‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ දෙස බලන්නේ කවදාද ?

(තරිඳු ජයවර්ධන)
‘පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන විට එය රටේම ප්‍රශ්නයක් සේ සලකා ඊට ප්‍රමුඛත්වය දී අප වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීමට ඔබ තවමත් ඉදිරිපත් වී නෑ.’
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් මෙසේ ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් පසුගිය 21දා පැවැති විශේෂ දේවමෙහෙයකදී ය. ‘ඔබ’ යනුවෙන් කාදිනල් හිමියන් කියන්නේ මුස්ලිම් ප්‍රජාව ගැනයි. තවමත් මුස්ලිම් ප්‍රජාව පාස්කු ප්‍රහාරයට එරෙහිව ප්‍රබල හඬක් නගා නැති බව කාදිනල් හිමියන් ප්‍රකාශ කරන්නට උත්සාහ කළ ද, මුස්ලිම් ප්‍රජාව සහරාන් ඇතුළු පිරිසකට එරෙහිව හඬනගන්නට පටන්ගත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කරන්නට වසර දෙක-තුනකට පෙර සිට ය.

මවුලවිවරුන්ගේ විරෝධය

කාත්තන්කුඩි අල්-අමීන් විදුහලේ පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ සහරාන් හෂීම් ඉස්ලාම් ආගම හැදෑරීම සඳහා කාත්තන්කුඩියේ ටාමි උල්-ෆලාර් මද්‍රසා පාසලට ගියේය. අනතුරුව ඔහුගේ මුල් ගුරුවරයෙකු වූ නවුෆර් මවුලවි විවාහ වී සිටි කුරුණෑගල ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සහරාන්, පසුව කාත්තන්කුඩියේ ඇති ඉස්ලාමීය මධ්‍යස්ථානයේ ඉගැන්වීම් කටයුතු කිරීමට ගුරුවරයෙකු ලෙස සම්බන්ධ විය. එම වකවානුවේ සහරාන්ගේ ආගමික අන්තවාදී ප්‍රකාශ නිසා එහි සිටි අනෙක් මවුලවිවරුන් සහරාන්ට විරෝධය පළ කර ඔහු එම ආයතනයෙන් ඉවත් කර තිබේ.

කාත්තන්කුඩි ජනතාව

සහරාන්, සහරාන්ගේ ගුරුවරයා වූ නවුෆර් මවුලවි සහ තවත් පිරිසක් එක්ව ‘දාරුල් අදර්’ නම් සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ ඉන්පසුව ය. 2012 දී පමණ සහරාන්, දාරුල් අදර් සංවිධානයෙන් ඉවත් වී ඇතැයි කියති. අනතුරුව සහරාන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවාගෙන ඇත.  සහරාන්ගේ සහෝදරයන් වූ මොහොමඩ් කාසි මොහොමඩ් සයිනි, මොහොමඩ් කාසි මොහොමඩ් රිල්වාන් සහ වයස අවුරුදු 15 – 25 අතර තරුණයන් පිරිසක් එම සංවිධානයේ මුලින්ම සාමාජිකත්වය ලබාගෙන තිබේ. එම සංවිධානය මගින් අන්තවාදී අදහස් ප්‍රචාරය කරන්නට පටන් ගැනීමෙන් පසු කාත්තන්කුඩි මුස්ලිම් වැසියෝ සහරාන්ට විරෝධය පළකළහ.  එහි කූඨප්‍රාප්තිය එළඹුණේ 2017 වසරේදී ය.

සහරාන්ට නැමුණු නීතිය

සුන්නතු වල්-ජමාත් සංවිධානයේ රාවුෆ් මවුලවි ඇතුළු පිරිසක් 2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්තන්කුඩි අලියාර් හන්දියේ වේදිකාවක් සකසා දේශනයක් සංවිධානය කර ඇත. ඊට එරෙහි වූ සහරාන් සහ ඔහුගේ සමීපතමයන් පිරිසක් ‘ජාතික තවුහිද් ජමාත් සංවිධානය’ යනුවෙන් සඳහන් කහ පැහැති කමිසවලින් සැරසී එම ස්ථානයට පැමිණ එය නවත්වන ලෙස දැනුම් දී ඇත. ඒ වන විට ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 60කට ආසන්න වූ බව කියැවේ. අනතුරුව සහරාන් ඇතුළු පිරිස කඩු  සහ පොලු රැගෙන’විත් එතැන සිටි පිරිසට පහර දී තිබේ.
(පහත ඡායාරූපයේ දැක්වෙන්නේ සහරාන්ලා එම රැස්වීමට පහරදීමට පැමිණි ආකාරයයි.)

