පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?

පාස්කු ප්‍රහාරයේදී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ඉවත් කර දෙන ලෙසට මහ නාහිමිවරුන් බැහැ දැක ඉල්ලා සිටි උසස් පොලිස් නිලධාරීන්ගේ ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවත්, ඇතැම් ප්‍රකාශ පොලිස් නිලධාරීන්ට නොගැළපෙන ප්‍රකාශ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කරති.
ඔවුන් කළ ප්‍රකාශ සහ එම ප්‍රකාශවල ගැටලුසහගත තැන් මෙසේ පෙළගැස්විය හැකිය.
මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතා ජනමාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහ නාහිමියන් හමුවේ කරනු ලබන ප්‍රකාශයක් ජනමාධ්‍ය වාර්තා කළේය.
‘අවුරුදු 30ක් මේ රටේ යුද්ධයේදී රාජකාරි කරලා තුවාල වෙලා, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරි කරන නිලධාරි කණ්ඩායමක් අපි. හැබැයි අද මෙතැන්ට ආවෙ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කරලා, ඒ රාජකාරි කරපු එක වරදක් වෙලා වෙන කියාගන්න කෙනෙක් නැතුව, අපිට එල්ලුම් ගහ හරි මහ උළුගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වළක්වගන්න. මල්වතු, අස්ගිරි නායක හාමුදුරුවො හමුවෙලා දළදා වහන්සේට කියලා කන්නලව් කරලා රස්සාවයි, ජීවිතයි, අපේ යැපෙන අයයි බේරාදෙන්න කියලා ඉල්ලන්නයි ඇවිත් ඉන්නේ.’

අමූලික බොරු

මෙම පොලිස් නිලධාරීන් පිරිස ජනගත කරන්නට උත්සාහ කරන්නේ අමූලික බොරුවකි. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කිරීමේ වරදට තමන්ට එරෙහිව කටයුතු කරන්නට යන බව ඔවුහු කීමට උත්සාහ කරති. නමුත් චෝදනාව තිබෙන්නේ පාස්කු ප්‍රහාරය දිනයේ රාජකාරි කිරීම සම්බන්ධයෙන් නොව, පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව කටයුතු කර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙනි.

යුද්ධය පෙන්වා ගැලවීම

ඊළඟට මේ පිරිස යුද්ධය ගැන කතා කරති. යුද්ධය යනු ඕනෑම අපරාධයකින් ගැලවීමට තිබෙන පළිහක් නොවේ. යුද්ධය ගැන කතාකරන මේ මහත්වරුන්ගෙන් ඇතැමෙක් අඩු තරමේ යුද සමයේ, යුද්ධය පැවැති ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපති ධුරයක්වත් දැරුවෝ නොවෙති. එල්ලුම්ගහට හෝ මහ උළුගෙදරට යෑමෙන් හෝ රැකියා නැතිවීමෙන් හෝ වළක්වා ගත හැක්කේ මහ නාහිමිවරුන්ට ඇවිටිලි කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් නොව, ඉහළ නිලධාරීන්ට, ඉහළ උසාවිවලට අභියාචනා කිරීමෙන් බව මෙම නිලධාරීන් නොදන්නේ නම්, ඔවුන් කිසිසේත්ම පොලිසියට ගැළපෙන්නේ නැත.

කැපවීම සහ නියෝගය

‘2019 පාස්කු ප්‍රහාරයේදි 300කට වඩා අහිංසක ජනතාව මියගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබුවා. අද මේ රැස්වෙලා ඉන්න අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළ සිරුරු දෑතින් උස්සගෙන රෝහල්ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැපවීමෙන් රාජකාරි කළ කණ්ඩායමට අද කරකියාගන්න දෙයක් නැතුව ගිහින් තියෙනවා මොනවා වෙයිද කියලා. එවකට පැවැති යහපාලන රජය ප්‍රහාරයක් එල්ල කරනවා කියලා මේ තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු පැහැදිලි නියෝගයක් ලබානොදී, මේ තොරතුරු හොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප්‍රහාරය සිද්ධ වුණා. මේ ප්‍රහාරය දවසේ මේ ඉන්න නිලධාරීන් සියලුදෙනා රාජකාරි කළා. අද ජීවිත සිය ගණනක් ජීවත් වෙනවා එදා අපි ක්‍රියාමාර්ග ගත්තු නිසා.’

