Update : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු මිතුරෙක් නෙමෙයි – රියාජ් බදියුදීන් 

(ශානක ද සිල්වා)
 
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බොම්බය පුපුරුවා ගත් ඉන්ෂාඩ් අහමඩ් නමැත්තා තමන්ගේ සමීප මිතුරෙකු යැයි එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වූ රියාජ් බදියුදීන් මහතා පැවසීය. 
 
ඔහු මෙ බව පැවසුවේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුවරට සාක්ෂි ලබාදෙමිනි.
 
සිනමන් ග්‍රෑන්ඩ් බොම්බකරු වු ඉන්ෂාඩ් අහමඩ් එලෙස බෝම්බයක් පුපුරවා ගත් බව තමන් දැනුම්වත් වුයේ ප්‍රහාරය එල්ල වු දිනයේ රුපවාහිනිය ඔස්සේ බව සාක්ෂි ලබා දෙමින් රියාජ් බදියුදීන් මහතා කීවේය.
 
සිය පවුලේ  ඥාති පාර්ශ්වයක් සමග ඉන්ෂාඩ් අහමඩ් විවාහ වී සිටි බවත් තමන්ද එම විවාහ මංගල්‍යයට සහභාගි වු බවත් එම විවාහ මංගල්‍යය හේතුවෙන් සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වු ඉන්ෂාඩ් අහමඩ් පළමුවරට හදුනාගත් බවත් ඔහු සඳහන් කළේය.
 
එම විවාහ මංගල්‍යයෙන් පසු ඉන්ෂාඩ් අහමඩ් සමග එතරම් සමීප සම්බන්ධතාවක් නොපැවති බව ද ඔහු කුළු බඩු අපනයනයන සම්බන්ධය ව්‍යාපාරයක නිරතව සිටි බවට දැනූම්වත් වුවත් ඔහූ සතුව තඹ කර්මාන්ත ශාලාවක් පැවතුණු බව තමන් දැන ගත්තේ ප්‍රහාරයෙන් පසුව බව ද රියාජ් බදියුදීන් මහතා සාක්ෂි ලබාදෙමින් පැවසීය. 2019 වසරේ පෙබරවාරි මාසයේ එක්තරා දිනයක ඉන්ෂාඩ් අහමඩ් තමාට ඇමතුමක් ලබා දී සිය සොහොයුරා වු එවකට කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට අවස්ථාවක් ලබා දිය හැකිදැයි විමසීමක් කළ බව හෙතෙම කොමිසමට ප්‍රකාශ කළේය.
 
ඉන්ෂාඩ් අහමඩ් නැමැත්තා තම අපනයන සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමගින් සාකච්ඡා කිරිමට එලෙස අවස්ථාව ඉල්ලා සිටි බව ද පසුව තමන් මේ පිළිබඳව සිය සොහොයුරා වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැනුම්වත් කළ නමුත් පවතින කාර්යබහුලත්වය හමුවේ එවැනි අවස්ථාවක් ලබා දිය නොහැකි බවට හිටපු අමාත්‍යවරයා තමන්ට පැවසු බව ද රියාජ් බදියුදීන් මහතා කියා සිටියේය.හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, ඉන්ෂාඩ් අහමඩ් සමග කතා කිරිමට එතරම් කැමැත්තක් නොදක්වන බව තමන්ට පෙනි ගිය නමුත් ඊට හේතුව තමන් දැනුවත්ව නැතැයි රියාජ් බදියුදීන් මහතා පැවසීය. 2019 වසරේ මාර්තු 01 වැනිදා ඉන්ෂාඩ් අහමඩ් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී එදින සවස තමන් අමාත්‍යවරයා හමු වීමට අමාත්‍යංශයට පැමිණෙන බව දැනුම් දුන් බවත් තමන් ඒ වන විට අමාත්‍යංශයට පැමිණ සිටි පිරිසකට අමාත්‍යවරයා නොපැමිණෙන බව දැනුම් දීම සදහා යමින් සිටි බවත් පැවසූ සාක්ෂිකරු එම අවස්ථාවේ විටින් විට ඉන්ෂාඩ් අහමඩ් තමන්ට දුරකතන ඇමතුම් ලබා දී තම ඉල්ලිම ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටි බව ද කීවේය.
 
ඉන්ෂාඩ් අහමඩ් තමන් අමාත්‍යංශයේ දී හමුවී ” අපේ අපනයන තහනම් කිරිම නිසා අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ,ඒ ගැන කතා කරන්න තමයි වෙලාවක් ඉල්ලූවේ, එහෙම අවස්ථාවක් ලබා නොදෙන නිසා අපි ඕගොල්ලන්ට විරුද්ධව නඩු දානවා තරහ වෙන්න එපා ” යැයි තමාට පැවසු බව රියාජ් බදියුදීන් මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලදි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බොම්බකරු තමන්ට ඇමතුම් හතක් ලබා ගෙන ඇති බවත්, තමන් එම කාලය තුළ කිසිදු ඇමතුමක් ලබාගෙන නොමැති බව⁣ට හෙලි වු බවත් හෙතම සඳහන් කළේය 
 
තමන් ඉන්ෂාඩ් අහමඩ් සතු තඹ ශාලාවට ගොස් කිසි විටක ඔහූ හමු නොවු බව රියාජ් බදියුදීන් මහතා අවධාරණය ක⁣ළේය.2019 වසරේදි අරාබි ජාතිකයන් පිරිසක් සමග මැදවච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුවේදැයි කොමිසම ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකරූ සදහන් කළේ එය ප්‍රතික්ෂේප කරන බවයි.
 

