නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත පමණක් බවට නීතීඥවරයා කියයි

සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 2019 අප්‍රේල් 21 වැනි දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වීයැයි කියමින් අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ ඒ මහතාට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් ශකීල් මහතා මාර්තු මස තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මාස 10ක පමණ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ (17) ලබා දුන් උපදෙස් අනුව ඒ මහතා අද සවස 4.30ට පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. නීතිපතිවරයා විසින් ඊයේ දෙනු ලැබූ උපදෙස් අනුව ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ශකීල් නම් විදුහල්පතිවරයා ද අද සවස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිණී ගිරියාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, සහකාර පොලිස් අධිකාරී උපුල් සෙනවරිත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක සහ උප පොලිස් පරීක්ෂක කුමාරිසරි යන මහත්වරු පෙනී සිටියහ.  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නිරාන් අංකිටල් මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් ද, විදුහල්පතිවරයා වෙනුවෙන් නීතීඥ දරූෂන් මහතා ද පෙනී සිටියහ.
සැකකාර හිස්බුල්ලා සහ ශකීල් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා දැනුම් දුන්නේ ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 2 (1) (එච්) සහ අයිසීසීපීආර් පනතේ 3 (1) යටතේ චෝදනා නගමින් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
”2020 අප්‍රේල් 14 වැනි දා පළමු සැකකරු (හිජාස්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළා. එහි උදෘත නීතිපති වෙත එවූ පසු ඒවා අධ්‍යයනය කර නීතිපතිවරයා අදාල උපදෙස් ලබා දුන්නා. පළමු සැකකරුට ආධාර අනුබල දීම යටතෙයි දෙවැනි සැකකරු අත්අඩංගුවට ගන්න උපදෙස් දුන්නේ.
පුත්තලම කරතිව් අල් සහයිරා මද්‍රසා පාසලේ සිසුන් 56 දෙනකු ‌ඉගෙනුම ලබලා තියනවා. එයින් 26 දෙනකු කොළඹ පදිංචිකරුවන්. මෙය මවුලවිලා බිහිකරන ආයතනයක්. සේව් ද පර්ල් නම් සංවිධානයෙන් මේ පාසලට සිසුන් සම්බන්ධ කරලා දීලා තියෙනවා. අම්මා හෝ තාත්තා නැති, අම්මා හෝ තාත්තා මත්ද්‍රව්‍ය චෝදනාවලට සිරදඩුවම් විඳින වගේ දරුවන් මේ පාසලට යොමු කරලා තිබෙනවා. සේව් ද පර්ල් හරහා යවන ළමයින්ට වෙනම පන්තියකයි ඉගැන්වීම් කරලා තියෙන්නේ. වෙනම තබාගෙන අන්තවාදී මතවාද දීලා තිබෙනවා. ගිනි අවි පුහුණුවත් දුන්නා කියා ප්‍රකාශයක තිබෙනවා. 2018 සිට 2019 අප්‍රේල් දක්වා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. 2019 අප්‍රේල් වලින් පසු මෙය තාවකාලිකව වහලා තිබෙනවා.
සිසුවෙක් සාක්කියක් දුන්නා පළමු සැකකරු ඇවිත් දේශන පැවැත්වුවා කියලා. එයා එක්ක ආපු සුදු උස කෙනෙක් තමාට මඩකලපුවේ විශ්ව විද්‍යාලයක් ඇති බවට ප්‍රකාශ කළා කියලත්, හොඳට ඉගෙනගත්තොත් එම විශ්වවිද්‍යාලයට යාහැකි බවටත් කියා තිබෙන බව එම ප්‍රකාශයෙන් සඳහන් වෙනවා.  නවුෆර් මවුලවි, සහරාන් , රිල්වාන්, සාරා ජස්මින්, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්, මුවාඩ්, ජි‌ෆ්රියා වගේ අය නිතර ඇවිත් දේශන පැවැත්වුවා කියලත්, රිල්වාන් ආයුධ පුහුණුව ලබා දුන්නා කියලත් ප්‍රකාශයේ සඳහන් වෙනවා.
මෙම මද්‍රසා පාසල පවත්වාගෙන යන්න සේව් ද පර්ල් ආයතනයෙන් මුදල් ලබාදී තිබෙනවා. සේව්ද පර්ල් ආයතනයට කටාර් චැරිටි නම් සංවිධානයකින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. කටාර් චැරිටි කියන්නේ අල්කයිඩා සංවිධානයට මූල්‍යාධාර දුන් බවට චෝදනා නැඟුණු ආයතනයක්. සේව් ද පර්ල් අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනකුගෙනුත් ප්‍රකාශ අරගෙන තිබෙනවා. ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුත් සිටිනවා. මෙය උතුම් චේතනාවෙන් ආරම්භ කළ ආයතනයක් බවට ඔවුන් ප්‍රකාශ ලබා දී තිබෙනවා.
