පාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය

දේශපාලන පළිගැනීම්වලට ලක්වීයැයි කියන පොලිස් නිලධාරීන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී තිබූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී MediaLK කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
දේශපාලන පළිගැනීම්වලට ලක්වීයැයි කියන පොලිස් නිලධාරීන්ට සහන සැලසීමට ඉදිරිපත් වී තිබූ යෝජනාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබිණි. ඊට හේතුවී තිබුණේ මෙම ලැයිස්තුවේ සිටි බහුතරයක් දේශපාලන පළිගැනීම්වලට ලක් නොවූවන් බවට පොලිසියෙන්ම චෝදනා එල්ලවීමයි. විනය හේතු නිසා ස්ථාන මාරු ලැබූ නිලධාරීන් පවා දේශපාලන පළිගැනීමට ලක්වූවන්ගේ ලැයිස්තුවේ සිටින බව කියැවිණි.
කෙසේ වෙතත් මෙම ලැයිස්තුව ඊයේ (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති අතර එහි කිහිපයක් හැර සෙසු යෝජනාවලට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙසට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් නිර්දේශ කරන ලද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද වැටුප් වර්ධකයක් ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී MediaLK කළ විමසීමට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ ප්‍රකාශ කළේය.
‘දේශපාලන පළිගැනීම් සඳහා කමිටුවෙන් දුන්නු නිර්දේශ කිහිපයක් හැර අනිත් ඒවා ක්‍රියාත්මක කරන්න අවසරය ලබා දීලා තිබෙනවා.. ඒකට සම්බන්ධ අයට තවත් තැනකින් චෝදනා තිබෙනවා නම් ඒ චෝදනා ඔප්පු වෙනකම් ඔවුන් නිදහස් පුද්ගලයන් කියන එකයි මං දන්න විදිහට තියන නීතිමය දැනීම.’
පාස්කු ප්‍රහාරයේදී පොලිස් නිලධාරීන්ගෙන් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුවීදැයි සොයා බැලීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පවත්වා දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, නන්දන මුණසිංහ යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසකට චෝදනාපත්‍ර ලබා දිය යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කර තිබිණි. ඊට අදාල චෝදනා කෙටුම්පත් පොලිස්පතිවරයා විසින් 2020 වසරේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවට යවනු ලැබූ අතර ඒ වන විට පාස්කු ප්‍රහාරය ගැන සොයාන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වැඩ ආරම්භ වී තිබුණු බැවින් එය අවසන් වන තෙක් මෙම චෝදනාපත්‍ර ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට පොලිස් කොමිසම තීරණය කළේය.
කෙසේ වෙතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පොලිස් කොමිෂන් සභාවේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරිණි. ඒ අනුව චෝදනාපත්‍ර සහ අදාල ලියැකියැවිලි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කළ බව ජාතික පොලිස් කොමිසම කියයි.
පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් පසු අදාල පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කර එවා ඇති බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
වැටුප් වර්ධකයක් ලබාදීමෙන් සිදු වන්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය වැඩිවීම බවත්, වැටුප් වර්ධක දෙකක් හෝ කියිපයක් ලබා දුන් නිලධාරීන් ද මෙම ලැයිස්තුවේ සිටින බවත්, ඒ අනුව ඔවුන් ජ්‍යෙෂ්ඨත්වයේ ඉහළට පැමිණෙනවා පමණක් නොව ඇතැම්විට ඊළඟ තනතුරට උසස්වීම ද සිදුවන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
Previous articleමාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු
Next articleබලය ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති ප්‍රඥාවන්ත විය යුතුයි – කොළඹ නීතිඥ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here