FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම ද ?

(නිලූක සඳුන් පද්මසිරි)
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සනාථ කර ඇතැයි ද, ඔහු ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව රඟපා ඇති බවට ඇමෙරිකාවේ විමර්ශන අනුව පැහැදිලි වන බව ද මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය 19 දා ඔහු පාර්ලිමේන්තුවේදී නවුෆර් මවුලවිවරයා සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.
‘මෙහිදී මොහොමඩ් නවුෆර් මවුලවි ගැනත් යමක් කිව යුතුයි. මෙරට පොලිස් පරීක්ෂණ අනුවත්, ඇමෙරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව නවුෆර් මවුලවි විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා.
01. ඔහු තමයි IS මතවාදය ලංකාවට ගෙනැවිත් 2016දී සහරාන්ව ඒ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා.
02. ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ  පොත්පත්වලින් සහ ලැප්ටොප්වලින් එය සනාථ වෙනවා. එහි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුර අධීක්ෂණය කළේ නවුෆර් මවුලවි.
03. නවුෆර් තමන්ගේ බිරිඳගේ නංගිව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මද්‍රසා පාසලේ, සලා මද්‍රසා පාසලේ ඉගෙන ගත්තේ. නවුෆර් සහරාන්ගේ ජ්‍යෙෂ්ඨයා හැටියට කටයුතු කළා. දරූල් අදාල් සංවිධානයේ නවුෆර් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකෙ සහරානුත් හිටියා.
නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකෙනුත් සනාථ කොට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන් ද සම්බන්ධයි.’

නවුෆර් මවුලවි කවුද – FBI කියන කතාව

නමුත් අයිඑස්අයිඑස් වෙත භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නවුෆර් මවුලවි, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහම්ඩ් මිල්හාන් හයාතු මොහොමඩ්ට එරෙහිව ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයේ චෝදනා ගොනුකරමින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙසේ ය.
‘මොහොමඩ් නවුෆර්, ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ (ISIS in Sri Lanka) යනුවෙන් හඳුන්වාගත් අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමේ ‘දෙවන එමීර්වරයා’ වේ. කණ්ඩායමේ ප්‍රචාරක වෑයම් සඳහා නායකත්වය දීම, අයිඑස්අයිඑස් සමගින් සම්බන්ධවීමට තවත් අය බඳවාගැනිම සහ මිලිටරි වර්ගයේ බහුදින පුහුණුවීම් මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ඇත.’ (Mohamed Naufar, the “second emir” for the group of ISIS supporters that called itself “ISIS in Sri Lanka,” who allegedly led the group’s propaganda efforts, recruited others to join ISIS, and led a series of multi-day military-type trainings.)

ජනවාරි 08 – එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තු නිවේදනය මෙන්න

එම නඩු පැවරීම සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි අටවැනිදා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනයේ සිංහල පරිවර්තනය පහතින්..
‘අයිඑස්අයිඑස් වෙත භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විදේශිකයන් තිදෙනකුට එරෙහිව ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයේ චෝදනා ගොනු කෙරේ.
මෙම තැනැත්තන්, 268 දෙනකුට මරු කැඳවමින් 2019 පාස්කු දින ශ්‍රී ලංකාවේ දී ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකළ අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමක සාමාජිකයන් බව කියැවේ.
ලොස් ඇන්ජලීස් හිදී විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කරන ලද සංවිධානයකට (අයිඑස්අයිඑස්) භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදය සම්බන්ධ වරදවල් සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනකුට එරෙහිව නිල වශයෙන් චෝදනා එල්ල කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව අද දින නිවේදනය කළේය. අද දින මුද්‍රා විවෘත කරන ලද ෆෙඩරල් අපරාධ පැමිණිල්ලකට අනුව, මෙම තැනැත්තන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ යනුවෙන් හඳුන්වාගනු ලැබු අයිඑස්අයිඑස් ආධාරක කණ්ඩායමක කොටසක් වන අතර, එක්සත් ජනපද පුරවැසියන් පස්දෙනෙකු ඇතුළුව 268 දෙනකුට මරු කැඳවමින්, තවත් 500 ඉක්මවන පිරිසකට තුවාල කරමින් 2019 පාස්කු දිනයේදී දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර සඳහා එම කණ්ඩායම වගකිව යුතු බවට චෝදනා කෙරේ.