මෙම පහරදීමෙන් දෙදෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම 10 දෙනෙකු පළමු දින දෙකේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. එහෙත් සහරාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. එම ගැටුමෙන් පසු සහරාන්ට එරෙහි මුස්ලිම් විරෝධය ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය.

සංවිධානාත්මක වැඩපිළිවෙළක්

මෙම සිද්ධියෙන් දින තුනකට පසු සහරාන් ඇතුළු කණ්ඩායමට විරෝධය පළකරමින් කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියෝ උද්ඝෝෂණයක් කළහ. ඔවුන්ගේ විරෝධතා පුවරුවල සහරාන්ගේ අන්තවාදය ගැන සඳහන් කර තිබිණි. එම උද්ඝෝෂණයට සහභාගිවූවෝ සහරාන්ගේ අන්තවාදී ක්‍රියා ගැන විවේචනය කළහ.  සහරාන්ගේ සංවිධානය තහනම් කරන ලෙස ද ඉල්ලා සිටියහ. ඒ සමග ම මුස්ලිම් වැසියන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා සහරාන්ට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළහ.

වරද – වරද ලෙස දැකීම

මේ ආකාරයට මුස්ලිම් වැසියන් සහරාන්ලාට එරෙහිව හඬ නැගුවේ පාස්කු ප්‍රහාරයට වසර දෙක-තුනකට පෙර සිට ය. යම් ආගමික කණ්ඩායමක් තම ආගමේ ම තවත් පිරිසකට එරෙහිව අන්තවාදීන්යැයි කියමින් ඔවුන්ට විරෝධය දැක්වීම යනු සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවේ. එය සාමාන්‍යයෙන් සිදු නොවන දෙයකි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික මුස්ලිම් වැසියෝ සහරාන්ලාට එරෙහිව හඬ නැගූහ.

සහරාන් ධනවත් වෙයි

සහරාන්ට එරෙහිව මුස්ලිම් වැසියෝ පොලිසිවලට පැමිණිලි කළහ. පොදුවේ ගත්කල කාත්තන්කුඩි සහ කල්මුණේ මුස්ලිම් ජනතාවගේ අදහස සහරාන්ට එරෙහි පැමිණිලිවලට සාධාරණ විමර්ශනයක් සිදු නොවූ බවයි. 2017 මාර්තු සිද්ධියෙන් පසු සහරාන් කාත්තන්කුඩිය මගහැර සිටි බව ඇතැම් පාර්ශ්ව පැවසුවද, ඔහු විටින් විට කාත්තන්කුඩියට පැමිණි බව කාත්තන්කුඩි වැසියෝ කිහිපදෙනෙක් කීහ. සහරාන් ධනවතෙකු වන්නට පටන්ගත්තේ මේ කාලය අතරතුර බව කාත්තන්කුඩි වැසියන්ගේ අදහසයි.

බුද්ධි අංශවල නිහඬ බව

සහරාන් හෂීම්ගේ ඡායාරූප පෙන්වමින් කාන්තන්කුඩි මුස්ලිම් වැසියන් මහ පාරේ සහරාන්ට එරෙහිව උද්ඝෝෂණ කරද්දී, සහරාන් අන්තවාදියෙකු බව කියද්දී, සහරාන්ට එරෙහිව සමාජ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරද්දී ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල නිසි අවධානයක් මේ වෙත යොමු නොවීම පුදුමයට කරුණකි. ප්‍රහාරය ගැන මුස්ලිම් වැසියන් කම්පා විය යුතු බව කියන කාදිනල් හිමියන්, ප්‍රහාරයට පෙර මුස්ලිම් වැසියන් සහරාන් ගැන පෙන්වාදෙද්දී බුද්ධි අංශ ඒ ගැන තොරතුරු වාර්තා නොකිරීම සහ ආරක්ෂක අංශ නිසි පියවර නොගැනීම ගැන නිශ්චිතව කිසිවක් ප්‍රකාශ නොකිරීම ඊටත් වඩා පුදුමසහගත ය.

දෙවැනි ප්‍රහාරය වළක්වාගත්තේ කවුද?