2015 සිට ජනපතිවරු පත්වුණේ විදේශ බලපෑම් මත – දයාසිරි
 
State Minister - Dayasiri Jaysekara speaks of disappointment on treatment  of SLFP
(ශානක ද සිල්වා)
2015 වසරේ සිට මෙරට ජනාධිපතිවරුන් සහ ආණ්ඩු බිහිවීම පැහැදිලිවම විදේශීය බලපැම් මත සිදුවු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැවසීය.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමු වරට සාක්ෂි ලබාදෙමින් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ගෙදර යවා තවත් ජනාධිපතිවරයකු එන තැනට පත් කිරිමට අවශ්‍යතාවය තිබුණේ කාටදැයි සොයා බැලිය යුතු බව යි.
අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුයේ කිසියම් විදේශීය රටක බලපැම් හේතුවෙන්දැයි කොමිෂන් සභාව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.
එක් වරම නාමල් කුමාර නැමැත්තකු මතුවී පාලන බලයේ සිටි ජනාධිපතිවරයාත්, ජනාධිපති ධුරයට පත් වීමට සිටි පුද්ගලයාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කිරීමට තරම් රට අරාජික තත්ත්වයකට පත් වුයේ කෙසේදැයි වහාම සොයා බැලිය යුතු බව කීවේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂීම් පසුපස හිඳිමින් ඔහු මෙහෙයවුයේ කවුදැයි සහ යම් අරමුණක් ඉටු කරගැනීමට සහරාන් හෂීම් කිසියම් පිරිසක් භාවිත කළාදැයි යන්න වැඩිදුරටත් සොයා බැලිය යුතු බවයි.
මෙරට බුද්ධි අංශ වලට වඩා විදේශ බුද්ධි අංශ මෙම ප්‍රහාරය ගැන පෙර දැනුවත්ව සිටි බවට තොරතුරු අනාවරණය වීම හමුවේ විදේශ බුද්ධි අංශ මෙරට තුළ කොතරම් ශක්තිමත්ව ව්‍යාප්තව තිබෙනවාද යන්න අනාවරණය වන බව හෙතෙම කීවේය.
මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ මේ ආකාරයට තවත් ප්‍රහාර එල්ලවීම හමුවේ බලයේ පවතින ආණ්ඩු කීයක් පෙරළේද යන ප්‍රශ්නාර්ථය මතු වන බව ද ඔහු පැවසීය.
සහරාන් හෂීම් පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අතින් යම් යම් අඩුපාඩු සිදුව තිබුණත් ඔවූන්ද මෙම සිද්ධියේ වින්දිතයන් පමණක් යැයි තමා විශ්වාස කරන බව පැවසු දයාසිරි මහතා දේශපාලකයකු ලෙසත් නීතිඥවරයකු ලෙසත් තම නිරික්ෂණය අනුව මෙය ඉතා බරපතල තත්ත්වයක් බව ද සඳහන් ක⁣⁣ළේය.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද මෙම විමර්ශනය නිසි පරිදි සිදු නොවන බව පවසන්නේ මෙවන් පසුබිමක් තුළ බව දයාසිරි ජයසේකර මහතා කීවේය.
මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වු හෝටල් අතරට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය ඇතුළත් නොවුණේ එහි එම අවස්ථාවේ දී කිසියම් විශේෂිත පිරිසක් රැඳී සිටි නිසා යැයි දයාසිරි ජයසේකර මහතා එවකට ප්‍රකාශ කළේ කුමන පදනමින් දැයි කොමිෂන් සභාවේ විනිසුරුවරයෙකු විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ “ස්වාමිනි, පිරිසක් හිටියට වඩා මම කල්පනා කළේ ඇයි ඒකට පහර නොදුන්නෙ කියලා. බොම්බකරුවන් ඒ හෝටලය තුළට ගිහිල්ලත් ආයිත් හැරිලා ආවා. ඔබත් දන්නවා ඒ හෝටලයකට යම් රටක ව්‍යාපාරිකයින් පිරිසක් සම්බන්ධ බව. ඒ නිසා මම ඒ ගැන හොයන්න කියලා එවකට පොලීසියට පවා කිව්ව.”
මේ අතර 2015 සිට 2018 දක්වා තමන්ද කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ රජය යටතේ ජාතික ආරක්ෂාව දුර්වල වු බව දයාසිරි ජයසේකර මහතා කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය.
“ජිනිවා යෝජනාවලට අත්සන් කරපු එකට අපි ඒ කාලෙ ආණ්ඩුව ඇතුළෙ ඉදන්ම විරුද්ධ වුණා. ජනාධිපතිතුමාට ඒ කාලේ අවශ්‍ය වුණා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. නමුත් ආණ්ඩුවේ අනිත් පාර්ශවයට ඒ අවශ්‍යතාව තිබුණෙ නැහැ” යැයි හෙතෙම පැවසීය.
මේ අතර එක රටක් එක නීතියක් පනත් කෙටුම්පත හිටපූ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කළ විට එවකට ආණ්ඩුව එය අවහිර කළ බව ජයසේකර මහතා කොමිසම හමුවේ අනාවරණය කළේය.
අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රට තුළ පොදු නීතියක් ස්ථාපිත කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත්ව පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවක් මගින් මෙම පනත් කෙටුම්පත නිර්මාණය කළ නමුත් එවකට යහපාලන ආණ්ඩුවට සහය දුන් මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපැම් මත ආණ්ඩුව එම පනත් කෙටුම්පත අවහිර කළ බව හෙතෙම පැවසීය.
එවකට යහපාලන ආණ්ඩුවට සහය දුන් ඇතැම් මුස්ලිම් අමාත්‍යවරුන් සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට බලපැම් කළ බවත් 2015 වසරේ සිට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බවත් දයාසිරි ජයසේකර මහතා කීවේය.
තමන්ද වරක් ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගි වූ අවස්ථාවේ දී එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා සහරාන් හෂීම් අත්තඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ බවට තම මතකයේ ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයට පෙර නීතිපතිට එවූ ගොනුවලට උපදෙස් දී නෑ : කොමිසම ප්‍රශ්න කරයි 
(ශානක ද සිල්වා)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා දෙකකදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබද සවිස්තරාත්මක ගොනු දෙකක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබ තිබුණද ගතයුතු නෛතික පියවර සම්බන්ධයෙන් උපදෙස් දීමක් සිදුව නැතැයි ජනාධිපති කොමිසමේදි අද (06) අනාවරණය විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් අදාළ ගොනුව බාරව කටයුතු කළ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා කියා සිටියේ අදාළ ගොනු තුළ නෛතික උපදෙස් දීමට තරම් කරුණු අන්තර්ගත නොවු බවයි.
මේ අතර රජයේ අධිනීතිඥවරයා සාක්ෂි ලබාදුන් අකාරය පිළිබද සිය බලවත් අප්‍රසාදය පළ කළ සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාද කිරීමක් ද සිදුකළේය.
එම ප්‍රහාරයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සවිස්තරාත්මක ගොනු ඉදිරිපත් කළද එ්වාට නිසි නෛතික උපදෙස් ලබාදීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු නොකළේ යැයි කියවෙන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අද සාක්ෂි විමසීම සිදු කළ අතර ඒ අනුව අද කොමිසම හමුවට පළමුව කැඳවා තිබුණේ අදාළ ගොනු බාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතාවයි.
කෙසේ වෙතත් වෙනත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මෙහෙයවීම සඳහා ජනාධිපති කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම අද දිනයේ මෙම සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීම සිදුනොකළ අතර ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින්ම අද දිනයේ සාක්ෂි මෙහෙයවනු ලැබීය.
එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරු වෙත EER /08/2017 ගොනුව ඉදිරිපත් කරමින් විමසා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළ නීතිපති දෙපාර්තමේන්තුව සතු මෙම ගොනුව බාරව සිටි නිලධාරියා කවුරුන්ද යන්නයි. අදාළ ගොනුව බාරව සිටි නිලධාරියා තමා බව රජයේ අධිනීතිඥ අසීස් මහතා පිළිගැනීමත් සමග සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඔබේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළේ කවුරුන්ද ‍යන්නයි.
එයට පිළිතුරු දෙමින් රජයේ අධිනීතිඥවරයා සදහන් කළේ එවකට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා තම අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ බවත් ඔහු විසින් මෙම ප්‍රශ්නගත ගොනුව තමාට යොමු කළ බවත් ය.
එහිදි කොමිසමේ සභාපතිවරයාගේ නියමයෙන් ප්‍රශ්නගත EER /08/2017 ගොනුව සාක්ෂිකරු වෙත ඉදිරිපත් කෙරුණු අතර එය අධ්‍යයනය කළ සාක්ෂිකාර රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ මේ වන විට කොමිෂන් සභාව සතුව පවතින ගොනුවේ ඇතුළත් ලේඛන සියල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තමන්ට යොමුකළ මුල් ගොනුවේ නොපැවති බවයි.
2017 ජුනි මස 07 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබු ගොනුව පිටු 16 කින් පමණක් සමන්විත වු බවත් එහි ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් අන්තවාදි අදහස් ප්‍රචාරය කළ වෙබ් අඩවි තහනම් කිරීම සහ එම සංවිධානයේ සමාජික සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නෛතික උපදෙස් ඉල්ලා තිබු බවත් රජයේ අධිනීතිඥවරයා සදහන් ක⁣ළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ මුල් ගොනුව තුළ කාන්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේ 2017 පෙබරවාරි මස 17 දෙමළ බසින් පවත්වා තිබු දේශන දෙකක සිංහල පරිවර්තන සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ සහරාන් හෂීම්ගේ Facebook ගිණුම්වල Screenshort ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබු බවයි.
අදාළ මුල් ගොනුව තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන යම් කරුණු අන්තර්ගතව පැවතියේද යන්න ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී විමසීය. එයට පිළිතුරු දෙමින් රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ අදාළ මුල් ගොනුව තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නගත නෛතික උපදෙස් ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු අන්තර්ගත නොවු බවත් FaceBook ගිණුම් තුළ වු විඩියෝ දර්ශන තමන්ට එවන ලෙස පමණක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දන්වා යැවු බවත් ය.
එහිදී කොමිසමේ සභාපතිවරයා අදාළ මුල් ගොනුව තුළ අන්තර්ගත කරුණු කෙරෙහි සාක්ෂිකාර අධිනීතිඥවරයාගේ අවධානය යොමු කරමින් මෙසේ ප්‍රශ්න ක⁣ළේය.
” දැන් ඔබ කිව්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ මුල් ගොනුවේ ජාතික ආරක්ෂාව ප්‍රශ්න ගත වෙන කරුණු නැහැ කියලා. නමුත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ ලේඛනයේ දක්වා තිබෙනවා ජාතික කොඩිය එසවීම ඉස්ලාම් ධර්මයට පටහැනි කියලා ඔය කියන ජාතික තවුහිද් ජමාත් සංවිධානය පවසා ඇති බව. ඒ වගේම ලෝකේ තියෙන්නේ රාජ්‍ය දෙකයි, එකක් ඉස්ලාම් රාජ්‍ය අනිත් රාජ්‍ය ඔවුන්ට බදු ගෙවිය යුතුයි කියන එක, අනෙකුත් දහම් අදහන අය ඉස්ලාම් ධර්මය අදහන අයගේ මිත්‍රයන් නොවන බව ඔබ වෙත එවා ඇති දේශන වල සදහන් වෙන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දැනුම් දී තිබෙනවා. මේ කියන කාරණා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් බව ඔබට වැටහුනේ නැතිද “
රජයේ අධිනීතිඥවරයා – ස්වාමිනි දේශන කිහිපයක පරිවර්තන ටිකක්, Screenshort ටිකක් ඉදිරිපත් කළ පමණින් නීතිපතිට නෛතික උපදෙස් දෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ.
කොමිසමේ සභාපති විනිසුරුවරයා – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එව්ව මුල් වාර්තාවේම සදහන් වෙනවා නේද පුළුල් විමර්ශනයක් කරලයි ඔවුන් මේ වාර්තාව යොමුකළේ කියලා
රජයේ අධිනීතිඥවරයා – එහෙම ගොනුවේ සදහන් වුණාට ස්වාමිනි ඔවුන් විමර්ශනයක් කළ බවට ගොනුවේ කරුණු අන්තර්ගත වෙලා තිබු⁣ණේ නැහැ. ඔවුන් 2018 ජුනි 14 එව්ව දෙවන ලිපිගොනුව පිටු 65 කින් සමන්විතයි. එකේ සී.ඩි තැටි දෙකක විඩියෝ පට 14ක් අන්තර්ගත වෙලා තිබුණා. එයින් 13 ක්ම එක පුද්ගලයෙක්ගේ. මොහොමඩ් තවුහික්, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් කියන නමුත් එහි සදහන් වෙලා තිබුණා. නමුත් ඒ විඩියෝ පටි බලපුවාමත් විමර්ශනයක් කරා කියන්න කරුණු තිබුණේ නැහැ. හුදෙක් බුද්ධි තොරතුරු ටිකක් පමණයි. ඒ නිසා දන්වා යැව්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට 2019 මාර්තු 12 මාව හම්බවෙන්න කියලා.
කොමිසමේ සභාපති විනිසුරුවරයා – ඔබ කිව්වා විඩියෝ 14න් 13ක්ම එක පුද්ගලයෙක්ගේ කියලා. ඒ කියන්නේ ඔබට දැනීමක් තිබුණා සහරාන් හෂීම් කියලා පුද්ගලයෙක් අන්තවාදි දේශන කරනවා ඔහුට විරුද්ධව කටයුතු කරන්නයි මේ නෛතික උපදෙස් ඉල්ලන්නේ කියලා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔබවෙත යොමුකළ මේ දෙවැනි ගොනුවෙත් ඉස්ලාම් රාජ්‍ය අල්ලා සන්තක වන තුරු සටන් කරන්න, ජිහාඩ් කරන්න කියන දේවල් මේ දේශනවල සඳහන් වෙන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දන්වා තිබෙනවා. එහෙම තියෙද්දිත් ඇයි ඔබ මුල් ගොනුව ලැබිලා මාස 19 ක් යනකං නෛතික උපදෙස් දීමක් සිදු නොකළේ.
රජයේ අධිනීතිඥවරයා – ස්වාමිනි, මම රජයේ අධිනීතිඥවරයෙක් විදිහට මේ ගොනුව බාරව විතරක් නෙමේ කටයුතු කළේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු මෙහෙයවීමෙත් යෙදී සිටියා. අනික ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නීතිපති උපදෙස් අවශ්‍යම නැහැ විමර්ශනයක් ඉදිරියට ගෙනියන්න. ඔවුනට නෛතික උපදෙස් අවශ්‍යමනම් ඔවුනට මාව ඇවිත් හම්බෙන්න තිබ්බා. මම 2019 මාර්තු 12 ඔවුන්ව කැඳවනකන් ඔවුන් මාව හමුවෙන්න ආවේ හෝ සිහිකැඳවීමේ ලිපියක් එව්වේ නැහැ. 2019 මාර්තු 12 මම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් තිදෙනෙකුව හම්බුණාමයි දැනගත්තේ ඔවුන් ඒ වෙද්දිත් සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා 2018 ජුනි 18. නමුත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔවුන් සතුව තිබුණු වැදගත් ලේඛන රැසක් ඔවුන් 2017 ජුනි මස 07 මුල් අවස්ථාවේදි හෝ 2018 දෙවැනි අවස්ථාවේදි අපවෙත යොමුකර නැහැ. අඩුම තරමින් සහරාන් හෂීම් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කිරීමට හේතුවන වලිඋල්ලා ට්‍රාස්ට් නැමැති සංවිධානයේ පැමිණිල්ලවත් ඔවුන් නීතිපති උපදෙස් සදහා යොමු කර නැහැ. සහරාන් හෂීම්ගේ මවගෙන් සහ ඔවුන් රැදී සිටි කුලී නිවසේ හිමිකරුගෙන් සටහන් කරගත්තු ප්‍රකාශවත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර නැහැ උපදෙස් වලට. ඒ නිසයි මම 2019 මාර්තු 12 කිව්වේ සති තුනක් ඇතුළට නීතිපතිට එවලා නැති ලේඛන එවන්න කියලා.
කොමිසමේ සභාපති විනිසුරුවරයා – ඔබ මේ සම්බන්ධයෙන් ඔබේ අධීක්ෂණ නිලධාරියා වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සමග පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර සාකච්ඡා කළාද ?
රජයේ අධිනීතිඥවරයා – නැහැ. සාකච්ඡා කිරීමට තරම් ප්‍රබල කරුණක් තිබ්බේ නැහැ. නමුත් මම අන්තර් වාර්තාවක් ඉදිරිපත් කළා.
කොමිසමේ සභාපති විනිසුරුවරයා – ඒ ඉතිං අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුනාට පස්සේනේ.
කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා සාක්ෂි ලබාදුන් ආකාරය පිළිබද කිහිපවරක් සැලකිලිමත් වු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහු සාක්ෂි ලබාදුන් විලාශය පිළිබඳ සිය අප්‍රසාදය පල කළ අතර ඔහුට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ ” ඔබ මේ ජනාධිපති කොමිසම හමුවේ එක් සාක්ෂිකරුවෙකු පමණයි. එබැවින් තර්ක ඉදිරිපත් නොකර අසන ප්‍රශ්නයට පමණක් පිළිතුරු දෙන්න” යනුවෙනි.

මැයි 13 මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට මධුමාධව සම්බන්ධයි – විමර්ශන නිලධාරීන්
 