ජීවිත පරිත්‍යාගය

පාස්කු ප්‍රහාරයට කිසිවෙකු ජීවිත පරිත්‍යාග කළේ නැත. ජීවිත පරිත්‍යාග කිරීම යනු තමන්ට මරණය අත්විය හැකි බව දැන-දැනම යම් යහපත් අරමුණකින් යමක් කිරීමට යෑමයි. ප්‍රහාරයක් එල්ල වන බව දන්නේ නම්, එම ජනතාව අදාළ ස්ථානවලට යන්නේ ද නැත. මෙය ඝාතනයකි. මරණය අත්වන බව දැන-දැනම මිය ගිය ප්‍රහාරකයන් හැර අනෙක් පිරිස් එම ස්ථානයට නොගියද, මරණය අත්කරදිය හැකි මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව මෙම පොලිස් නිලධාරීන් පිරිස දැන සිටි බව නම් පාස්කු කොමිෂන් සභාවේදී අනාවරණය විය.

විමර්ශන කණ්ඩායම් මගහැරියේ ඇයි?

‘යහපාලන රජය මෙම ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු නියෝගයක් නොදී මේ පිළිබඳ තොරතුරු සොයන්න කියලා විතරක් අපට දැනුම් දුන්නා’ යැයි පොලිස් නිලධාරීන් කීමෙන් ඔවුන් තම රාජකාරිය ගැන මොන තරම් දැනුම්වත් බවකින් සිටින්නේද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතු වේ.
පළමු කාරණය මෙම ප්‍රහාරය එල්ල කරන බවට යහපාලන රජය දැනගෙන සිටියා ද යන්නයි. ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපති කොමිසමෙන් හෝ වෙනත් විමර්ශන කණ්ඩායමක් විසින් තොරතුරු හෙළි කර නැත. ඒ බව මෙම නිලධාරීන් පිරිස දන්නේ නම් කළ යුත්තේ මහා නාහිමිවරුන් බැහැදැකීමට යෑම නොව විමර්ශන කණ්ඩායම් මුණගැසී තමන් දන්නා කරුණු ඉදිරිපත් කිරීම ය.
ආණ්ඩුවෙන් ප්‍රහාරය ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගැන නියෝගයක් නොදී, තොරතුර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සොයාබැලීමට පමණක් කී බව පොලිස් නිලධාරීහු කියති. විමර්ශන පැවැත්වීම හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ ආණ්ඩුවේ රාජකාරියක් නොවේ. එවැනි තොරතුරක් ලදහොත් එය පොලිසියට හෝ වෙනත් විමර්ශන කණ්ඩායමකට දැනුම්දීම ආණ්ඩුවේ වගකීමකි. මේ පොලිස් නිලධාරීන් කියන ආකාරයට ආණ්ඩුව වගකීම ඉටු කර ඇත. වගකීම ඉටු කර නැත්තේ මොවුන් කියන ආකාරයට පොලිසියයි. ඒ ප්‍රහාරය ගැන යොමු කළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් නොකර පැහැර හැරීම ය. තොරතුර තමන්ට යොමු කළ බව පොලිස් නිලධාරීන් ම පිළිගනී. එසේ නම් ඒ සම්බන්ධයෙක් කළ විමර්ශනය කුමක්ද? ප්‍රහාරය වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

යුක්තිය ඉල්ලන තැන

‘හැබැයි අද වෙනකොට මේ යහපාලන රජය පත්කරපු කොමිෂන් සභාව දුන්නු අසාධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලුම්ගහ හිමිවෙනවා, එහෙම නැත්නම් හිරගෙදර තපින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහිමි වෙලා වෙනත් රැකියාවකට යන්න බැරිව ගෙදර යන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයකට අපි දැන් පාත්‍රවෙලා ඉන්නේ. ඒ දුක කියන්න කිසිම කෙනෙක් නෑ. අපි මේ වෙනකොට කියන්න තියෙන හැමතැනකට ම කිව්වා. ඒ යහපාලන රජය ගත්තු අසාධාරණ තීන්දුවෙන් සමස්ත පොලිසියම කඩාවැටිලා. අපේ පවුල්, දරුවෝ, නෑදෑයෝ, දෙමාපියෝ සියලුදෙනාම අඬා වැටෙනවා. මොකද හෙට දවසේ අපි සිරගතවෙයි, එල්ලුම්ගහට යයි කියලා. ඉතින් ඒ දුක කියන්න තමයි, අපි මෙතැන්ට ආවෙ. කන් ඇහෙන, ඇස් පේන මේ මහ නාහිමිවරුන්ට කියලා අපිට යුක්තිය ඉෂ්ඨ කරලා දෙන්න කියන්නයි අපි මෙතැන්ට ආවෙ.’

