ඇති බවයි. ඉන්පසු ළමයින් දෙදෙනෙකු 2020 මැයි 12 වැනිදා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කළ අතර එම ප්‍රකාශවල තිබූ විස්තර එදිනම සවස හා පසු දින මාධ්‍යවල සහ පුවත්පතවල වාර්තා වී තිබිණි. හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ පාපොච්චාරණය මාධ්‍යයට යා හැකි එකම ක්‍රමය රහස් පොලිසිය හරහා බවත්, ඇත්ත වශයෙන්ම ඔවුන් එම ප්‍රකාශ කිරීමට ළමයින්ට බල කර ඇති බවත්ය. බලහත්කාරය සම්බන්ධයෙන් රහස් පොලිසියට චෝදනා කරමින් ළමයින් සිව් දෙනකු විසින් මූලික අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත උසාවියේදී කියා සිටියේ හිස්බුල්ලා මහතාගේ ඡායාරූප දරුවන්ට පෙන්වීමට රහස් පොලිසියේ නිලධාරීන් උත්සාහ කර ඇති බවයි. පාපොච්චාරණ මාධ්‍යයට ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට ද හිටපු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Previous articleපාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා 
Next articleහමුදාව යොදවා ඔක්කොම කරන්න හිතන්නවත් එපා : අද මාධ්‍ය නිහඬ ඇයි ? – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here