විත්තිකරුවන්ගේ භූමිකාව

2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගරවල ආසන්න එකම වේලාවක සිදුකරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දක්වා මගපාදන ලද සිදුවීම් සහ එම කුමන්ත්‍රණය සඳහා මෙම විත්තිකරුවන් නිරූපණය කළ භූමිකා පැමිණිල්ලේ සැකෙවින් දක්වා තිබේ. මියගිය එක්සත් ජනපද පුරවැසියන් අතරින් එක් අයෙක් රාජකාරි කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටි වාණිජ දෙපාර්තමේන්තු සේවකයෙකු වේ.
ප්‍රහාරයෙන් දින දෙකකට පසුව එම මරාදැමීම් ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්’ විසින් සිදුකරන ලදැයි දක්වමින් එම ත්‍රස්තවාදී ක්‍රියාවන් තමන් විසින් සිදුකරන ලදැයි අයිඑස්අයිඑස් විසින් ප්‍රකාශ කරන ලදි.
2019 අප්‍රේල් අග භාගයේදී, සිරියාවේ බැගුස්හි ඊට පෙර මාසයේ දී අයිඑස්අයිඑස් පරාජය කිරීම වෙනුවෙන්  ‘බටහිරට’ එරෙහිව කළ පළිගැනීමක් වශයෙන් එකල අයිඑස්අයිඑස් නායකයා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් වර්ණනා කළේය.
අයිඑස් සංවිධානය, 2019 අප්‍රෙල් 21 ශ්‍රී ලංකාවේ සිදුකළ පාස්කු ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 268 දෙනෙකු මිය ගියා. බොහෝ දෙනෙක් මිය ගියේ ඔවුන් වන්දනාමාන කරමින් සිටියදීයි’ යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී. ඩෙමර්ස් පැවසීය.
‘ලෝකයේ කුමන හෝ ස්ථානයක දී ඇමෙරිකා පුරවැසියන් ඉලක්ක කරන ත්‍රස්තවාදීන් යුක්තිය ඉදිරියට පමුණුවන බව සහතික කරගැනීමට එක්සත් ජනපදය ඒකාන්ත ක්‍රියාමාර්ග ගන්නා බව මෙයින් පැහැදිලිවම පෙන්නුම් කරනවා’ යනුවෙන් එක්සත් ජනපද ඇටෝර්නි නික් හැනා පැවසීය.
‘වරදකරුවන් යුක්තිය ඉදිරියට පැමිණවීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය විශ්වාසයෙන් සිටිනවා. විත්තිකරුවන් යුක්තිය මගහැර යන්නට වෑයම් දැරුවහොත් අප මෙම චෝදනා සමගින් ඊට සූදානම්ව සිටින බව මෙම පැමිණිල්ලෙන් පැහැදිලිව පෙන්නුම් කරනවා.’