නීති ප්‍රතිපාදන නැද්ද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එසේ කීවද, කොමිෂන් සභාව පත් කළේ යහපාලන රජය නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ජනාධිපති සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභාවේ කාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීර්ඝ කළේය. කොමිසමේ සභාපතිවරයා වූයේ එවකට අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකි. ජනාධිපති කොමිෂන් සභාවකින් වැරදි නිර්දේශ ලබාදී ඇත්නම්, කළ යුත්තේ මහ නායක හිමිවරුන් ඉදිරිපිටට යෑම නොවේ. කළ යුත්තේ අභියාචනාධිකරණයට ගොස් මෙම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තීන්දුවක් ලබාගැනීම ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ දේශපාලන පළිගැනීම් සොයන උපාලි අබේරත්න ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, රජයේ නීතිඥ ජනක බණ්ඩාර, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ගියහ. එසේ නීතිමය ප්‍රතිපාදන තිබියදී උසස් පොලිස් නිලධාරීන් පිරිසක් නීතිය නොතකා වෙනතක යෑම බරපතළ තත්ත්වයක් නොවේද?

මේ කියන්නේ ඇත්තද?

‘කාදිනල් උන්නාන්සේට අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. උන්නාන්සේ දැක්කා අපි දෑත්වල ලේ තවරගෙන ජීවිත බේරගන්න කටයුතු කළ ආකාරය. කාදිනල් හිමි තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කිරීම සාධාරණයි. හැබැයි අපි වෙනුවෙන් කතාකරන්න රජය හෝ වෙනත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේක කියන්න කිසිම කෙනෙක් නැහැ. පොලිස් නිලධාරීන් 20 – 25ක් මේ අසාධාරණයට ලක්වෙලා.’

තවත් බෙදා වෙන්කිරීමක්

කාදිනල් හිමියන් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කරන බව කියමින් බෙදීමට උත්සාහ කිරීම ද පොලිස් නිලධාරීන්ට තරම් නොවේ. මේ පොලිස් නිලධාරීහු තමන්ට වූ අසාධාරණය කුමක්දැයි නොකියා රජය හෝ වෙනත් කෙනෙකු තමන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම ගැන කතා කරති. තමන්ට මෙය කියන්න වෙන කිසිම තැනක් නැතැයි ඔවුහු කියති. හැබැයි ඔවුන්ට මෙය කියන්නට තැනක් තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී කියන්නට තිබිණි. විමර්ශන කණ්ඩායම්වලට කටඋත්තර දෙමින් කියන්නට තිබිණි. නීතිවිරෝධී යමක් සිදුවන්නේ නම්, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට යන්නේ නම් ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමේ හැකියාව තිබිණි. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට පැමිණිලි කිරීමට තිබිණි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නට තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දමන්නට තිබිණි. මේ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියේ ඇයි? නීතිවිරෝධී ව වැඩ තහනමකට ලක්කරනවා නම්, රාජ්‍ය සේවා කොමිසමේ අදාළ නියෝගවලට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට ද අභියාචනා කිරීමේ හැකියාව තිබේ.

ලෝකයේ නැති දේ

‘දළදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැතිවුණා. ජයසිරි මහ හාමුදුරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප්‍රහාරවලින් ජීවිත නැතිවෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරි කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ. අසාධාරණයක් කරලා නැහැ. මේක කියන්න කෙනෙක් නෑ.’

ලංකාවේ උදාහරණය

බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවල අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ අවස්ථා තිබේ. හොඳම උදාහරණය අකුරැස්ස, ගොඩපිටිය පල්ලියේ ආගමික උත්සවය අවස්ථාවේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. එදා පොලිසියෙන් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබුණද, එම උත්සවයට පැමිණි එවකට අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, මහින්ද විජේසේකර, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු ඇතුළු දේශපාලනඥයන් පිරිස ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එවකට අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා ය.