(ශානක ද සිල්වා)
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් වලට පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා කිසියම් සම්බන්ධතාවයක් දක්වා ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බව විමර්ශන නිලධාරීහු අද (01) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැවැසූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි විමසීම සිදු කළේ පසුගිය වසරේ මැයි 13 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙනි.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර දීප්ත ලියනගේ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ආර් ප්‍රියන්ත යන මහත්වරුන්ගෙන් අද කොමිසම සාක්ෂි විමසනු ලැබූ අතර එවකට ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතා මුලින්ම සාක්ෂි ලබාදුන්නේය.
” පාස්කු ප්‍රහාරයෙන් පසු මැයි මස 13 වන දින මා සමඟ එවකට බස්නාහිර උතුරු දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සර්වාගමික නායකයින්ගේ හමුවකට සහභාගි වෙමින් සිටියදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණා. ඊටපස්සෙ මිනුවන්ගොඩ ප්‍රදේශයට ළඟා වනවිටත් මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට සහ ගල්ඔලුව හන්දියේ නිවාස දෙකකට යතුරුපැදි කිහිපයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ සිද්ධිය සමග මිනුවන්ගොඩ නගරයේ 1500 – 2000 ක පමණ පිරිසක් කළහාකාරි ලෙස හැසිරුණා. ප්‍රමාණවත් නිලධාරින් සංඛ්‍යාවක් නොසිටීම නිසා පොලිසියට සහ ආරක්ෂක අංශවලට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුණා. පහරදීම්වලදි මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයින්ගේ වෙළෙඳසැල්ද ඇතුළුව වෙළෙඳසැල් 24 ක් ගිනි තබා විනාශ කර තිබුණා. එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකටත් ගිනිතබා තිබුණා. මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට එල්ල කළ පළමු ප්‍රහාරය මුහුණු ආවරණය කරගත් යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් සිදු කරලා තිබුණ නිසා ජනතාව මුස්ලීම් ජාතිකයන්ට විරුද්ධව කළහාකාරි ලෙස හැසිරීමත් එක්ක මෙය සංවිධානාත්මකව සිදු කළ ක්‍රියාවක් බවට සැකයක් මතු වුණා.”
වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ එම සිදුවීමට දින 5කට පමණ පෙර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති රැස්වීමකටද මධුමාධව අරවින්ද මහතා සම්බන්ධ වී ඇති බව විමර්ශනවල දී හෙළි වූ බවයි.
මේ අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන දීප්ත ලියනගේ මහතා ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදුන්නේය. මෙම ගිනි තැබීමේ සහ පහරදීමේ සිදුවීම් පිළිබද කිසියම් දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීමක් ඇති බව විමර්ශනයෙන් හෙළිදරව් වී ඇතිද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වරිය ප්‍රශ්න කළාය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන දීප්ත ලියනගේ මහතා ඊට පිළිතුරු ලබාදෙමින් මෙසේ කීවේය.
“2019 මැයි 13 මිනුවන්ගොඩ නගරයේ නොසන්සුන්තාවය ඇතිවෙන්න කළින් වෑගොව්ව, ගල්ඔලුව ප්‍රදේශයේ ශ්‍රී සුබද්‍රාරාම විහාරයේ යම් සිදුවීමක් වී තිබුණා. විහාරයේ කුඩා සාමනේර නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීමක් කළා කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. ඒ සිදුවීම මුල්කරගෙන විහාරස්ථානයේ ගම්වාසින් එකතුකරලා රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීම සංවිධානය කරලා තියෙන්නේ ජගත් නැමැති පුද්ගලයෙක්. ජගත් නැමැත්තා මදුමාධව අරවින්ද කියන පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයාගේ සමීපතමයෙක්. ඒ රැස්වීමට ඇවිත් මදුමාධව කියලා තියෙනවා ‘මේ වගේ සිද්ධිවලට එරෙහිව නැගි සිටින්න ඕනේ කියලා’. ඊට සතියකට පස්සෙ තමයි මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය හටගෙන තියෙන්නේ. පරික්ෂණවලදි අනාවරණය වුණා මදුමාධව අරවින්ද ඔය මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්තාවය ඇතිවුණ අවස්ථාවේ ඒ ප්‍රදේශයේ රැදී සිටියා කියලා. පසුව අනාවරණය වුණා මුස්ලිම් ජාතිකයෙක් සාමනේර නමකට පහර දුන්නා කියන එක ගොතපු කතාවක් කියලා.”
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නොසන්සුන්කාරී වාතාවරණය ඇති වූ දිනයේ අවස්ථා දෙකකදී මධුමාධව අරවින්ද මහතා සහ මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන ජගත් නැමැති පුද්ගලයා අතර දුරකථන සංවාද සිදුවී ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් අනාවරණය වූ බවයි.
අනතුරුව එවකට මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ආර්. ඒ. ප්‍රියන්ත මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
මුස්ලිම් ජාතිකයෙකු පහර දුන්නේ යැයි සාමණේර හිමිනමක කර ඇති ප්‍රකාශ අසත්‍ය බවටත්, ජගත් නැමැති පුද්ගලයාගේ ඉල්ලීම මත එම සාමණේර හිමිනම විසින් මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සාමණේර හිමියන් විසින් සිදු කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කිරීමට අදාල විහාරස්ථානයට තමන් ගිය අවස්ථාවේදී මධුමාධව අරවින්ද මහතා එම විහාරස්ථානයේ රැඳී සිටි බව ද ඔහු කීවේය.
පසුව මධුමාධව අරවින්ද මහතා තමාගේ දුරකථන අංකයද ඉල්ලා සිටි බවත්, සාමනේර හිමියන්ට සිදුවී ඇති සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට තමාගෙන් ඉල්ලීමක්ද සිදුකළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කොමිසම හමුවේ අනාවරණය කළේය.
ඔහු පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණය ඇති වීමට ආසන්න දින කිහිපයේම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම් කෙරෙහි මධුමාධව අරවින්ද මහතා දැඩි උනන්දුවෙන් අවධානය යොමු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
ගිනි ගැනීමට ලක් වූ කඩ පෙළ පැවැති ප්‍රදේශය ආශ්‍රිතව ද මධුමාධව අරවින්ද මහතා සංචාරය කර ඇති බව හෙළි වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ආර් ප්‍රියන්ත මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීමට නියමිතව සිටි මධුමාධව අරවින්ද මහතා තමාව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් අධිකරණය වෙත යොමු වූ බවයි.
ගිනි තබා තිබූ විනාශ කර තිබු වෙළෙඳ සැල් මිනුවන්ගොඩ නගර සභාවට අයත් බදු පදනම ඔස්සේ ලබාදී තිබු එහෙත් ඉවත් කිරීමේ නියෝග යටතේ පැවති වෙළඳසැල් බව ද එම වෙළඳසැල් ඉවත් කිරීමේ නියෝගයක් මෙම සිදුවීමට පෙර මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර මහතා විසින් අදාල වෙළෙඳුන්ට නිකුත් කරනු ලැබ ඇති බවද කොමිසමේදී හෙළි විය.
එම සභාපතිවරයා තමන්ට අත්තනෝමතික ලෙස ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන බව⁣ට අදාළ සිද්ධියට පෙර අවස්ථා කිහිපයකදීම එම වෙළෙඳසැල් පවත්වාගෙන ගිය වෙළෙඳුන් විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබ තිබූ බව මිනුවන්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර මිනුවන්ගොඩ නගර සභාවට අයත් ජල බවුසරය ගින්නෙන් විනාශ වූ වෙළඳසැල් ආශ්‍රිත ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාවක් නොලැබුණ බවත්, රියදුරු නොමැති වීම ඊට හේතු වූ බවත් අද කොමිසමේ දී අනාවරණය විය.
මිනුවන්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එදින සඳුදා දිනයක් වුවත් අදාල බවුසරයේ රියදුරු හෝ නිසි බලධාරියෙකු මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නගර සභාව තුළ රැඳී නොසිටි බවයි.

නිලන්ත ජයවර්ධනගෙන් ජනපතිට ආ ඇමතුම් ගැන මතක නෑ – දුරකථනය බාරව සිටි නිලධාරීයා 
(ශානක ද සිල්වා)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජකාරි දුරකථන බාරව සිටි නිලධාරියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ(27) ලබා දුන් සාක්ෂි සහ මීට පෙර එහි පොලිස් ඒකකය වෙත ලබාදී ඇති ප්‍රකාශ අතර පරස්පරතා රැසක් ඇති බවට කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක්විය.
වැඩිදුර සාක්ෂි විමසීම සදහා ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසමට කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරය එල්ල වන සමය වන විට හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතන භාරව සිටි එමෙන්ම වර්තමානයේද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කරන ප්‍රියන්ත පුෂ්පකුමාර මහතායි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ වන විට සිංගප්පුරුවේ රැදී සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනිම සදහා තමන්ගේ දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇති බවට දුරකතන වාර්තාවල සඳහන් වුවද, ඒ පිළිබඳ තමන්ට මතකයක් නොමැති බව පුෂ්පකුමාර මහතාා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පැවසීය.
පාස්කු ප්‍රහාරයට පෙරදින පස්වරු 6.16ට සහ ප්‍රහාරය එල්ල වු දින ප්‍රහාරය එල්ලවීමට පෙර පෙ.ව 7.59 ට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා ඒ වන විට සිංගප්පුරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුම් ලබාගෙන ඇති බව මේ වන විට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 16 දින ජනාධිපතිවරයා සමග පෞද්ගලික විදෙස් සංචාරයට සහභාගි වූයේද යන්නයි. එයට පිළිතුරු දෙමින් පුෂ්පකුමාර මහතා පැවසූවේ තමා එම ගමනට සහභාගි වූ බවයි.
එම ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගි වු පිරිස කවුරුන් දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ, පෞද්ගලික වෛද්‍යවරයා, ප්‍රධාන ආරක්ෂක නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ තමා එම ගමනට සහභාගි වු බවයි.
ජනාධිපතිවරයාගේ දරුවන් සහභාගි වුයේ නැතිදැයි අතිරේක සොලිසිටර් ජනාරාල්වරිය පෙරළා විමසීමක් කළ අතර එවිට ඔහු පැවසූවේ “ජනාධිපතිවරයාගේ පුතා කළින්ම එහේ ගිහින් ඉඳලා එහෙදි අපත් සමග සම්බන්ධ වුණා. අනෙක් දරුවන් දෙදෙනාත් සහභාගි වුණා වගේ මතකයි” යනුවෙනි.
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා – ඔබ දැන් කියනවා දරුවන් සහභාගි වුණා කියලා නමුත් ඔබ මේ කොමිසමේ පොලිස් එකකයට ප්‍රකාශ දෙද්දි හිටපු ජනාධිපතිවරයාගේ දරුවන් මේ ගමනට සහභාගි වුණා කියලා සදහන් කරලා නැහැ නේද?
ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා – නැහැ ස්වාමිනි. මට ඒ වෙද්දි මතකයක් තිබ්බේ නැහැ. මම ඊට පස්සේ කිහිපදෙනෙක්ට කතා කරලයි හොයාගත්තේ. මට දරුවන් ගැනයි, හෝටලය ගැනයි ප්‍රකාශ වලදි සටහන් කරන්න බැරිවුණ නිසා මම ඒ ගැන පස්සේ හොයාබැලුවා යැයි සාක්ෂිකරු සදහන්කලා.
ප්‍රශ්නගත කාල වකවානුවේ සාක්ෂිකරු සතුව පැවති, හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයෙහි දුරකතන වාර්තා කෙරෙහි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අවධානය යොමු කළේය.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – 2019 අප්‍රේල් 18 ඉදලා 21 වෙනකං, සිංගප්පුරුවේ සිටි ඔබ සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවස හරහා ඇමතුම් 43 ක් ඇවිත් තියෙනවා. ඔබ සතුව පැවති දුරකතනයෙන් ඇමතුම් 07 ක් අරන් තියෙනවා පැජට් පාරේ පිහිටි නිල නිවසට. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ අවශ්‍යතා වලට ඔබ සතුව පැවති දුරකතනයෙන් ඇමතුම් ගත්තා කියන එක නේද?
ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා – නැහැ ජනාධිපතිතුමාගේ අවශ්‍යතා වලට පමණක් නෙමේ අපේ අවශ්‍යතා වලටත් ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පවුලේ අයත් සම්බන්ධ වෙලා හිටපු නිසා එයාලට එන ඇමතුමුත් මේ දුරකතනයට එනවා.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ ඔය කියන්නේ පවුලේ අනිත් අයට ඇමතුම් එන්නෙත් ඒ අය ඇමතුම් ගන්නෙත් මේ දුරකතනයෙන් කියලද, ඒ අයත් හිටපු ජනාධිපතිතුමා වගේ ජංගම දුරකතන භාවිතා කළේ නැහැ කියලද ?
ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා – නැහැ එහෙම නෙමේ. ඒ අය ජංගම දුරකතන භාවිතා කළා. ඒ වුනාට යම් යම් ඇමතුම් ආවා.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඉකුත් වසරේ අප්‍රේල් 20 වැනිදා සවස 6.16 ට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ සතුව තිබු දුරකතනයට ඇමතුමක් ආවාද?
ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා – නැහැ එහෙම ඇමතුමක් ආවේ නැහැ.
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – පාස්කු ප්‍රහාරය එල්ල වු දින ප්‍රහාරයට පෙර පෙ.ව 7.59 ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකතනයට ඇමතුමක් ලබාගත්තාද?
ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා – දුරකතන ඇමතුමක් ආ බවක් මේ වාර්තාවේ පෙන්නුම් කරනවා. නමුත් මට ඒ ගැන මතකයක් නැහැ.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මහත්මයා මේ ඇමතුම විනාඩි 2යි තත්ත්පර 64 එහෙම ඇමතුමක් මතක නැති වෙන්න බැහැනේ.
ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා – ස්වාමිනි මේ ඇමතුම ඇවිත් දැන් අවුරුදු එකහාමාරකටත් කිට්ටුයි. ඒ නිසා මට ඒ ගැන මතකයක් නැහැ.
‘ප්‍රතිත්‍රස්ත’ කෙටුම්පත හැදූ කමිටුවේ වැදගත් නිර්දේශ පාර්ලිමේන්තුව⁣ට ආ කෙටුම්පතේ තිබුණේ නෑ – අජිත් රෝහණ
(ශානක ද සිල්වා)
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පත් කළ කමිටුව සිය වාර්තාව මගින් යෝජනා කළ වැදගත් නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් පනත් කෙටුම්පතෙහි අන්තර්ගත නොවූ බව පොලිස් නිති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැවසීය.
ඒ එම කොමිසම හමුවේ පළමු වරට සාක්ෂි ලබාදෙමිනි.
ඔහු එහිදී කියා සිටියේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත තුළ අන්තර්ගත දුර්වලතා මගහැර වීමේ අරමුණින් නව ප්‍රතිතස්ත පනත හඳුන්වා දීමට එවකට පැවති රජය සැලසුම් කළ බවත් ඒ අනුව 2016 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතිතස්ත පනත සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළ බවත්ය.
නීතිය හා සාමය පිළිබඳ එවකට අමාත්‍ය ධුරය දැරූ සාගල රත්නායක මහතා, ආරක්ෂක ලේකම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ එවකට නිතිපති දෙපාර්තමේන්තුවෙ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු වු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු පිරිසක් එම කමිටුවේ සමාජිකයන් වු බව අජිත් රෝහණ මහතා පැවසීය.
27 වතාවක් මෙම කමිටුවේ සමාජිකයන් හමුවී සාකච්ඡා පැවැත්වු බවත් විවිධ රටවල් අනුගමනය කරන ත්‍රස්තවාදය මර්දනය කිරීමට උපයෝගි කර ගන්නා නිතී එහිදි අධ්‍යයනය කර ඉතා සාධනිය මට්ටමෙ කෙටුම්පතක් සකස් කළ බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.
කෙසේ නමුත් අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත තුළ එම වැදගත් යෝජනා අන්තර්ගත නොවීම හමුවේ බලාපොරොත්තු වු අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් රඳවා තබා ගැනිම, පාපොච්චාරණය වැනි කරුණු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම් වල අන්තර්ගත එකඟතාවලට අනුව වඩාත් ප්‍රශස්ත මට්ටමේ යෝජනා අන්තර්ගත කර මුලික කෙටුම්පත සකස්කළ බව ද ඔහු කීවේය.
නව රජය බලයට පත් වු පසුව එම ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගැනිමට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළ බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යැවුවත් මළල්ගොඩ වාර්තාව දුන්නේ නෑ – පූජිත ජයසුන්දර
 