ලංකාවට උපරිම සහාය

ශ්‍රී ලංකාවේ සිදුවූ අයිඑස්අයිඑස් පාස්කු ප්‍රහාරවලින් ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනෙකු ඇතුළුව 268 දෙනෙකු මරාදමනු ලැබුවා. ඉන් බොහෝදෙනා වන්දනාමාන කරමින් සිටින අතරේයි මෙය සිදුවුණේ.’ යනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී. ඩිමර්ස් සඳහන් කළේය.
‘එම මරණවල වගකීමෙහි ඔවුන් දැරූ කොටස වෙනුවෙන් අද අපි මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ල කරනවා. එම චෝදනාවලට අනුව මෙම විත්තිකරුවන් අයිඑස්අයිඑස් වෙනුවෙන් කැපවූ ආධාරකරුවන්. අයිඑස්අයිඑස් හි ප්‍රචණ්ඩ අභිප්‍රායන් සඳහා අනෙකුත් අය බඳවාගෙන තිබෙනවා. IED සඳහා අමුද්‍රව්‍ය මිලට ගෙන ඒවා සාදා තිබෙනවා. ප්‍රහාරවලට සහභාගි වූ අනෙකුත් අය සූදානම් කිරීමටත් පුහුණු කිරීමටත් උදව් කර තිබෙනවා. මෙම භයානක විදේශ ත්‍රස්ත සංවිධානයේ නාමයෙන් මිනීමැරුම් සිදුකර තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවනවා. මේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙ⁣රෙන විමර්ශනය, නඩු පැවරීම සඳහා අප සම්පූර්ණයෙන් ම සහාය ලබාදෙන අතර, මෙම විත්තිකරුවන් ඔවුන්ගේ අපරාධ සඳහා වග වන බව සහතික කරගැනීමේ අපගේ පොදු පරමාර්ථය හඹායෑම සඳහා අපි එරට බලධාරීන් සමගින් තවදුරටත් වැඩ කරනවා. ඒ සමග විදේශ රටවල දී අපගේ පුරවැසියන්ට හානිකරන තැනැත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජනපද අධිකරණ පද්ධතිය තවදුරටත් බලවත් මෙවලමක් වන බව මෙම චෝදනාවලින් පිළිඹිබු කෙරෙනවා. මෙම සාහසික ප්‍රහාරවල වින්දිතයන් වෙනුවෙන් සහ ත්‍රස්තවාදයේ වින්දිතයන් වූ සියලුම ඇමෙරිකානු ජාතිකයන් වෙනුවෙන් අපි නොනැවතී යුක්තිය සොයා යනවා.’

වසර දෙකක විමර්ශනයක්

ලොස් ඇන්ජලිස් නුවර එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේ දෙසැම්බර් 11 වැනි දින ගොනුකරන ලද අපරාධ නඩුකරය, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර රටවල පුරවැසියන් නිතර යන-එන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගනිමින් සිදුකළ මරාගෙන-මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහයෝගය ලබාදුන් FBI ආයතනය විසින් දෙවසරකට ආසන්න කාලයක් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයයි.
‘විදේශ රටක සිදු වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් දේශීයව අද නිවේදනය කළ මෙම චෝදනා, සංචාරය කරන ඇමෙරිකානු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ලබාදීමටත් මෙරට සහ විදේශයන් හි ඇමෙරිකානු ලැදියාවන් ආරක්ෂා කිරීමටත් FBI දක්වන කැපවීම නියෝජනය කරනවා’ යනුවෙන් ලොස් ඇන්ජලීස් නුවර FBI ක්ෂේත්‍ර කාර්යාල භාර සහකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි කේ. ජොන්සන් පැවසුවාය.
‘දශක ගණනාවක සිට, විශේෂයෙන්ම 9/11 ප්‍රහාරය සිදු වූ පසුව, ගෝලීය වශයෙන් ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැදීම සදහා වන පොදු අරමුණ වෙනුවෙන්, විමර්ශනමය අවසානයක් ඇතිකර ගැනීමටත්, ඒ ඒ රටවල අදාළ පාර්ශ්ව සමගින් සම්බන්ධීකරණය කිරීමටත් FBI ආයතනය ලෝකයේ විවිධ රටවලට නියෝජිතයන් යොදවා තිබෙනවා. අප දිගින් දිගටම බලාපොරොත්තු වන්නේ දේශීයව හෝ විදේශීයව සිදුකෙරෙන සාපරාධී නඩු පැවරීම් ඔස්සේ මේ භයංකර ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී  මියගිය හෝ තුවාල ලැබූ සිය ගණනක් වින්දිතයන් වෙනුවෙන් යම් හෝ අන්දමක සාමයක් ලැබෙනු ඇතැයි යන්නයි.’