ස්ථානාධිපතිගේ දැනුම

පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබුණා සේ මෙම ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබුණේ ද නැත. එසේ තිබියදී ඉහළ නිලධාරීහු විසින් පොලිස් ස්ථානාධිපති තිස්ස සේනානායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්හ. ඔහුගේ වැඩ තහනම් කෙරිණි. උසස්වීම් අහිමි කෙරිණි. අවසානයේ විනය නියෝගය ලබාදෙමින් ඔහු සේවයෙන් පහකළේය. තිස්ස සේනානායක පොලිස් නිලධාරියා මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක හඬා වැටීමට ගියේ නැත. ඔහු විනය නියෝගයට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට අභියාචනා කළේය. මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළේය. අවසානයේ ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බව අභියාචන ක්‍රියාවලියේ දී තහවුරු විය. ඔහුට රැකියාව ලැබිණි. අධිකරණ සහ අභියාචනා ක්‍රියාවලි මගින් අහිමිව තිබූ උසස්වීම් ද ලබාගත්තේය.
ස්ථානාධිපතිවරුන් එලෙස කටයුතු කරද්දී මෙම නිලධාරීන් මහ නාහිමිවරුන් බැහැදැකීමට යෑමෙන් පෙන්නුම් කරන්නේ ස්ථානාධිපතිවරුන්ට තරම්වත් නීතිය පිළිබඳ දැනුමක් උසස් පොලිස් නිලධාරීන්ට නැතිකම ද?

සාධාරණ විනිශ්චයක් ?

‘මේ අසාධාරණ තීන්දුව වෙනස් කරලා අපිට විරුද්ධව නඩු පවරනවා නම්, නවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. සාධාරණ විනිශ්චයක් දෙන්න. අපිට මේ ගැන දැනුවත් බවක් තිබුණේ නැහැ. දැනගෙන හිටියා නම් කවමදාවත් වෙන්න දෙන්නේ නැහැ. අපේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා තිබුණේ මේක සම්බන්ධව තොරතුරු සොයන්න කියලා විතරයි. එහෙම කියලා දවසක්-දෙකක් වගේ කාලයකදී අනපේක්ෂිත ලෙස ප්‍රහාරය එල්ල වුණා. වසර 30ක් පැවැති යුද්ධය ඉවර කරලා, රට සාමාකාමී වෙලා තිබුණු අවස්ථාවක මේක එල්ල වුණේ. ඒක ඒ වෙලාවේ බලයට ඇවිත් හිටිය යහපාලන රජය කරපු වරද. ඒ චෝදනාව කාගෙ හරි පිටින් යවන්න ඕනෙ නිසා අහිංසක පොලිස් නිලධාරීන් 25 – 30ක කණ්ඩායමකගේ රස්සාව අහිමි කරලා සිරගත කරන්න සූදානම් කරනවා. අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා. ඒවා නවත්වන්න කියලයි කියන්නේ.’

නොමග යැවීමේ උත්සාහයක්

විමර්ශනයකින් පසු නඩු අහන්නේ මහ නාහිමිවරුන් ද, එසේත් නැත්නම් විමර්ශන කණ්ඩායම් ද, නීතිපති ද යන්න පිළිබඳව මෙම නිලධාරීන් දැනුවත් නොවීම බරපතළ තත්ත්වයකි. නඩු පැවරීම අසාධාරණ නම් ඒ පිළිබඳව පැවසිය යුත්තේ මහ නාහිමිවරුන්ට ද? නැතහොත් ඊට අදාළ පාර්ශ්වවලට ද? ‘යහපාලන රජය කරපු වරද’ යනුවෙන් කීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අදාළ පොලිස් නිලධාරීන් පැහැදිලි කර නැත. උසස් නිලධාරීන්ට දැනුම් දී, දින දෙක-තුනකින් ප්‍රහාරය එල්ල වූ බව කීම ද අසත්‍යකි. ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන්ට ලබාදී තිබුණේ සති කිහිපයකට පෙරදී බව කොමිෂන් සභා සාක්ෂි විමසීමේදී කියැවිණි. මීට පෙර ද සඳහන් කළ පරිදි විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඉල්ලීම් කළ යුත්තේ විනය බලධාරීන්ගෙන් මිස මහ නාහිමිවරුන්ගෙන් නොවේ.