(ශානක ද සිල්වා)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කෙරුණු මලල්ගොඩ කමිටු වාර්තාව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිය ද එය ⁣තමන්ට නොලැබුණ බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසීය.
පසුව නැවත අභියාචනයකුත් කළ නමුත් එම කමිටු වාර්තාව නොලැබුණ බව හෙතෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් කීවේය.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (27) පස්වරුවේ පෙනී සිටි අතර එහිදි පළමුව ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්නයක් යොමුකළේය.
“ජයසුන්දර මහත්මයා, ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා 2018 වර්ෂයේ ආරම්භය වෙද්දි ඔබ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහද සම්බන්ධතාවයක් තිබුනේ නැහැ කියලා. දැන් මම මේ පෙන්වන විඩියෝ දර්ශනයේ තියෙන්නේ 2018 අගෝස්තු මාසයේ වුණ සිදුවීමක්. මට පැහැදිලි කරන්න මේ වෙද්දිත් ඔබ සහ හිටපු ජනාධිපතිවරයා අතර සුහද සම්බන්ධයක් තිබුණා නේද කියලා ” යැයි පැවසු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විඩියෝ දර්ශනයක් විවෘත කොමිසම හමුවේ ප්‍රචාරය කරන ලෙස නියෝග කළේය.
ඊට පිළිතුරු දුන් පූජිත ජයසුන්දර මහතා – ස්වාමිනි, ඔය පොළොන්නරුවේ එළිමහන් ව්‍යායාම් ස්ථානයක් විවෘත කළ අවස්ථාවක්. ඔබතුමා කියන දේ මම පිළිගන්නවා. මේ විඩියෝ දර්ශනය බලන ඕනෑම කෙනෙක්ට මා සහ හිටපු ජනාධිපතිවරයා අතර සුහද සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතෙනවා. ඔව් බාහිරෙන් බලද්දි එහෙම පෙනෙනවා තමයි ස්වාමිනි. නමුත් අභ්‍යන්තර තත්ත්වය සම්පුර්ණෙන්ම වෙනස්. මං ගැන තිබ්බ වැරදි අවබෝධයක් නිසා ඇතුළෙන් එතුමා මා සමග ලොකු අවුලකින් හිටියේ. ස්වාමිනි ඔය අමනාපය ගොඩක්ම වැඩිවුණේ දින 52 ආණ්ඩුව පටන් ගත්තත් එක්ක. ඒ දිනවල ජනාධිපති කාර්යාලය අසලට ආරක්ෂාව යොදවන පිළිවෙළවත් පොලිස්පතිවරයා හැටියට මම දැනන් හිටියේ නැහැ. මම විතරක් නෙමේ ඒ වෙද්දි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාවත් ඒ පිළිබද දැනගෙන හිටියේ නැහැ. එක නිලධාරියෙක් විතරයි ඒ ඔක්කෝම බැලුවේ.
ඉන් අනතුරුව පූජිත් ජයසුන්දර මහතා නියෝජනය කළ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතාට සිය සේවාදායකයාගේ වැඩිදුර සාක්ෂි ජනාධිපති කොමිසම හමුවේ මෙහෙයවීමට අවස්ථාව හිමිවුණා.
ජනාධිපති නීතිඥවරයා – දැන් ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දුන්නනේ 2018 ඔක්තෝම්බර් මාසෙන් පස්සේ පාස්කු ප්‍රහාරයෙන් පසු දිනය වෙනකං හිටපු ජනාධිපතිවරයා ඔබව ආරක්ෂක කවුන්සලයට කැදෙව්වේ නැහැ කියලා. එහෙමනම් මේ කොමිසමට කියන්න ඔබ වෙනුවෙන් වෙනත් නිලධාරියෙකු ආරක්ෂක කවුන්සිලයට කැඳවා තිබුණද කියලා.
පූජිත ජයසුන්දර මහතා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නේ කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි දීමෙදි සදහන් කළා මා වෙනුවට එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්මයාව ආරක්ෂක කවුන්සිලයට කැදෙව්වා කියලා. නමුත් රවී සෙනෙවිරත්න මහතා මේ කොමිසමේ සාක්ෂි දෙද්දියි මම දැනගත්තේ එතුමාව කැදවලා තියෙන්නෙත් එකම එක දවසයි. එත් විමර්ශනයක ප්‍රගතිය ගැන අහන්න 2019 ජනවාරි වල.
කොමිසමේ සභාපති විනිසුරුවරයා – දැන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යම් ත්‍රස්ත කටයුත්තකට සම්බන්ධයි කියලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රවී සෙනෙවිරත්න මහත්මයා ඔබට තොරතුරු දීලා තිබ්බනේ, එහෙම තියෙද්දිත් අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබට යොමු කළාම ඇයි ඔබ ඔයිට වඩා අවධානයක් යොමු නොකළේ?
පූජිත ජයසුන්දර මහතා – ස්වාමිනි, රවී සෙනෙවිරත්න මට වනාතවිල්ලුව ගැන කියපු දවස මතක නැහැ. හැබැයි කිව්වා කියලා මතකයි. දැන් මේ සිද්ධිය වුනාට පස්සේ බාහිරෙන් ඉදලා ලැබි ඇති සාක්ෂි ගැලපීම් කරාට ප්‍රහාරය සිදුවෙන්න කළින් මේ වනාතවිල්ලුවත් එක මතකයක් විතරයි. ඔන්න විදෙස් බුද්ධි තොරතුරත් එක්ක රාජ්‍ය බුද්ධි සේවයෙන් එව්වානම් මේ තොරතුර හා වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම අතර සම්බන්ධයක් තියෙනවා කියලා මට මීටත් වඩා අවබෝධයක් ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න තිබ්බා. ආයේ ආයෙත් මම කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ විදෙස් බුද්ධි තොරතුර බෙදාහැරපු විදිහ තුළ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේ තොරතුරු ස්ථිර කරලා නැහැ. තවදුරටත් විමර්ශන කරමින් පවති කියලා තියෙන්නේ. එහෙම තත්ත්වෙක මම මේ තොරතුර මත ගතයුතු ආරක්ෂක පියවර අරගෙන මේ වගේ ප්‍රහාරයක් සිදු නොවුනානම් අයෙත් අහයි ස්ථිර කරලා නොතිබෙද්දි ඇයි පියවර ගත්තේ කියලා. ස්වාමිනි, ලද තොරතුර ගැන රාජ්‍ය බුද්ධි සේවයත් කිව්වානම් අපේ විමර්ශන වලිනුත් මෙම තොරතුරේ සත්‍යතාවයක් ඇති බව තහවුරු වෙලා තියෙනවා කියලා, මම ගත යුතු ඉහළම පියවර ගන්නවා. මේ තොරතුර මත ස්වාමිනි මට නිලන්තට කතා කරන්න දෙයකුත් නැහැ. මම ඔහුට කතා කරන්න ඕනේ මේ තොරතුරු තේරෙන්නේ නැත්තම්නේ. නමුත් මට මේකේ තියෙන දේ හොදට තේරෙනවා. මේකේ තියෙන්නේ තවදුරටත් විමර්ශන කරමින් පවති කියලා. පුද්ගලයෙක් මාර්තු 29 සහරාන්ව අක්කරෛයිපත්තුවේදි දැකලා තියෙනවා කියලා, අප්‍රේල් 20 දැනුම් දෙනවා. එක කොහොමද බුද්ධි තොරතුරක් වෙන්නේ ස්වාමිනි.
මෙහිදි ජනාධිපති නීතිඥවරයා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට ප්‍රහාරයෙන් දිනකට පසු පත්කළ මලල්ගොඩ කමිටු වාර්තාව පිළිබදව විමසා සිටියේය.
පූජිත ජයසුන්දර මහතා – ස්වාමිනි මලල්ගොඩ කමිටු වාර්තාව ප්‍රසිද්ධ කරනවා කිව්වට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වට එ්ක ප්‍රසිද්ධ කළේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම එ්ක ඉල්ලා සිටියා හම්බුණේ නැහැ. පස්සේ නැවත අභියාචනයකුත් කළා. එත් කමිටු වාර්තාව හම්බුනේ නැහැ. ස්වාමිනි හිටපු ජනාධිපතිවරයා පසුගියදා මේ කොමිසම හමුවේ කිව්වා මාව අනිවාර්යය නිවාඩු යැවීමට එතුමා සම්බන්ධ නැහැ එතුමාට බලයක් නැහැ කියලා. නමුත් ස්වාමිනි පැහැදිලිව කියන්න කැමති ප්‍රහාරයෙන් පස්සේ වගකීම බාර අරගෙන ඉල්ලා අස්වෙන්න කියලා හිටපු ජනාධිපතිවරයා මට කිව්වට පස්සේ අප්‍රේල් 29 මට අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය ආවේ හිටපු ජනාධිපතිවරයාගේ අත්සන යටතේ. ස්වාමිනි මේ ප්‍රහාරයෙන් පස්සේ මායි හිටපු ආරක්ෂක ලේකම්තුමයි මාස 04 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවෙලා හිටියා. ස්වාමිනි මේ කාලය තුළ යෙදිලා තිබ්බා මගේ ජීවිතයට සම්බන්ධ හරිම මානුෂීය කටයුත්තක්. මගේ එකම පුතාගේ විවාහ මංගල්‍යය. කෙටි  උත්සවයක් සංවිධානය කරලා තිබ්බා මීගමුවේ නමුත් මම ඒකට යන්න ඉල්ලුවේ නැහැ අවසර නොලැබෙන බව දන්න නිසා. එත් ගංගාරාම පන්සලේ උදේ තිබ්බ ආගමික වතාවත් ටිකට සහභාගි වෙන්න අමාත්‍යාංශයෙන්, අධිකරණයෙන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මම ලිඛිතව අවසර ඉල්ලුවා නමුත් දුන්නේ නැහැ. පස්සේ මම අඩුම තරමින් විවාහයට අත්සන් කරලා එන්න තරම්වත් කෙටි වේලාවක් ඉල්ලුවා. ඒ අවසර දුන්නෙත් නැහැ. එතකොට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කිව්වා එතුමාගේ කාර්යාලයේ ඇවිල්ලා Registration එක කරන්න කියලා. ස්වාමිනි තාත්තා කෙනෙක් හැටියට දරුවෙක්ට කියන්න පුළුවන්ද ස්වාමිනි එයාගේ ජීවිතයේ වටිනාම දවස බන්ධනාගාරයේ ගන්න කියලා. ඒ නිසා මම ඒ අදහසත් අතෑරියා.
එසේම සිය සාක්ෂිදීම අවසානයේ පූජිත් ජයසුන්දර මහතා යම් විශේෂ අනාවරණයක් සිදු කිරීමට අවසර ඉල්ලා සිටියේය.
“මේක විශාල පරිමාණයක් තුළ සිදුවුණ, තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙන සිදුවූ කුමන්ත්‍රණයක් සහ වැඩපිළිවෙළක්. මම දන්න සහ පසුව සොයාගත්තු ඇතැම් කරුණු තියෙනවා මෙතෙක් නොකි‍යපු ” යැයි හිටපු පොලිස්පතිවරයා සඳහන් කිරීමත් සමග එම පරිශ්‍රයෙන් මාධ්‍යවේදින් ඉවත් කෙරිණි. ඉන් අනතුරුව මාධ්‍ය නොමැතිව විනාඩි 40 ක පමණ කාලයක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රහසිගත ප්‍රකාශයක් ලබාදුන්නේය.
ප්‍රායෝගික ගැටළුවලදී නෛතික රාමුවට පරිබාහිරව ජනාධිපතිට කටයුතු කළ හැකියි – මෛත්‍රී
(ශානක ද සිල්වා)
රාජ්‍ය පාලනය පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියැවිලි වල කුමක් සදහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළු වලදි ජනාධිපතිවරයාට සිය අභිමතය නෛතික රාමුවට පරිභාහිරව කටයුතු කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හත්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි කළේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මස එවකට සිටි ඇගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම තමන්ට එලෙස කටයුතු කිරීමට සිදුවු එක් අවස්ථාවක් බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හත්වන දිනටත් ජනාධිපති කොමිසම වෙත පැමිණි අතර එහිදි අනෙකුත් වගඋත්තරකාර පාර්ශව නියෝජනය කරන නීතිඥවරුන් හරස් ප්‍රශ්න විමසීම සිදුකෙරුණා.
ඒ අනුව පළමුව හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජ්‍ය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජුනි මස 17 දින බීබීසි සිංහල සේවයට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව ජනාධිපති කොමිසම හමුවේ වාදනය කිරීම අවසර ඉල්ලා සිටියේය.
පසුව අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා – හිටපු ජනාධිපතිතුමනි, මෙම පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා ප්‍රහාරයේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියලා. ඔබ සුදානම් නැද්ද එහෙම සාමුහිකව වගකීම බාරගන්න.
මෛත්‍රීපාල සිරිසේන මහතා – එහෙම පුළුවන්කමක් නැහැ ස්වාමිනී.
ජනාධිපති නීතිඥවරයා – ඔබ මෙම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සුදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියට පත්වුණ පාර්ශව වෙනුවෙන් කණගාටුව පළකරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කණගාටුව පළකරන්න ඕනේ කියලා
මෛත්‍රීපාල සිරිසේන මහතා – මේ සිදුවීම සම්බන්ධයෙන් මම අවස්ථා රැසකදි කණගාටුව පළ කරලා තියෙනවා ස්වාමිනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදි මම ඉතා මිත්‍රශීලිව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා. නමුත් මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණ මාධ්‍යවේදියා සමග මම බහින් බස්වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පුර්ණෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ “
ජනාධිපති නීතිඥවරයා – ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු පාස්කු ඉරුදින සහ ඊට පෙර දින ඔබ සිංගප්පුරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවට සහතික කළ හැකි වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ හැකිද ?
අදාළ වාර්තා ඉදිරිපත් කළ හැකියැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය වාර්තා 13 කින් සමන්විත ගොණුවක් කොමිසම් සභාව වෙත ලබාදුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා – ස්වාමිනි පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය වාර්තා කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම වෛද්‍ය වාර්තා කොමිෂන් සභාවේ සමාජිකයින් පමණක් අධ්‍යයනය කරන ලෙස. ඒ හැර වෙනත් කිසිදු නීතිඥවරයෙකුට හෝ පාර්ශවයකට එය අධ්‍යයනය කිරීමට අවසර දෙන්න එපා.
එම ඉල්ලීම පිළිබද සලකා බැලු ජනාධිපති කොමිෂන් සභාව එම වාර්තා වෙනත් පාර්ශව වෙත ලබා නොදි තමන් පමණක් අධ්‍යයනය කරන බව දැනුම් දුන් අතර එහිදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නැගි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අදාළ වාර්තා සම්බන්ධයෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපති නීතිඥ මැද්⁣දේගොඩ මහතා – ස්වාමිනි, එම පෞද්ගලික වාර්තා වල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මට දැනගතයුතු නැහැ. නමුත් මගේ සේවාදායකයා වෙනුවෙන් සිදුකරන හරස් ප්‍රශ්න වලදි මට අදාළ වෛද්‍ය වාර්තා වල දින සහ කාලවකවානු ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබද අප දැනුවත් කරන්න කියලා.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා – ඔබට අවස්ථාව දීලා තියෙනවා ඔබේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින්න. නමුත් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තාව කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා එම වාර්තාව කොමිෂන් සභාවේ සමාජිකයින් පමණක් අධ්‍යනය කළොත් ප්‍රමාණවත් කියලා “
ඉන්පසු ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා – මහජන ආරක්ෂක පනතේ 5 වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙනවා ජාතික ආරක්ෂක කවුන්සිලයට එහි නිත්‍ය සමාජිකයින් අනිවාර්යයෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝම්බර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධාන වලට පටහැනිව සිදුකළ ක්‍රියාවක් නේද?
මෛත්‍රීපාල සිරිසේන මහතා – ගැසට් නිවේදන වල සහ නීතිපොත් වල එහෙම තියෙන්න පුළුවන් හැබැයි ප්‍රයෝගිකව මට ප්‍රශ්නයක් ඇතිවුනාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැදවුවේ “
ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා – හරි එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබාදීලා තියෙන්නේ කියලා.
මෛත්‍රීපාල සිරිසේන මහතා – ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙමේ, මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙමේ, මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා.
ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා – ඔබතුමා එහෙම ඕන ඕන විදිහට අස් කළාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළානේ එක නීති විරෝධි කියලා. ඔබතුමා එ්ක දන්නවානේ. ඔබතුමා ඔය කියන්න හදන්නේ රටේ ප්‍රධානියා වූ පමණින් ජනාධිපතිවරයෙකුට රටේ උත්තරීතර නීතිය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වගේ නෛතික රාමුව අභිමවා කටයුතු කරන්න හැකියි කියලද?
එහිදි මද සිනාහවක් සමගින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නා,
” නැහැ මම එහෙම්මම කියන්නේ නැහැ. නමුත් නීතියේ නැති පාලනය ගෙන යා හැකි ක්‍රම රාජ්‍ය පාලනයේ තියෙනවා. ඔය ඉන්දියාවේ කෞටිල්‍ය වගේ අය කියලා තියෙනවා රාජ්‍ය පාලනයේදි විශ්වාසවන්තම කෙනාව ළඟින් තියාගන්න කියලා.
ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා – ඔබතුමා එහෙම කිව්වට ඔය කියන කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේම තියෙනවා රාජ්‍ය නායකයා වුනත් නීතියට අනුව රට පාලනය කරන්න ඕනේ කියලා.
මෛත්‍රීපාල සිරිසේන මහතා – නීතියේ එහෙම තිබ්බට රාජ්‍ය පාලනයේදි උපායශීලිව අවස්ථාවාදිව වැඩ කරන්න ඕනේ.
ජනාධිපති නීතිඥව මැද්දේගොඩ මහතා – ඔබේ නියෝග මත මගේ සේවාදායක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඉවත් කිරීමෙන් පසු ඒ ගැන පොලිස් කොමිසම දැනුවත් කළා ඔබ හිටපු පොලිස්පතිවරයා සමග විරසක වෙලා ඔහුව ආරක්ෂක කවුන්සලයෙන් ඉවත් කළා කියලා මම ඔබට යෝජනා කරනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා – විරසක භාවයක් තිබ්බා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම ඔහු සමග බොහෝම සුහදව වැඩ කළා.
ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා – මම ඔබට වැඩිදුරටත් යෝජනා කරනවා ඔබ ඉතාමත් බොළඳ හේතුන් මතයි හිටපු පොලිස්පතිවරයාව ජාතික ආරක්ෂක කවුන්සලයෙන් ඉවත් කළේ කියලා.
මෛත්‍රීපාල සිරිසේන මහතා – මම එය ප්‍රතික්ෂේප කරනවා.බොළඳ හේතු මත තීරණ ගන්න කෙනෙක්ට ජනාධිපතිවරයා වෙන්න බැහැනේ.
සහරාන්ට උඩින් සිටි අය තවම නිදැල්ලේ ; රවී සෙනෙවිරත්නගෙන් දීර්ඝ අනාවරණයක්