විත්තිකරුවන් ලංකා අත්අඩංගුවේ

මෙම ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන අනෙකුත් පුද්ගලයන් ද සමගින්, මෙම පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් දැනට ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයේ සිටින අතර, මේ සම්බන්ධයෙන් එහි දැනට අපරාධ විමර්ශනයක් සිදුකෙරෙමින් පවතී.
පැමිණිල්ල⁣ට අනුව චූදිත විත්තිකරුවන් තිදෙනා සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී මිය ගිය ත්‍රස්තවාදීන් අට දෙනා ඇතුළුව මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ අනෙකුත් අය (1) අයිඑස්අයිඑස් කෙරෙහි, එහි දෘෂ්ටිවාදය කෙරෙහි අයිඑස්අයිඑස් අරමුණු ඉදිරියට ගෙනයෑමට ප්‍රචණ්ඩ ප්‍රහාර සැලසුම් කිරීම හා දිරිගැන්වීම කෙරෙහි කැපවුණු අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම, පවත්වාගෙන යෑම සහ එහි සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම; (2) පුපුරන ද්‍රව්‍ය සහ IED සංඝටක ලබාගැනීම; (3) අවසානයේදී ප්‍රහාරයට යොදාගත් වර්ගයේ IED ද ඇතුළුව IED නිපදවීම සහ පරීක්ෂණ සිදුකිරීම; (4) ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් කණ්ඩායම සඳහා තවත් සාමාජිකයන් බඳවාගැනීම; (5) ප්‍රහාරය සිදුකළ අයට සහ ඒ අයගේ සම-කුමන්ත්‍රණකරුවන්ට ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය පරිහරණය සම්බන්ධයෙන් උපදෙස් දීම හා පුහුණු කිරීම සඳහා අයිඑස්අයිඑස් විසින් නිර්මිත පුහුණු ද්‍රව්‍ය යොදාගැනීම; (6) නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් අනාවරණය වීම මගහැරයමින් පාස්කු ප්‍රහාර ඇතුළුව අයිඑස්අයිඑස් නාමයෙන් ප්‍රහාර සඳහා සූදානම් වීමට කණ්ඩායමට රැකවරණ ස්ථාන සම්පාදනය කිරීම; (7) සාපරාධී කුමන්ත්‍රණ සඟවා තබාගැනීම පිණිස end to end encrypted තාක්ෂණය සහිත විශේෂිත පණිවිඩ යෙදුම් (messaging applications) භාවිතය සඳහා අයිඑස්අයිඑස් විසින් ලබාදී ඇති විධාන පිළිපැදීම; (8) එම නිලධාරීන්ගේ ගිනිඅවි ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීම; සහ පොලිස් ඔත්තුකරුවෙකු වශයෙන් සැකකළ තැනැත්තෙකු මරා දැමීම ඇතුළු විවිධ ක්‍රියා ඔස්සේ අයිඑස්අයිඑස් වෙත සේවාවන් සහ පුද්ගලයන් ඇතුළුව භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම, ඒවා ලබාදීම සහ ලබාදීමට වෑයම් කිරීම සිදු කර තිබේ.
සාපරාධී පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් තිදෙනා පහත දැක්වේ. මේ සියලුදෙනා අයිඑස්අයිඑස් කෙරෙහි පක්ෂපාතී වීමට ප්‍රතිඥා දුන් අය වේ.