කියන විදිහට වැඩේ වුණා ද?

‘පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත්, නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධි අංශයත් භාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතැන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි, ඒ දවස්වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයිඑස්අයිඑස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයාබැලීමක් සිදුවුණේ නැහැ.’
‘සම්පූර්ණ සාමකාමී වාතාවරණයක් රටේ පැවතුණා. ඒ වාතාවරණය තුළ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථානවලත් සිදුවුණා. ඇමරිකාවට පවා ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරි කිරීම පදනම් කරගනිමින් තමයි, පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ.’

සමස්තය ගාවන්නේ ඇයි?

‘තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ විශාල පිරිසකට මේ කොමිසම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහාය දුන් නිලධාරියෙකු විනා, ඒ ප්‍රදේශයේ රාජකාරි කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.’

කරුණු සැඟවූවාද?

මෙම උසස් පොලිස් නිලධාරීන් දිගින්-දිගටම චෝදනා කරන්නේ පැවති යහපාලන ආණ්ඩුව ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය නියෝග ලබානොදුන් බවයි. යහපාලන ආණ්ඩුව ප්‍රහාරය ගැන දැනුවත් වී සිටියේද යන්න මේ වනතෙක් හෙළිවී නැති තත්ත්වයක් තුළ, උසස් පොලිස් නිලධාරීන් මෙසේ ප්‍රකාශ කිරීමෙන් හඟවන්නේ කුමක්ද? එවකට ආණ්ඩුව මේ ගැන දැනගෙන සිටියා නම්, ඒ බව අදාළ කොමිෂන් සභාවේදී නොකීවේ ඇයි? අදාළ විමර්ශන කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළේ ද? එලෙස දැනගෙන සිට, ආණ්ඩුව බේරාගැනීමට ඒ බව නොකීවේ ද? මේවා බරපතළ ගැටලු ය.

නොකියා කියන කතාව

මුස්ලිම් ප්‍රජාව සමඟ හොඳින් සිටි නිසා අයිඑස්අයිඑස් සංවිධානය ගැන සොයා නොබැලූ බව මෙම උසස් පොලිස් නිලධාරීහු කියති. එම සංවිධානය මේ ප්‍රහාරය එල්ල කළ බවට කිසිම තැනකදී අනාවරණය නොවී තිබියදී, මේ නිලධාරීන් මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කුමන අරමුණකින් ද? ඒ සංවිධානයට ප්‍රහාරයේ වගකීම බාරගන්නා ලෙස මාතලේ සහරාන් නම් පුද්ගලයෙකු හරහා පැවසීමට බුද්ධි අංශ නිලධාරියෙකු උත්සාහ කළ බවක් පාස්කු කොමිෂන් සභාවේදී කියැවිණි. මේ රංගනයත් එහි කොටසක් ද? මේ බව දන්නේ ඔවුන් ම පමණි. තමන්ට ලැබුණු බුද්ධි වාර්තාව ගැන සොයා බලා කළ විමර්ශනය ගැන හෝ අත්අඩංගුවට ගත් පිරිස් ගැන නොකියා මෙවැනි දෑ ප්‍රකාශ කරන්නේ ඇයි? රාජකාරි කිරීම නිසා තමන්ට හානියක් වන බව පුන-පුනා කීමට උත්සාහ කළ ද, චෝදනාව තිබෙන්නේ ප්‍රහාරයට පෙර වගකීම් පැහැර හැරීම ගැන බවට මෙම නිලධාරීන් ප්‍රකාශ කරන්නේ නැත.

ජනතාව යළිත් පුරුදු තැන තැබීම !

මහනුවර ගොස් මහ නාහිමිවරුන් බැහැදැක, උසස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අමූලික බොරු නොවේ ද? මේ කරන්නේ තවත් වටයකින් ජනතාව නොමග යැවීමක් නොවේ ද?
Previous articleමඟහැරුණු 4808ක් එකතුකරයි ; දෛනික ආසාදිත සංඛ්‍යාව 4000ත් පැනලා ; ආසාදිත ගණන ගැන තවදුරටත් පරස්පරතා
Next articleපොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ – පොලිසිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here