මාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?

(තරිඳු ජයවර්ධන)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනාපත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එවා ඇති බවත්, එම චෝදනාපත්‍ර ඉදිරියේදී අදාල නිලධාරීන්ට බාර දෙන බවත් පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පැවසීය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන තත්ත්වය ගැන දැනුම්දීමට අද සූම් ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී MediaLK විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
‘ඔවුන්ට විරුද්ධව විමර්ශනයක් කරලා ගිය අවුරුද්දෙද කොහෙද පොලිස් කොමිසමට බාර දීලා තියෙනවා. පොලිස් කොමිසම අහෝසි වෙනකොට ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බාර දීලා තියෙනවා. ඊයෙ පෙරේදා වෙනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් චෝදනාපත්‍ර පොලිසියට ලැබිලා තියනවා. ඔවුන්ට අපි ඒක යොමු කරනවා.’ යැයි ඇමැතිවරයා කීවේය.
පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයක් පැවැත්වූ අතර එම විමර්ශනයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යොමු කර තිබිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ වන විට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් පරීක්ෂණ සිදු කෙරෙන නිසා එහි තීන්දුව ලැබෙන තෙක් චෝදනාපත්‍ර නිකුත් කිරීම ගැන තීන්දුවක් ගැනීම කල් තැබීමට එවකට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විමර්ශන සිදු කර විනයානුකූලව පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් නීතිපතිවරයා ලිපියක් යොමු කර තිබූ අතර එහි නම තිබුණු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා හැර සෙසු 10 දෙනාට විනය පියවර ගත යුතු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් චෝදනාපත්‍ර කෙටුම්පත් කර තිබුණේ නිලධාරීන් 08 දෙනකුට එරෙහිව බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ දිනවල විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාට එරෙහිව ද විනය පියවර ගැනීම සුදුසු බවට මූලික විමර්ශනයෙන් පසු නිර්දේශ වී ඇතත් එය පොලිස් කොමිෂන් සභාවට ලැබෙන අවස්ථාව වන විට ඒ මහතා විශ්‍රාම ගොස් තිබිණි.
මෙම මූලික විමර්ශනය ආරම්භ කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකට බවත්, මූලික විමර්ශන අවසන් වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත්, පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස්වීම් ලබා තිබිණි.
එවකට නියෝජ්‍ය පොලිස්පති සහ දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එවකට නියෝජ්‍ය පොලිස්පති සහ දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, එවකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහත්වරුන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාය.
පාස්කු කොමිෂන් සභාවේ වාර්තාවද මීට මාස කිහිපයකට පෙර නිකුත් වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව එම වාර්තාවේ ද සඳහන් කර තිබිණි.
Previous articleතෙල් මිල : ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවත් බොරුවක් – මිල ස්ථායීකරණ අරමුදලට මොකද වුණේ ?
Next articleඑක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූරයන් – ආසියාවේ එකම ජයග්‍රාහකයා සුපුන් ළහිරු ප්‍රකාශ් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here