(ශානක ද සිල්වා)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර දින රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ දුරකතනයෙන් දැනුම් දුන් අවස්ථාවේම තමා ඒ් ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රවී සෙනෙවිරත්න මහතා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. බුද්ධි ප්‍රධානියාට කතා කර ඔහුට ලැබුණු පණිවුඩය ගෙන්වාගෙන එයද පොලිස්පතිවරයාට සහ බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළ බවත්, ඊට දින කිහිපයකට පෙර නැගෙනහිර සිදුවූ සැක සහිත බයිසිකල් පිපිරීමට සම්බන්ධ යතුරු පැදි අංකයක්ද මේ දෙදෙනාම වෙත යොමු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන්ට යටින් සිටි සියලු දෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා 2019 දෙසැම්බර් මාසයේ විශ්‍රාම යන තෙක්ම සහාරන්ට ඉහළින් සිටි අය ගැන විමර්ශන මෙහෙයවූ බවත් ප්‍රකාශ කළේය. දැනට සියයට සියයක් ආරක්ෂාව තහවුරු වී ඇතැයි කිව නොහැකි බව ද, ඊට හේතුව සහරාන් මෙහෙයවූ අය නිදහසේ සිටීම බව ද ඒ මහතා කීවේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්කි ලබා දුන්නේ පසුගිය 20 වැනි දාය. ඔහු පැය 12ක පමණ කාලයක් කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් කරුණු රැසක් අනාවරණය කළේය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක්වූ රවී සෙනෙවිරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා පිළිවෙළින් උසස්වීම් ලබා 2019 දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගියේය. වසර 40කට ආසන්න කාලයක් ඔහු පොලිස් නිලධාරියකු ලෙස සේවය කර තිබෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කර අත්දැකීම් බහුල නිලධාරියෙකි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්කි මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ – අප්‍රේල් 21 ප්‍රහාරය ක්‍රියාත්මක වීමට තිබුණේ කුමන කාලයකද කියලා දැනුවත්ව සිටියද?   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න – ”සහරාන්ගේ ක්‍රියාකාරිත්වය ඇරඹෙන්නේ 2014 වසර වගේ කාලයක සිටයි. ප්‍රහාරයක් සම්බන්ධයෙන් තීරණයකට ඇවිල්ලා තිබුණේ 2016-2017 කාලයේ. මුලින්ම කණ්ඩායමක් යොදලා ප්‍රහාර සිදුකිරීමට උත්සහ කළත් එය කරගන්න බැරිවෙලා තිබෙනවා. ඉන් පසුව බැරිම තැනක තමා සාදික් කියන පුද්ගලයට කියල තිබුණේ බුදු පිළිමයක ශිර්ෂයට හෝ ගල් පහරක් ගහන්න හරි ඕනේ කියලා. සහරාන් දේශනා පවත්වද්දී ප්‍රහාර ගැන කියද්දී ෆයිටර් කෙනෙක් වෙන්න කැමතිද සූසයිඩර් කෙනෙක් වෙන්න කැමතිද කියල අහනවා. ෆයිටර් කෙනෙක් වෙන්න කැමති වුණත් ලංකාවේ ඒකට තත්ත්වයක් නැති නිසා පිටරටකට ගිහින් ෆයිට් කරන්න කැමති බව තමයි දේශනවලට සහභාගී වෙන අය කියල තිබුණේ. නමුත් සහරාන් කියන්නේ දේශනා කරද්දී හරිම ඇග්‍රසිව් පුද්ගලයෙක්. ඔහු දේශනා කරලා අහද්දී සූසයිඩර් කෙනෙක් වෙනවද කියල ඉන්න අය අත උස්සනවා. 2020 තමයි ඔහු ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරන්නේ. 2019 ඔහු සැලසුම් කරනවා තව දරුවෙක් හදන්න. ඒ නිසා ඔහු බිරිඳව යොමුකරනවා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් වෙත. එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගන්නත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් සකස් කළා. නමුත් ප්‍රහාරය ගැන 2019 අප්‍රේල් වෙද්දී තීරණය වෙනස් කරනවා. ඉක්මණින් ප්‍රහාරයක් එල්ල කරන්න අවශ්‍ය බව පැවසුවත් ඔහුගේ කණ්ඩායම ඒකට එකඟවෙන්නේ නැහැ. මතභේද මතුවෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රශ්න මතුවෙනවා. අප්‍රේල් 09 වගේ තමයි තීරණය කරන්නේ ප්‍රහාරයක් සිදුකරන්න. ඒක සහරාන්ගේ තනි තීරණයක්. නමුත් ඒ වෙද්දීත් නිශ්චිත දිනයක් තිබිලා නැහැ. අප්‍රේල් 18 වගේ තමයි නිශ්චිතව දිනය තීරණය කරන්නේ. ප්‍රහාරයෙන් පස්සේ සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රචණ්ඩත්වයට හසු වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා. එත් ආරක්ෂාව තහවුරුයි කියල කියන්න බැහැ. මොකද සහරාන්ට ඉහළින් සහරාන් මෙහෙයවූ පුද්ගලයන් ඉන්න බව විමර්ශන වලින් වැටහුණා. මම විශ්‍රාම යන තෙක්ම උත්සහ කළේ සහරාන්ව මෙහෙය වූ අයව හොයාගන්නයි. සහරාන් හෂීම්ට අයත් බැංකු ගිණුම් 41 ක් පිළිබඳ කරුණු හෙළිදරව් වුණා. ඒවා තහනම් කරන්න කටයුතු කළා. විමර්ශනවලදි හෙළිවුණේ ඔවුන්ට මුදල් යොදවා ඇත්තේ ඊබ්‍රහිම් සහෝදරයින් බවයි. රජයේ නීතීඥ – සහරාන්ගේ බිරිඳ හමුවෙන්න නියමිතව සිටි වෛද්‍යවරයා කවුරුන්ද කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබුණද? රවී සෙනෙවිරත්න මහතා – සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් කළේ එම වෛද්‍යවරයා හඳුනාගෙනයි. රජයේ නීතීඥ – ඒ ගැන වෛද්‍යවරයා සමඟ කතා කරලද තිබුණේ? රවී සෙනෙවිරත්න මහතා – විමර්ශන නිලධාරීන් එහෙම කළාද කියා දන්නේ නැහැ. යම්කිසි අයුරකින් ප්‍රහාරය අසාර්ථක වුවහොත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට තවත් සැලැස්මක් තිබුණු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ‘මරාගෙන මැරෙන බෝම්බකරුවකු අසාර්ථක වුවහොත් ඔහු පැමිණිය යුතු ස්ථානයක් කලින් සූදානම් කර තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වුණා. එම ස්ථානය දෙහිවල ප්‍රදේශයේ දේවස්ථානයක්. ප්‍රහාරකයා එතැනට පැමිණ පසු වෙනත් පුද්ගලයකු පැමිණ ඔහුව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න සැලසුම් කරලා තිබිලා තියෙනවා. එලෙස රැගෙන යන්න සූදානම් කරලා තිබුණු කෙනා අපි අත්අඩංගුවට ගත්තා.’ යැයි කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ නම කොළයක ලියා කොමිසමට ඉදිරිපත් කළේය. ‘මීට කලින් තොරතුරු ලැබුණා. නමුත් කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් තස්ලීම්ට වෙඩි තැබීමෙන් පසු මුස්ලිම් සමාජයෙන් තොරතුරු ලැබීම නතර වුණා.’ යැයි ද ඔහු කීවේය. රජයේ නීතිඥ: රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් ප්‍රහාරයක් එල්ල වෙන බවට ජාතික බුද්ධි ප්‍රධානියා වෙත යොමුකර තිබුණු ලිපිය පොලිස්පතිවරයා මඟින් ඔබට ලැබුණාද? රවී සෙනෙවිරත්න මහතා – මට ලැබුණේ නැහැ. නමුත් පොලිස්පතිවරයාට අප්‍රේල් 09 වැනිදා එවා තිබුණු ලිපියේ පිටපතක් අප්‍රේල් 16 මට ලැබුණා. අප්‍රේල් 07 වැනිදා මම විදෙස් ගත වුණා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන්ගේ හමුවකට සහභාගී වෙන්න. මම නැවත ආවේ 13 වැනිදා හවස. 14 සහ 15 අවුරුදු නිවාඩු දවස් නිසා මම නිවසේ රැඳී සිටියේ. නැවත රාජකාරී සඳහා ගියේ අප්‍රේල් 16 වැනිදා. ඒ අවස්ථාවේ තමයි මගේ පෞද්ගලික සහකාර විසින් මට මේ ලිපිය දුන්නේ. පොලිස්පති මට එය වෙනම යොමුකරලා තිබුණේ නැහැ. එම පිටපතේ නම් සඳහන් වෙලා තිබුණු ඇතැම් පුද්ගලයන් ගැන අවබෝධයක් තිබුණා. අලුත් නම් කිහිපයකුත් තිබුණා. නියෝජ්‍ය පොලිස්පතිවරු හතරදෙනෙකුට එය යොමුකරලා තිබුණා. මම අධ්‍යක්ෂ සමඟ මේ ගැන කතා කළා. ඒ වන විටත් අපිට තිබුණ වගකීම සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීම. ඒ සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විමර්ශන සිදුවෙමින් තිබුණේ. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් ජාතික බුද්ධි ප්‍රධානී වෙත යොමුකළ එම ලිපියෙහි නම සඳහන්ව තිබුණු ඒ් වන විටත් වරෙන්තු නිකුත් කර තිබුණු ආමී මොහිදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුගේ නිවසේදී මුණ ගැසී ඇති නමුත් ඔහු අත්අඩංගුවට නොගැනීම ගැන රජයේ නීතීඥවරයා ප්‍රශ්න කළ අතර ඒ් ගැන දැනීමක් නැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. කොමිසමේ සභාපති විනිසුරු – වරෙන්තු නිකුත් කර තිබෙන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෘජුව තොරතුරුකරුවෙකු ලෙස තබාගන්නේ නම් එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැන සිටිය යුතුයි නේද? රවී සෙනෙවිරත්න මහතා – තොරතුරුකරුවෙකු පවත්වාගෙන යාම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමට අවශ්‍ය නෑ සභාපති විනිසුරු – වරෙන්තු නිකුත් කර තිබෙන කෙනෙක් ගැන ඔබ දැන ගත යුතුයි නේද? රවී සෙනෙවිරත්න මහතා – වරෙන්තුකරුවකු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දැනුම්වත් වෙන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැදිහත් වීම අවශ්‍යයි නම් එය අධ්‍යක්ෂ හරහා මා වෙත දැම්නුවත් කරනවා. සභාපති විනිසුරු – අධ්‍යක්ෂවරයා විසින් එයට ඔබට දැනුම්දීම වැදගත් නේද? රවී සෙනෙවිරත්න මහතා – එය සුදුසුයි රවී සෙනෙවිරත්න මහතා – රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ප්‍රහාරය සම්බන්ධව ලැබී තිබුණු තොරතුර ගැන මා සමඟ කතා කළේ නෑ. අප්‍රේල් 14 වැනි දා නිලන්ත ජයවර්ධනට ඇමතුමක් ගත්තත් මේ ගැන කතා කළ බවක් මතක නෑ. මෙම ලිපිය ලද පසු මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සමඟ කතා කළා. ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරමින් සිටි විමර්ශන ගැන විමසුවා. ඒ වන විට විමර්ශන නිලධාරීන් නුවරඑළිය, වාලච්චේන, නැගෙනහිර පළාත, මන්නාරම යන ප්‍රදේශවල විමර්ශන කරගෙන යමින් සිටියා. ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පිටපතට සටහනක් යොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අප්‍රේල් 19 වැනිදා යොමුකළා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අප්‍රේල් 19 වැනිදා නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලැබී තිබුණේ අප්‍රේල් 23 වැනිදාය. එනම් එම ලිපිය ශානි අබේසේකර මහතා අතට පත්ව තිබුණේ අප්‍රේල් 23 වැනිදා ය. රජයේ අධිනීතිඥ – ඇයි ඒ ගැන වැඩිදුරටත් පැහැදිලිකර ගැනීම සඳහා පොලිස්පතිවරයා හෝ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගත්තේ නැත්තේ? රවී සෙනෙවිරත්න මහතා – මේ ගැන ගත යුතු පියවර ගැන සොයා බැලුවා. ඒ වන විට පොලිස්පති විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු දැනුම්වත් කරලා තිබුණේ. මම හිතුවා අපේ වැඩේ විමර්ශනය කරලා මේ අය අත්අඩංගුවට ගැනීම කියලා. ඒ නිසා මම අවධානය යොමු කළේ ඒ ගැන. කොමිසමේ සභාපති – රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමුකර තිබෙන ලිපිය දෙස බැලූ විට අවබෝධ වුණේ කුමක්ද? රවී සෙනෙවිරත්න මහතා – සහරාන්ගේ කණ්ඩායම ප්‍රහාරයකට සූදානම් වන බවයි සභාපති විනිසුරු – තොරතුර අනුව වියහැකිභාවයක් තිබුණද ? රවී සෙනෙවිරත්න මහතා – අප්‍රේල් 16 වැනිදා තත්ත්වය අනුව සිදුවීමේ ආසන්නතාවයක් මට දැනුණේ නැහැ ස්වාමීනි. සභාපති විනිසුරු – ඇයි? රවී සෙනෙවිරත්න මහතා – ලිපියේ වගේම රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු වාර්තාවේත් යන දෙකේම අවසානයට සඳහන් කරලා තිබෙනවා මේ ගැන රහසිගතව පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්න,ඔවුන්ටත් දැනුම් දෙන්න කියලා. ලිපියේ අවසාන කොටස දිහා බැලුවහම සිදුවීමේ ආසන්නතාවයක් නැහැ. සභාපති විනිසුරු – ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ කොපමණ කාලයක් සේවය කළාද? රවී සෙනෙවිරත්න මහතා – වසර 7ක් සභාපති විනිසුරු – වසර හතක සේවා කාලය තුළ බව බුද්ධි වාර්තා දැක තිබෙනවාද? රවී සෙනෙවිරත්න මහතා – ඔව් සභාපති විනිසුරු -බුද්ධි වාර්තා පිළියෙළ කර තිබෙනවාද? රවී සෙනෙවිරත්න මහතා – ඔව් සභාපති – රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් යොමුකරන ලද ලිපිය බුද්ධි වාර්තාවක්ද නැද්ද ? රවී සෙනෙවිරත්න මහතා – මම පිළියෙළ කර තිබෙන වර්තාවක කරුණු මම කියන්නම් ස්වාමීනි. වාර්තාව අවසානයේ අපි සාමාන්‍යයෙන් යොදනවා තොරතුරුකරු විශ්වාසවන්තයි තොරතුර සත්‍යයි කියලා. එහෙම නැත්නම් තොරතුරුකරු ඉතා විශ්වාසවන්තයි තොරතුර සත්‍යයි කියලා. සභාපති විනිසුරු – ඔබ එලෙස සඳහන් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද පුහුණුව නිසාද? රවී සෙනෙවිරත්න මහතා – – ඔව්. බුද්ධි වාර්තාවක් සෑදීමේදී අදාළ කරුණු සටහන් කරන අතර ඊට සම්බන්ධව පවතින තවත් කරුණු ඇත්නම් ඒවා සටහන් කිරීමත් අවශ්‍යයි. සිදුවීමක් සිදුවන්නේ නම් එය සිදුවන ආසන්නතම වෙලාව, දවස, ස්ථාන අාදිය පිළිබඳවද සඳහන් කළ යුතුයි. සභාපති විනිසුරු – බුද්ධි වාර්තාව අවසානයේ නිර්දේශ සඳහන් කරනවද? රවී සෙනෙවිරත්න මහතා – සමහර අවස්ථාවල පවතින කරුණු පාදක කරගෙන නිර්දේශ සඳහන් කරනවා. ඒවගේම තමයි බුද්ධි වාර්තාව සකස් කරන නිලධාරියාගේ නිරීක්ෂණත් සඳහන් කරනවා. සභාපති විනිසුරු – ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහරාන්ගේ සම්බන්ධයක් පවතින බවට තොරතුරු තිබුණ බවත්, ආමී මොහිදීන් සැඟවිලා සිටි තැන ගැන දැනුවත්ව සිටීමත්, රිල්වාන්, සාහිඩ් යන අය ගැන පැවති දැනුම්වත්භාවයත් යානදියත් එක්ක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂගෙන් ලද ලේඛනයේ අපැහැදිලි බවක් තිබෙනවා කියල නිගමනය කළ හැකිද? රවී සෙනෙවිරත්න මහතා – අප ළඟ තිබුණ හා නොතිබුණ පුද්ගලයන්ගේ නම් එහි තිබුණ නිසා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයෙන් ඒ ගැන හොයන්න යෙදවූයේ. නමුත් මේ වාර්තාවේ අවසානයට තිබෙන වාක්‍ය අවිනිශ්චිතයි. සභාපති විනිසුරු- එම ලේඛනයේ අන්තිම වාක්‍ය නැත්නම් එය සලකා බැලීමේදී ප්‍රහාරයක් විය හැකි බව තිබෙනවාද? රවී සෙනෙවිරත්න මහතා – ඔව් සභාපති විනිසුරු – රහසිගත පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධි සේවයේ ලියුම් වලට එකතු කරනවාද? රවී සෙනෙවිරත්න මහතා – නැහැ . රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අප්‍රේල් 09 වැනිදා ජාතික බුද්ධි ප්‍රධානී වෙත යොමුකර තිබුණු ලිපිය බුද්ධි තොරතුරක් නොව එය තොරතුරක් පමණයි. රජයේ නීතිඥ – 2019.04.20 වැනි දින ඔබට පැය 16.57.46 ට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තත්පර 271ක දුරකථන ඇමතුමක් ලැබිලා තිබෙන බව පිළිගන්නවාද? රවී සෙනෙවිරත්න මහතා – ඔව් ස්වාමීනි රජයේ නීතිඥ – රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ඔබට දැනුම් දුන්නේ කුමක්ද? රවී සෙනෙවිරත්න මහතා – සහරාන්ගේ කණ්ඩායම විසින් කතෝලික පල්ලි කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බව දැනුම් දුන්නා. රජයේ නීතිඥ: ඔබ මොනවද ගත් පියවර? රවී සෙනෙවිරත්න මහතා – පාලමුණේ පිපිරිම ගැන විමර්ශනයේ තත්ත්වය බැලුවා. සහරාන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණාද කියලා බැලුවා. පොලිස්පතිතුමාට කතා කරලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂගේ තොරතුර අනුව කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව දැනුම් දුන්නා. රජයේ නීතිඥ – පොලිස්පතිතුමාට කිව්වට පස්සේ ඔහු මොනවද කිව්වේ? රවී සෙනෙවිරත්න මහතා – මේ ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ දැනුම්වත් කරන්න කිව්වා. මම නන්දන මුණසිංහ මහත්මයට කතා කරලා දැනුම්වත් කළා. අප්‍රේල් 20 වැනිදා පැය 17.46.53ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා තත්පර 242ක දුරකථන ඇමතුමක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට ලබාගෙන තිබේ. රජයේ නීතිඥ – නන්දන මුණසිංහ මහත්මයා මොනවද කිව්වේ? රවී සෙනෙවිරත්න මහතා – ඒ වනවිටත් පල්ලිවලට ආරක්ෂාව යොදවා තිබෙනවා කියලා නන්දන මුණසිංහ මහත්මයා මට කිව්වා. අවශ්‍ය නම් තවදුරටත් ආරක්ෂාව වැඩි කරනවා කියලත් ඔහු කිව්වා. ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වෙත ලැබුණු දුරකථන පණිවිඩයත් මම ගෙන්වාගත්තා. එය පොලිස්පතිවරයාට හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වෙන යොමු කළා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකර මහතා දැනුම්වත් කළා. වික්‍රමසේකර මහතා සතුව තිබුණු පාලමුණේ පිපිරීමේ සිදුවීමට අදාළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණු යතුරු පැදි අංකය ගෙන්වාගෙන එය පොලිස්පතිවරයාට හා නන්දන මුණසිංහ මහතාට යැව්වා. අප්‍රේල් 21 වැනිදාත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් ප්‍රහාරය ගැන එස්එම්එස් පණිවුඩයක් එවලා තිබුණා. නමුත් එම එස්එම්එස් පණිවුඩය දැක්කේ පිපිරීම වුණාට පස්සේ. රජයේ නීතීඥ – ආරක්ෂක මණ්ඩලයට ගිහින් තිබෙනවද? රවී සෙනෙවිරත්න මහතා – මම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙක් නොවෙයි. කැඳවීමක් ලැබුණොත් පමණක් යනවා. පාස්කු ප්‍රහාරයට පෙර මා ආරක්ෂක මණ්ඩලයට කැඳවූයේ 2018 වසරේ දෙසැම්බර් මුල් සතියේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට. එලෙස කැඳවූයේ වව්නතිව් ප්‍රදේශයේදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය ව්මසීම සඳහායි. එම කරුණු දැක්වීමෙන් අනතුරුව ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන්නා. රවී සෙනෙවිරත්න මහතා – වනාතවිල්ලුව සම්බන්ධයෙන් අනාවරණය වූයේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිදුවීම ගැන විමර්ශන කරද්දී. වනාතවිල්ලුව සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් රඳවාගෙන විමර්ශන කළා. අනතුරුව සාක්කි නොතිබුණු නිසා දෙදෙනකු මුදා හැරියා. අනිත් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. සහරාන් හෂීම් ගැන පළමුවරට අනාවරණය වූයේ ඒ අනුවයි. ඒ අනුව 2019 ජනවාරි 05 වැනිදා වනාත්විල්ලුවෙන් සොයාගත් දේවල් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කළා. පොලිස්පතිවරයා හමුවෙලත් දැනුම්වත් කළා. වනාතවිල්ලුව අවි ආයුධ රැස්කරන හා අවි පුහුණුව දෙන කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් තිබුණා. රසායනික ද්‍රව්‍ය යොදාගෙන පුපුරන ද්‍රව්‍ය නිපදවා තිබුණා. ඒ් අනුව ඉදිරියේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත. ආරක්ෂක මණ්ඩලයට එය දැනුම් දිය යුතු වුවත් ඒ වන විට පොලිස්පතිවරයාව ආරක්ෂක මණ්ඩලයට කැඳවා නැති නිසා ඒ ගැන ආරක්ෂක මණ්ඩලයට දැනුම් දීමට අවස්ථාවක් නොමැති බව පසුව වැටහුණා.