මෙම ප්‍රහාරයෙන් පසු මූලික කණ්ඩායම දෙවැනි ප්‍රහාරයකට ද සූදානමින් සිටි බව පැවසිණි. එය ව්‍යර්ථ වූයේ කල්මුණේ, සායින්දමරුදු නිවසේ පිපිරීමත් සමග ය. කල්මුණේ, සායින්දමරුදු නිවසක නාඳුනන මුස්ලිම් වැසියන් පිරිසක් රැස් වී සිටින බව ඒ අවට මුස්ලිම් වැසියන් දැනගෙන තිබේ. ඔවුන්ගෙන් කෙනෙක් මේ ගැන විමසන්නට යද්දී නිවසේ සිටි කෙනෙකු ඔහුට තර්ජනය කර තිබිණි. ඒ අනුව සහරාන්ලාගේ සහෝදරයන් සිටි සායින්දමරුදු නිවස ගැන පොලිසියට තොරතුරු ලබාදුන්නේ ද මුස්ලිම් වැසියෙකු විසිනි. සහරාන්ගේ සහෝදරයා ඇතුළු පිරිසට සායින්දමරුදු නිවසේදී පුපුරවාගැනීමට සිදුවූයේ ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් ඔවුන්ට එරෙහිවීම නිසා ය. තමන් ගැන තොරතුරු හෙළිනොකරන ලෙස ඉල්ලමින් නිවසේ සිටි පිරිස මුදල් පවා විසිකර තිබුණු බව කියැවේ. මේවා මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය. එහෙත් කාදිනල් හිමි මේ සිදුවීම් ගැන අවධානය යොමු නොකර ‘මුස්ලිම් වැසියන්’ වෙත ම ඇඟිල්ල දිගුකරමින් සිටී. ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධාන ද මෙම ප්‍රහාරයට පෙර අන්තවාදයට එරෙහිව හඬ නැගූ අවස්ථා ඇත. ප්‍රහාරයෙන් පසුව ද හඬ නැගූ අවස්ථා ඇත. ඒ කිසිවක් කාදිනල් හිමියන්ගේ අවධානයට ලක්නොවීම ගැටළුසහගත ය.

කාදිනල් හිමියන් වෙන’තක යයි

කාදිනල් හිමියන් අවධානය යොමු කළ යුත්තේ මුස්ලිම් වැසියන් ප්‍රහාරය ගැන කඳුළු සැලීම ගැන නොවේ. මුස්ලිම් වැසියන් වසර දෙක-තුනක පමණ සිට සහරාන්ලා ගැන පෙන්වාදෙද්දී, සහරාන්ලා අන්තවාදී කටයුත්තකට සැරසෙන බව කියද්දී, සහරාන්ට මුදල් ලැබුණු මාර්ගය සොයාබලන ලෙස කියද්දී, ප්‍රහාරයක් සිදුවන තුරු ලංකාවේ බුද්ධි අංශ මේ ගැන කටයුතු නොකළේ ඇයිද යන්න කාදිනල් හිමියන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණකි.
ශ්‍රී ලංකාවේ පොලිස් බුද්ධි අංශ කිහිපයක් තිබේ. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවල බුද්ධි අංශ තිබේ. එසේ වී නමුත් මෙතරම් ප්‍රහාරයක් ගැන හරි තොරතුරක් ලබාගැනීමට නොහැකිවීම ගැන කාදිනල් හිමියන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම මහජන විශ්වාසය කරපින්නා ගනිමින් යම් සිවිල් බලයක් ඇතිව සිටින ආගමික නායකයන්ට ද ‌වෙනත් ආගමික කොට්ඨාසයකට ඇඟිල්ල දිගුකරමින් බලා සිටින්නට හැකියාවක් නැත.
ඔ්නෑම ජාතික, ආගමික කණ්ඩායම් අතර අන්තවාදීන් සිටිය හැකිය. කාදිනල් හිමියන් කී පරිදි ම එම අන්තවාදීන් වෙනත් දේශපාලන න්‍යායපත්‍රයකට හැසිරවීම ඉතා පහසු විය හැකිය. ඒ නිසා ආගමික අන්තවාදීන් ගැන ඒ ආගමේ ම පිරිස් අවධානයෙන් සිටීම වඩා වැදගත් ම කාරණය වනු ඇත.

මුස්ලිම් වැසියන් සහරාන්ලාට එරෙහිව පැවති විරෝධතා

මුස්ලිම් වැසියන් සහරාන්ලාට එරෙහිව සමාජ මාධ්‍යවල නැගූ විරෝධතා

Previous articleව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?
Next article‘පොර වෙන්න හදන්න එපා’ – හෝන් විරෝධතාකරුට මහේස්ත්‍රාත්ගෙන් දොස්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here