නවුෆර් – අන්වර් – මිල්හාන්

මොහොමඩ් නවුෆර්, ශ්‍රී “ලංකාවේ අයිඑස්අයිඑස්” (ISIS in Sri Lanka) යනුවෙන් හඳුන්වාගත් අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමේ “දෙවන එමීර්වරයා” වේ. කණ්ඩායමේ ප්‍රචාරක වෑයම් සඳහා නායකත්වය දීම, අයිඑස්අයිඑස් සමගින් සම්බන්ධවීමට තවත් අය බඳවාගැනිම සහ මිලිටරි වර්ගයේ බහුදින පුහුණුවීම් මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ඇත.
මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් පාස්කු ප්‍රහාරවලට යොදාගත් IED නිෂ්පාදනය සඳහා සහාය දුන් බවට චෝදනා ඇත.
අහම්ඩ් මිල්හාන් හයාතු මොහොමඩ්, පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ලබාගැනීම සඳහා එම පොලිස් නිලධාරියා මරාදැමීම, පොලිස් ඔත්තුකරුවෙකු බවට සැකකළ තැනැත්තෙකුට වෙඩි තැබීම සහ වෙනත් ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා සුදුසු ස්ථානයක් සම්බන්ධයෙන් සොයාබැලීම සිදුකළ බවට චෝදනා ඇත. විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කරන ලද සංවිධානයකට භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම, ලබාදීම සහ ලබාදීමට වෑයම් කිරීම සම්බන්ධයෙන් මේ විත්තිකරුවන් තිදෙනාටම චෝදනා ගොනු කර තිබේ. තවද අයිඑස්අයිඑස් වෙතින් මිලිටරි වර්ගයේ පුහුණු ලැබීමට ආධාර දීම සහ අනුබලදීම සම්බන්ධයෙන් නවුෆර් හා මිල්හාන් වෙත චෝදනා එල්ල කර තිබේ.
භූමි ප්‍රදේශයෙන් බැහැර කරුණු සඳහා වගකීම පවරා ඇති කාර්ය මණ්ඩලය ඇතුළුව ලොස් ඇන්ජලීස් නුවර පිහි⁣ටා ඇති FBI නායකත්වයෙන් යුත් ඒකාබද්ධ ත්‍රස්තවාද කාර්යසාධක බලකාය(Joint Terrorism Task Force) මෙම විමර්ශනය සඳහා නායකත්වය ගනියි. සහකාර එක්සත් ජනපද ඇටෝර්නිවරුන් වන ඇනාමාර්ටින් සැලික්, ජෝර්ජ් ඊ. පෙන්ස් IV සහ ත්‍රස්තවාදය සහ අපනයන අපරාධ අංශයේ ක්‍රිස්ටින් රෝ සහ ජාතික ආරක්ෂක කොට්ඨාස⁣යේ ප්‍රතිත්‍රස්ත අංශයේ නඩු විභාග ඇටෝර්නි ඇලීෂියා කුක් විසින් මෙම නඩු කටයුත්ත ගෙනයනු ලැබේ. අපරාධ කොට්ඨාසයේ ජාත්‍යන්තර කටයුතු කාර්යාලය සහ ලොස් ඇන්ජලීස් හි County Sheriff’s Department මෙහිදී අගනා සහයෝගයක් ලබාදී ඇත.’

ඇමැති සරත් වීරසේකරගේ සම්පූර්ණ කතාව

නීතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර ඇමතිවරයා මෙසේද කීය.
‘පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණේ පොලීසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උධෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත්, ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්.
එසේම නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් කියා තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය යනාදිය ලබාදීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බවයි.
එසේම ඔහු කියා සිටියා, ශ්‍රී ලංකා රජය විසින් මහ මොළකරු යැයි පවසන නවුෆර් මවුලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් සහ කණ්ඩායම් නායකයා වුවත්, මහ මොළකරු ඔහු බව නිශ්චිතව කිව නොහැකි බව.තවද මේ දක්වා විදේශීය පුද්ගලයන් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති බවත්, නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ඔවුන් හඳුනානොගත් පුද්ගලයන් ලෙස දැනට සලකන බවත්, ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයන් හෙළිනොවනු ඇති බවත්.