කොමිසමේ ඉදිරිපත් වූ චෝදනා හිටපු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි
(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා)
පාස්කු ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරු මෙරටට ලැබුණු අප්‍රේල් 4 සිට 21 වැනිදා දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර දුරකථන ඇමතුම් 20ක් පමණ සිදුව තිබෙන බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේදී චෝදනා එල්ල විය. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කොමිෂන් සභාවේදී සිරිසේන මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසූ අතර ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරයා නිරන්තරයෙන් දුරකථනය හරහා සම්බන්ධ වූයේ ද යන්න හෙතෙම සාක්ෂිකරුගෙන් විමසුවේය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ එසේ නිරන්තරයෙන් දුරකථන ඇමතුම් හුවමාරු නොවූ බවයි. 2019 ජනවාරි 1 වැනිදා සිට මාර්තු 31 දක්වා ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදු වූ දුරකථන සංවාදයන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් ද ජනාධිපති නීතිඥවරයා විසින් සාක්ෂිකරුට පෙන්වා දෙනු ලැබූ අතර එය පරීක්ෂා කර බැලූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එහි සඳහන් දුරකථන අංක පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවයි.” මම ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා මේ ලේඛනය පරීක්ෂා කර බැලිය යුතුයි,” යැයි ඔහු පැවැසීය. එම ලේඛනයේ හිටපු ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසට අයත් දුරකථන අංක හයක් සඳහන් වනවා නේදැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයි පැවසුවේ තමන් ඒ බව පිළිගන්නා බවයි. අදාළ ලේඛනයෙහි සඳහන් දත්ත අනුව 2019 ජනවාරි සිට අප්‍රේල් දක්වා පමණක් ඔවුන් දෙදෙනා අතර දුරකථන ඇමතුම් 221ක් පමණ හුවමාරු වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය. කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ එම දුරකථන ඇමතුම් සියල්ලම තමන්ට ලැබුන බවට පිළිගත නොහැකි බවයි. “නිල නිවසට හරි දුරකථන ඇමතුම් එන්න ඇති. නමුත් ඒ සියල්ල මට ලැබුනා කියලා කියන්න අමාරුයි” යැයි ඔහු කීවේය . 2019 අප්‍රේල් 20 දින සවස 6.16ට පමණ ජයවර්ධන මහතා දුරකථන ඇමතුමක් ලබා දුන්නේදැයි විමසූ අවස්ථාවේ ඔහු පැවැසුවේ එදින තමන් සිංගප්පූරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි. එදින ආරක්ෂක නිලධාරියෙකුට හෝ තමන් ලඟට ඒමට හැකියාවක් නොතිබූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන 7.59ට පමණ ඔහු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව දුරකථන ඇමතුම් දත්ත වාර්තාවල සඳහන් වන බව ජනාධිපති නීතිඥවරයා සිරිසේන මහතාට පෙන්වා දුන්නේය. එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, තමන් මුලින්ම ජයවර්ධන මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයේ බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් පසුව බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපති නීතිඥවරයා කොමිෂන් සභාව හමුවේ කියාසිටියේ අදාළ වාර්තාවට අනුව 21 දින උදෑසන කාලයේදී හිටපු ජනාධිපතිවරයා දුරකථන ඇමතුම් රාශියක් ලබාගෙන ඇති බවයි. “වාර්තාවේ කොහොම සඳහන් වුණත් බෝම්බ ප්‍රහාරය සිදුවෙනකල්ම මම හිටියේ රෝහල්ගතව. ඒ වෙලාවේ දුරකථන ඇමතුම් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. සිදුවීම ආරංචි උනාට පසුව තමයි මාව හෝටලයට ගෙනාවේ” යැයි සිරිසේන මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් දුරකථන ඇමතුම් දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් 20 දින සහ 21 දින බෝම්බ ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපතිවරයා සහ ජයවර්ධන මහතා අතර දුරකථන සංවාදයන් සිදුව තිබෙන බව තහවුරු වන බව ජනාධිපති නීතිඥවරයා පැවසු අතර සිරිසේන මහතා පැවසුවේ තමන් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම අදාළ වාර්තාවට අනුව බෝම්බ ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා අතර දුරකථන ඇමතුම් හතක් පමණ හුවමාරු වී ඇති බවද හෙතෙම කොමිෂන් සභාවට දැනුම්දුන්නේය. බෝම්බ ප්‍රහාරය සිදුවීමට පෙර දුරකථන ඇමතුමක් හෝ ලබාගැනීමට නොහැකි දුර්වල තත්ත්වයක සිටියේ නම් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඒ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබාගත්තේ කෙසේ ද යන්න ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය . ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ, “ඒ වෙද්දිත් මම දැඩි අපහසුතාවයකින් හිටියේ. ඒ වුණත් සිදුවෙලා තිබුණු සිදුවීම බරපතල ඛේදවාචකයක් නිසා මම අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා, හමුදාපතිවරුන් ඇතුළු සියළුම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ගත යුතු පියවර සම්බන්ධයෙන්,”යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය. එතරම් බරපතල ලෙස රෝගීව සිටියේ නම් එදිනම රාත්‍රියේ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේ ද යන්න පෙරේරා මහතා සිරිසේන මහතාගෙන් විමසීය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ ඊට අදාළ වෛද්‍ය වාර්තා රහසිගතව කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කළ හැකි බවයි. අප්‍රේල් 21 වැනිදා උදෑසන 8.58ට පමණ තත්පර 133ක දුරකථන ඇමතුමකුත්, උදෑසන 9.13ට පමණ තත්පර 184ක දුරකථන ඇමතුමකුත්, එදිනම දහවල් 1.10ට පමණ තත්පර 688ක දුරකථන ඇමතුමකුත් හිටපු ජනාධිපතිවරයා සහ ජයවර්ධන මහතා අතර සිදුව තිබෙන බවද කොමිසමේදී අනාවරණය විය. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා යම්කිසි විරෝධයක් දැක්වීය. ජනාධිපති නීතිඥවරයා- මම ඔබට යෝජනා කරනවා කොමිෂන් සභාව ඉදිරියේ මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව ඔබ ජයවර්ධන මහතාගෙන් නිරන්තරයෙන් ආරක්ෂාව සම්බන්ධ උපදෙස් ලබාගෙන තියෙනවා කියලා? හිටපු ජනාධිපතිවරයා – මම එය පිළිගන්නේ නැහැ. බොහෝ විට ආරක්ෂාව පිළිබඳව උපදෙස් ලබාගත්තේ හමුදාපතිවරුන්ගෙන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගෙන්. ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුර පිළිබඳව අවම වශයෙන් පුද්ගලයින් 15,000ක් පමණ දැන සිටින්නට ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා කොමිෂන් සභාව හමුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ජනාධිපති නීතිඥවරයා සිරිසේන මහතාගෙන් විමසා සිටියේය. එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එතරම් ප්‍රමාණයක් ඒ පිළිබඳව දැන සිටියත් ඔහු 2019 අප්‍රේල් 16 දින විදේශගත වන අවස්ථාවේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා හෝ ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි. ජනාධිපති නීතිඥවරයා- ඒ කියන්නේ ජනාධිපති සහ ආරක්ෂක ඇමති ලෙස අර 15,000න් එක්කෙනෙක්වත් ඔබව මේ පිළිබඳව දැනුවත් කළේ නැද්ද? හිටපු ජනාධිපතිවරයා – කිසිම කෙනෙක් මාව දැනුවත් කළේ නැහැ. ජනාධිපති නීතිඥවරයා- එය පිළිගන්න පුළුවන් කතාවක් ද? හිටපු ජනාධිපතිවරයා – ඒ 15,000 හැදුනේ කොහොමද කියලා මටත් හිතාගන්න අපහසුයි. 15,000ක් ඒ තොරතුර පිළිබඳව දැනගත්තා කියලා විශ්වාස කරන්න අපහසුයි. මේ අතර ආරක්ෂක අමාත්‍ය ධූරය බාරගැනීමේදී රටේ ජනතාවට ආරක්ෂාව ලබාදිය හැකි බවට ඔහු නිගමනය කළේ ද යන්න විමසූ අවස්ථාවේ සිරිසේන මහතා පැවැසුවේ ආරක්ෂක ලබාදිය හැකි බවට තමන් නිගමනය කළ බවයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවට වගකිව යුතුයි නේදැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සාක්ෂිකරුගෙන් විමසීය. එවැනි දෙයක් සිදු වුවහොත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති නීතිඥවරයා- පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සිදුවීම තුළින් පැහැදිළි වන්නේ ඔබ ඔබේ වගකීම නිසි පරිදි ඉටු කරලා නැහැ කියලා මම යෝජනා කරනවා.
හිටපු ජනාධිපතිවරයා – මම එය පිලිගන්නේ නැහැ. මට පෙර ජනාධිපති ධූරය දැරූ සියළුම අයගේ පාලන කාලයේ මෙවැනි සිදුවීම් සිදු වුණා. එහෙනම් ඔවුන් කිසිවෙකුත් ඔවුන්ගේ වගකීම් ඉටු කරලා නැහැ. මෙවැනි සිදුවීමක් සිදුවීම වළක්වාගන්න මම හැකි සෑම පියවරක්ම ගත්තා.
ජනාධිපති නීතිඥවරයා- මම ඔබට යෝජනා කරනවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වීම තුළින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔබ සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව?
හිටපු ජනාධිපතිවරයා – මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
ජනාධිපති නීතිඥවරයා- මම ඔබට තවදුරටත් යෝජනා කරනවා මෙම ප්‍රහාරය සිදුවීම තුළින් ඔබ ආරක්ෂක සහ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ඔබේ රාජකාරිය සම්පූර්ණයෙන්ම පැහැරහැර ඇති බව.
හිටපු ජනාධිපතිවරයා -එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුගේ වගකීම් පැහැර හැර ඔහු යටතේ සේවය කරන වෙනත් නිලධාරීන්ට සෘජුව චෝදනා කිරීම හරහා කතෝලික ජනතාවට විශාල අගතියක් සිදුව තිබෙන බව ඔහු පිළිගන්නේ ද යන්න විමසූ අවස්ථාවේ සාක්ෂිකරු පැවසුවේ තමන් එය පිළිනොගන්නා බවයි. ” මම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී සිදු වූ මේ සිදුවීම නිසා විශාල පිරිසක් මියගියා. ඒ අතර කතෝලික ජනතාව විශාල පිරිසක් හිටියා. ඒ ගැන මම දැඩි ලෙස කම්පාවට පත් වෙනවා” යැයි ඔහු පැවැසීය. එමෙන්ම කතෝලික බැතිමතුන් ඇතුළු 300කට ආසන්න පිරිසකගේ මරණවලට හිටපු ජනාධිපතිවරයා මූලික වශයෙන් වගකිව යුතු බව ජනාධිපති නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළේය .

පාස්කු ප්‍රහාරය සාමුහික ප්‍රයත්නයේ අසමත් වීමක් – පූජිත
(හසරිඳු රාජපක්ෂ)
පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සාමූහික ප්‍රයත්නයේ අසමත්වීමක් බවත්, එය සමස්ත පද්ධතියේම තිබූ දුර්වලතාවයක් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. එමෙන්ම ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට ලැබුණු විදෙස් තොරතුර සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ඇමති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජාතික ආරක්ෂක කවුන්සිලය වැනි සියළු ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවද පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේය. එමෙන්ම යම් යම් සිදුවීම් නිසා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා දුරකථනයෙන් තමන්ට කතා කිරීම පවා අඩු වූ බව නිරීක්ෂණය වූ බවත් ඔහු පැවසීය. හිටපු ජනාධිපති සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර වෙනුවෙන් පෙනීසිටින නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥ මධූ ජයතිලක මහත්මිය සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසූහ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා විසින් අදාළ විදෙස් තොරතුර සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 9 දින පොලිස්පතිවරයාට දැනුම්දීමෙන් අනතුරුව හිටපු පොලිස්පතිවරයා යටතේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හතර දෙනකු ඒ පිළිබඳව දුරකථනයෙන් දැනුම්වත් කළේ ද යන්න නීතිඥ ජයතිලක මහත්මිය සාක්ෂිකරුගෙන් විමසුවාය. ඊට පිළිතුරු වශයෙන් හිටපු පොලිස්පතිවරයා පැවැසුවේ තමන් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ඔවුන්ට දැනුම් දුන් බවයි. කෙසේ නමුත් ඔහු විසින් ලබාගත් එම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් දුරකථන දත්ත වාර්තා වල සඳහන් නොවන බවත් ඔහු පැවැසීය. “අනිවාර්ය නිවාඩු යවන්න පෙර වගේම පසුවත් මා පිළිබඳව හොයන්න නිලධාරීන් යොදවලා තිබුණා. මම වාහනෙන් කොහේහරි යනකොට යතුරුපැදිකරුවන් පසුපසින් ආවා. එවැනි තත්ත්වයක් තුළයි මම රාජකාරි කළේ” යැයි ඔහු පැවැසීය. සහරාන් ඇතුළු කණ්ඩායම විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට වන තොරතුර ලැබුණේ විදෙස් රටකින් නිසා පොලිසිය ඒ පිළිබඳව වැඩි අවධානයක් නොදැක්වීම හේතුවෙන් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය වළක්වා ගත නොහැකි වූ බව පිළිගන්නේ ද යන්න ජනාධිපති නීතිඥ සිල්වා මහතා සාක්ෂිකරුගෙන් විමසීය. ඊට පිළිතුරු වශයෙන් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ තමන් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. පොලිසියට පැවැරී ඇති බලතල අනුව ගත හැකි සෑම පියවරක්ම අදාළ තොරතුර සම්බන්ධයෙන් ගත් බව ඔහු පැවැසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමහර අංශවල යම් යම් අඩුපාඩු තිබූ නමුත් සමස්තයක් ලෙස පොලිසිය සතුටුදායක ආකාරයකින් අදාළ තොරතුර සම්බන්ධයෙන් ක්‍රියා කළ බවත් ය. අදාළ විදෙස් තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිශ්චිත බුද්ධි තොරතුරක් ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවත්, ආරක්ෂක අමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නම් එම ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් ඔහු පැවසීය. එම තොරතුර ලැබුණු කාල සීමාව තුළ පොලිස් නිලධාරීන් බොහෝමයක් නිවාඩු ලබාගෙන සිටියේද යන්න විමසූ අවස්ථාවේ ජයසුන්දර මහතා සඳහන් කළේ පොලිස් නිලධාරීන් නිවාඩු ලබාගැනීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක් බවයි. මේ අතර 2019 අප්‍රේල් 12 වැනිදා හිටපු ජනාධිපතිවරයා මඩකලපුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අවස්ථාවේ අදාළ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ඔහු දැනුවත් නොකළේ මන්ද යන්න ජනාධිපති නීතිඥ සිල්වා මහතා සාක්ෂිකරුගෙන් විමසුවේය. පිළිතුරු වශයෙන් හිටපු පොලිස්පතිවරයා පැවැසුවේ එවැනි සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පිටව යාමට පෙර ඊට අදාළ ආරක්ෂක තත්ත්ව වාර්තා සකස් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් බවයි. එවැනි තත්ත්වයක් තුළ මේ තොරතුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කළ යුතුව තිබුනේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා බව ඔහු පැවැසීය.