පළමු සැකකරු මුලින් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ ඉන්සාෆ් සහ ඉල්හාම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිටයි. 2019 මැයි 12 වැනිදා රහස් පොලිසිය ඔහුගෙන් මුලින්ම ප්‍රශ්න කරලා තියෙනවා. එදා ඔහු මේ සම්බන්ධතා ගැන කියලා නෑ. ඔහු රඳවා තබාගෙන සිටින කාලයේ ඔහුගෙන් ප්‍රකාශ 58ක් පමණ සටහන් කරගෙන තිබෙනවා. ඔහු ඉදිරිපත් කරන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 7(2) යටතේයි. දෙවැනි සැකකරු ඉදිරිපත් කරන්නේ එම පනතේ 7(1) යටතෙයි.  මෙම පනත යටතේ සහ අයිසීසීපීආර් පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදීමේ හැකියාවක් නැහැ. මේ සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටිනවා. ”
හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිරාන් අංකිටල් –
” හිජාස් හිස්බුල්ලා ඉදිරිපත් කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 7(2) යටතේයි. ඒ කියන්නේ දැන් ඔහුගේ රැඳවුම් නියෝග අවසන්. ඔහු නිදහස් පුද්ගලයෙක්. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (7(2) යටතේ ඉදිරිපත් කරන පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න නම් මහේස්ත්‍රාත්වරයාට අදාල කාරණය ගැන සාධාරණ සැකයක් මතුවිය යුතුයි. සාධාරණ සැකයක් නැත්නම් රිමාන්ඩ් කරන්න බෑ. (මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයාගේ තීන්දුවක් ගෙනහැර දැක්වීය)
මෙම පාසලේ සිසුන් 58ක් සිටියා කියනවා. එයින් එක සිසුවකුගේ ප්‍රකාශයක් මත පමණයි චෝදනා දාලා තියෙන්නේ. අත්අඩංගුවට ගනිද්දි කිව්වේ වෙන හේතුවක්. නමුත් දැන් දාලා තියෙන්නේ වෙන චෝදනාවක්. හිජාස් හිස්බුල්ලා 2018 අගෝස්තු මාසයේ මෙම මද්‍රසා එකට ගියා කියලා තියන එක කටඋත්තරයක් පමණයි. මීට පෙර සීඅයිඩිය අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා 2015 වසරේ පෙබරවාරි 28, අප්‍රේල් 11, ඔක්තෝබර 17, දෙසැම්බර් 02, 2016 වසරේ මැයි හතර වැනි දා සහ 2019 ජනවාරි 15 වැනි දා හිජාස් හිස්බුල්ලා එහි ගොස් ඇති බව. ඒ අතරේ මේ සාක්කිකරු කියන 2018 අගෝස්තු මාසයේ දවසක් නෑ. 2018 අගෝස්තු මාසෙ ගියා කියලා සිසුවා කියන ප්‍රකාශය සහ සීඅයිඩිය කලින් ඉදිරිපත් කළ වාර්තා පරස්පරයි. තියන එකම සාක්කියත් පරස්පරයි. මේ නිසා හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිම සාධාරණ සැකයක් මතුවෙන්නේ නෑ. ඒ නිසා ඔහු රිමාන්ඩ් කරන්න බෑ.  ඒ වගේම අයීසීසීපීආර් පනතේ අදාල වගන්තිය දමනවා නම් සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 115 යටතේ ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඒ යටතේ නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අයිසීසීපීආර් පනත යටතේ රිමාන්ඩ් කරන්නත් බෑ.  රහස් පොලිසිය විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන්ට අවශ්‍ය කරන කිහිප දෙනකුගේ ප්‍රකාශවලින් කොටසක් පමණක් අරගෙනයි කතාව හදලා තියෙන්නේ. මේ නිසා සැකකරු රිමාන්ඩ් කරන්න බලයක් නෑ. ඔහු මුදාහැරිය යුතුයි. ”
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් පසු සැකකරුවන් මාර්තු 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් සටහන් කර ගත් සියලුම ප්‍රකාශවල සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
Previous articleවින්දිතයන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරියට මරණ තර්ජන : ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම කැඳවයි !
Next articleනුසුදුස්සන්ටත් සමෘද්ධිය ලැබෙන බවට පැමිණිලි : සමෘද්ධිලාභීන් ගැන විගණනයක් ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here