වගකීම සහ වගවීම

මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂය මාගෙන් කරුණු විමසා සිටි අතර, අති උතුම් කාදිනල්තුමා ද ලිපියක් මගින් මාගෙන් කරුණු විමසා සිටියා. කතෝලික ප්‍රජාව නියෝජනය කරන උන්වහන්සේගේ අසහනය අපට අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රහාරයෙන් පසු සාමය ආරක්ෂා කරගන්න උන්වහන්සේ දැක්වූ දායකත්වය අපි අදත් ඉතා අගය කරමින් මතක් කරනවා. ඒ නිසා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට මා තීරණය කළා. එයට අවසර දීම ගැන ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ ස්තුතිය පිරිනමනවා.
මා පළමුවෙන්ම කිව යුත්තේ වර්තමාන රජය තමයි එදා තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය නිම කළේ. ඊට වසර 12ක් සපිරෙන අද දින මා කියා සිටින්නේ එහෙව් රජයක් කවදාවත් නැවත ත්‍රස්තවාදයට, අන්තවාදයට හිස ඔසවන්න දෙන්නෙ නැහැ. ඒ වගේම අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියා කළ අයව කෙසේ හෝ නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් කිරීමට උපරිම උත්සාහය දරනවා.

ඒකාබද්ධ විමර්ශනයක්

2019 ලෝකයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ ලංකාවට. ඒ  පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරය. අද වනතුරුත් ඊට වඩා දරුණු ප්‍රහාරයක් ලෝකයේ වෙලා නැහැ. මේ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන් ද මිය ගියා. ඒ නිසා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව FBI සහ Australian Federal Police යනාදී ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් සමග එක්වී මෙම විමර්ශන කටයුතු කරනවා.ජාත්‍යන්තර විමර්ශන කටයුතුවලට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගතවෙනවා. 2001 සැප්තැම්බර් ඇමෙරිකාවේ දරුණු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස කියන කලීඩ් ෂෙයික් මොහොමඩ් තවමත් අත්අඩංගුවේ. තවම ඔහුට නඩු පවරා නැහැ.ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය රජිව් ගාන්ධි අගමැතිතුමාගේ ඝාතකයන්ට නඩු පවරන්නත් වසර ගණනාවක් ගියා. ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයාගේ ඝාතනයේ සැකකරුවන්ට නඩු පවරන්න වසර 3ක් ගියා.
දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පවරන්න වසර 7ක් ගියා.
සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රස්ත ප්‍රහාරවල නඩු පැවරීමට එසේ බොහෝ කලක් ගතවන්නේ ඉතා සූක්ෂ්ම අයුරින් විමර්ශන කටයුතු කළ යුතු නිසා. නීතියේ හිඩැස්වලින් රිංගා යන්න දෙන්න බැහැ. කිසිම අඩුපාඩුවකින් තොරව සාක්ෂි / කරුණු සම්පිණ්ඩනය කළ යුතු නිසා.
ප්‍රථමයෙන් මම කියන්න කැමතියි, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද වනවිට චූදිතයන් 32කට දැනටමත් නඩු පවරා අවසන්. මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියේ සැකකරුවන් 16 දෙනෙකුට විරුද්ධව කෑගල්ල මහාධිකරණයේ නඩු පවරා තියෙනවා.
වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ තිබී පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
මාවනැල්ල මොහොමඩ් තස්ලීන් යන අයගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම  සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකුට විරුද්ධව කෑගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. අරුප්පොල අවි පුහුණුව ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරු මොහිදීන් ඉක්සාන් අහමඩ් යන අයට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු ඉමාත් ඉද්දිසාම් පාකීර් යන අයට  ගම්පහ මහාධිකරණයේ දැනටමත් නඩු පවරා තිබෙනවා.
ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු මොහොමඩ් නව්ෆර්, මොහොමඩ් යුස්රි යන අයට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.ඒ වගේම තමයි ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ තවත් සැකකරුවෙකුට පුත්තලම මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
ඒ වගේම සාපරාධී නොසැලකිල්ල හා නොකර හැරීම තුළින් ආධාර අනුබල දීම වෙනුවෙන් හිටපු පොලිස්පතිට, හිටපු ආරක්ෂක ලේකම්ට කොළඹ මහාධිකරණයේදී නඩු පවරා තිබෙනවා.

ජනපති කොමිෂන් වාර්තාව එනතුරු

පොලීසිය විසින් ගිය වසරේ නොවැම්බර් මස පාස්කු ප්‍රහාර සිද්ධි 8ක් සම්බන්ධයෙන් උධෘත ගොනු 8ක් නීතිපතිවරයාට ලබාදුන්නා. ඉන්පසු මා කිහිප වතාවක් පුද්ගලිකව නීතිපතිතුමා හමුවුණා. ඔහු ඉතා උද්යෝගිමත්ව, විශාල කැපවීමකින් යුතුව මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන බව මට වැටහී ගියා. ඔහු කියා සිටියා, ජනාධිපති කොමිෂන් වාර්තාවත් එනතුරු සිටිය යුතුයි කියලා. මන්ද, පොලීසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි / කරුණු සහ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සාක්ෂි / කරුණු අතර පරස්පරයක් තිබේදැයි සොයා බැලිය යුතු නිසා.
ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපතිවරයාට මේ වසරේ පෙබරවාරි මස ලබාදුන්නා. ඉන්පසු ගරු කතානායකතුමනි, 2021 මාර්තු මස 12 දින සිට අප්‍රේල් 24 දින දක්වා පොලිස් විමර්ශන නිලධාරීන් 54 දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්ඩායමක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනාරාල්වරියකගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ෂි / කරුණු ගැඹුරින් අධ්‍යයනය කළා. මෙය සම්පූර්ණයෙක් අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා. එසේ අධ්‍යයනය කරන අතරතුර යම්-යම් අඩුපාඩු මතුවෙනවා. සමහර සාක්ෂිකරුවන්ගේ අමතර සාක්ෂි අවශ්‍ය වෙනවා. දුරකතන අංක පිළිබඳ විස්තර අවශ්‍ය වෙනවා, අමතර රස පරීක්ෂක වාර්තා යනාදිය අවශ්‍ය වෙනවා. මෙන්න මේ අඩුපාඩු සහිත සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අප්‍රේල් මස 24 දින පොලිසියට භාරදුන්නා ඒවා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න.

අඩුපාඩු සැකසීමේ ක්‍රියාවලිය

අප්‍රේල් 24 දා දුන් වාර්තාව නැවත වරක් මතක් කිරීමක් වශයෙන් නීතිපතිතුමා පොලිස්පතිවරයාට බාර දී ඇත්තේ මැයි මස 12 දා. ඒ වනවිටත් පොලීසිය ඒ අඩුපාඩු බොහෝ කොටසක් සම්පූර්ණ කොට නීතිපති දෙපාර්තමේන්තුවට යවා අවසන්. ඉතිරි අඩුපාඩු ඉදිරි කාලය තුළදී යැවීමට බලපොරොත්තු වෙනවා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය හුවාදක්වන සැකකරුවන් 5 දෙනා අතුරින් සැකකරුවන් 4 දෙනෙක් සම්බන්ධයෙන් 2021 මැයි මස 17  දින නීතිපති හමුවේ උධෘත ගොනු දැනටමත් ඉදිරිපත් කර අවසන්.
එනම්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වකාර් යුනිස්, ෂාවුල් හමීඩ්, මොහොමඩ් ෆසාන් යන අයගේ උධෘත ගොනු දැනටමත් යවා අවසන්.මාර්තු මස 21 දින අත්අඩංගුවට ගත් මොහොමඩ් ආසිම් සම්බන්ධ විමර්ශන දැනට කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි, 704 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එයින් රක්ෂිත බන්ධනාගාරයේ 203ක් ද, රැඳවුම් නියෝග මත 84ක් ද සිටිනවා.
ඇප මත 244ක් සිටින අතර, 168ක් නිදහස් කොට තිබෙනවා. 32කට අධි චෝදනා ගොනු කොට තිබෙනවා.මෙම විමර්ශන ක්‍රියාදාමය නොකඩවා සිදුවන දෙයක්. පොලිසිය සැමවිටම නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වයි මේ ක්‍රියාව සිදුකරන්නේ. එහිදී යම්-යම් අඩුපාඩු දුටු විට වහා එය පියවන්න කටයුතු කරනවා. දැනට තියෙන තත්ත්වයට අනුව අප්‍රේල් 24 වනදා පොලීසියෙන් අසා ඇති ඉතිරි කරුණු ටික සම්පූර්ණ වූ වහාම නීතිපතිතුමාට මොවුන් සියලුදෙනාටම එරෙහිව අධි චෝදනා ගොනුකරන්න පුළුවන්.
මේ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිතුමා විසින් දෙන ලද වෘත්තීයමය සහාය, සිදුකරන ලද කැපවීම අපි ඉතාම අගය කරනවා.

‘නවුෆර් තමයි මහ මොළකරු’

මෙහිදී මොහොමඩ් නවුෆර් මවුලවි ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂණ අනුවත්, ඇමෙරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව නවුෆර් මවුලවි විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා.
01. ඔහු තමයි IS මතවාදය ලංකාවට ගෙනැවිත් 2016දී සහරාන්ව ඒ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා.
02. ඔහු තමයි  IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ පොත්පත්වලින් සහ ලැප්ටොප්වලින් එය සනාථ වෙනවා. එහි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුර අධීක්ෂණය කළේ නවුෆර් මවුලවි.
03.නවුෆර් තමන්ගේ බිරිඳගේ නංගිව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මද්‍රසා පාසලේ, සලා මද්‍රසා පාසලේ ඉගෙන ගත්තේ. නවුෆර් සහරාන්ගේ ජ්‍යෙෂ්ඨයා හැටියට කටයුතු කළා. දරූල් අදාල් සංවිධානයේ නවුෆර් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකෙ සහරානුත් හිටියා.
නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකෙනුත් සනාථ කොට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන්ද සම්බන්ධයි.
ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන ඕස්ට්‍රේලියානු ජාතික ලුක්මාන් තාලික් කටාර්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට විදේශීය බුද්ධි සේවා ඔහුගේ දායකත්වය ගැන කරුණු සොයාගෙන තිබෙනවා. අපේ බුද්ධි සේවයත් ලුක්මාන්ගේ අල්කයිඩා සහ IS මතවාදීන් සමග සම්බන්ධකම් සොයාගෙන තිබෙනවා. ඔහුට පුතුන් දෙදෙනෙකු සිටිනවා. එයින් එක් පුතෙක් දැනටමත් ඕස්ට්‍රේලියාවේ නිවාස අඩස්සියේ තමයි සිටින්නේ.මාලදිවයින් ජාතික සැකකරුවන් 4 දෙනෙක් අප සොයාගෙන තිබෙනවා. ඔවුන් තමයි ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක සාදික් අබ්දුල්ලාට මුදල් ලබාදුන්නේ සහ ආයුධ හදන්න ලේත් මැෂිමක් ලබාදුන්නේ.ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කෙරීගෙන යනවා.

‘කිසිම සැකයක් තියාගන්න එපා’

එසේ නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැහැ. දැනටමත් නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරනවා.
වර්තමාන රජය පත් වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කළා. ඔහු ඉතා කාර්යක්ෂමව එම කටයුතු සිදු කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා  සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඔහුට මනා සහායක් ලබාදෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් රැසක් පොලීසිය සමග දිවා-රාත්‍රී ඉතා මහන්සියෙන් වැඩ කරනවා.
ඔවුන් සියලුදෙනාටම මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මගේ ප්‍රණාමය සහ ගෞරවය හිමිවෙනවා.’
Previous articleළඟම පාසල හොඳම පාසල : පාසල් 700ක වැඩ නවතී : මිලියන 64,950කට මොකද වුණේ? – ගුරු සංගමය ප්‍රශ්න කරයි
Next article‍එන්නත්කරණය අවුල් ජාලයක් – දිගුකාලීන ප්‍රතිවිපාක ගැන ප්‍රජා වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here