මලල්ගොඩ කමිටුවට දුන් සාක්ෂි වෙනස් කරලා – හේමසිරි ප්‍රනාන්දු
(හසරිඳු රාජපක්ෂ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාවේ අන්තර්ගත වන්නේ තමන් නොපැවසූ කරුණු බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය. එමෙන්ම 2019 අප්‍රේල් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති සිරිසේන මහතා රෝහල්ගතව සිටි බවට හිටපු ජනපතිවරයා පැවසූවද ඔහු මෙරටින් පිටව යන අවස්ථාවේ කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවු බව ප්‍රනාන්දු මහතා කීවේය. මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා හිටපු ජනාධිපති විසින් මුල්වරට පත් කෙරුණු මලල්ගොඩ කමිටුව සම්බන්ධයෙන් සහ ඊට හේමසිරි ප්‍රනාන්දු මහතා ලබාදී ඇති සාක්ෂි සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමුකළේය. සහරාන් හෂිම්ගේ අන්තාවාදී නැගීම් සිදුවන සමයේ මෙරට පොලිස්පතිවරයාව සිටි එන්. කේ. ඉලංගකෝන් මහතා සහ එම කාලය තුළ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්ව සිටි පත්මසිරි ජයමාන්න යන මහත්වරුන් එම කමිටුවට නම් කිරීම සදාචාරමය නොවන බව සාක්ෂි ලබදීම අරඹමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිෂන් සභාවට සදහන් කළේය. “මලල්ගොඩ කමිටුවේ අවසන් වාර්තාවේ මගේ සාක්ෂිය ලෙස සටහන් වන ඇතැම් කරුණු නිවැරදි ලෙස වාර්තා කර නැහැ. කිසිදු අවස්ථාවක සාක්ෂිය අවසානයේ එය නිවැරදිව සටහන් කර ඇති බවට මගෙන් කිසිදු අත්සනක් ගත්තෙත් නැහැ. මේ කමිටු වාර්තාව සති දෙකකින් දෙන්න තිබුණේ. අතුරු වාර්තාත් දීලා ඒ තරම් ඉක්මණට කොහොමද ඒ සිදුවීම ගැන සාධාරණ වාර්තාවක් ලබා දෙන්නේ. මම පැහැදිලිව කියනවා මම නොකියූ දේවල් එහි සටහන් වෙලා තියෙනවා,” යැය ඔහු පැවසීය. නීතිඥ දිල්ශාන් ජයසූරිය – ප්‍රහාරයෙන් පසුව එවකට සිටි ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා එවකට පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවට ප්‍රකාශයක් කර තිබෙනවා නේද? හිටපු ආරක්ෂක ලේකම්වරයා – මළල්ගොඩ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමටත් පෙර මා සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශය හරහා හිටපු ජනාධිපතිවරයා වැඩිපුර හුවා දැක්වූයේ පොලිස්පති හා මම ඔහුට ඒ බුද්ධි තොරතුර ගැන දැනුවත් නොකිරීම. කොහොමත් මගේ සේවා කාලය තුළ එක දවසකවත් මම ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු කියලා නැහැ. එය සම්ප්‍රදායක් ලෙසම කළේ රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින්. ඒ තත්ත්වය මත ඒ වරද අපේ පිටට දැමීම කොහෙත්ම පිළිගන්නේ නැහැ,” එමෙන්ම එම බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවය විසින් සකස් කරන සති බුද්ධි වාර්තාවේ සඳහන් කළ යුතුව තිබූ බවත් ඔහු සඳහන් කළේය. “එහෙම වුණානම් ඒ පිළිබඳ දැනගත යුතු පාර්ශව සියල්ල හමුදා බුද්ධි අංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියලු දෙනා ඒ ගැන අවබෝධයක් ලබා ගන්නවා. ඒ සඳහා සාකච්ජා කරලා ක්‍රියාකාරී මෙහෙයුමක් හදාගන්නත් තිබුණා” යැයි ඔහු පැවසීය. 2019 අප්‍රේල් 19 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට යොමු කර තිබූ වාර්තාව තමන්ට එවා නොතිබූ බවත්, එය යොමු කර තිබුණේ නම් සියලු දෙනා කැඳවා සාකච්ඡා කොට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කළ හැකිව තිබූ බවත් ඔහු කීවේය. නීතිඥ දිල්ශාන් මහතා – සහරාන් අත්අඩංගුවට ගන්න කියල ඔබේ සේවා කාලයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ජාතික ආරක්ෂක මණ්ඩලයට නිර්දේශ කර තිබෙනවා ද? හිටපු ආරක්ෂක ලේකම් – මට එහෙම මතකයක් නැහැ ස්වාමීනි. මගේ සේවා කාලයට පෙර කිව්වද දන්නේ නැහැ. මගේ කාලය තුළ එහෙම නිර්දේශ කළා කියල මට මතකයක් නැහැ. රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂකවරයා විසින් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගත යුතු බවට ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී පැවසුවාද යන්න ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ තමන්ට එවැනි සිදුවීමක් පිළිබඳව මතකයක් නොමැති බවයි.”මම එම ධූරයට පත්වීමට පෙර එවැනි නිර්දේශයක් කළා ද කියල මම දන්නේ නැහැ” යැයි හෙතෙම කීවේය. අප්‍රේල් 4 සිට 20 දක්වා වූ කාලය තුළ ප්‍රහාරයට සම්බන්ධ කිසිදු වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් තමන්ට ලබා නොදුන් බවත් ඔහු පැවසීය. අප්‍රේල් 04 සිට 21 දක්වා කාලය තුළ ජයවර්ධන මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලුවේ නැතිදැයි යන්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ එවනි කිසිදු ඉල්ලීමක් නොකළ බවයි. “එහෙම ඉල්ලීමක් නැතිව ඕනෑම අවස්ථාවක මාව මුණ ගැහෙන්න ඔහුට අවසරය දීලා තිබුණේ. ඔහුට පමණක් නෙවෙයි ජාතික බුද්ධි ප්‍රධානී හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීටත් ඒ අවසරය තිබුණා,” යැයි ඔහු සඳහන් කළේය.
බුද්ධි තොරතුර ගැන පුද්ගලයින් 15000ක්වත් දැනගෙන සිටින්න ඇති – නිලන්ත ජයවර්ධන
(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා) ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට ඉඩ ඇති බවට ලැබුණු විදෙස් බුද්ධි තොරතුර සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් පහළොස් දහසක් පමණ දැනුවත්ව සිටින්නට ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පැවසීය. එමෙන්ම 2019 අප්‍රේල් 20 වැනිදා විට මෙරට පිහිටි තානාපති කාර්යාල ද එම විදේශ බුද්ධි තොරතුර පිළිබඳව දැන සිටින්නට ඇති බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කීවේය. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා විසින් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසන ලදී. ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් සහ ප්‍රහාරයක සූදානමක් පිළිබඳව ලැබුණු විදෙස් බුද්ධි තොරතුර පිළිබඳව අවම වශයෙන් පුද්ගලයන් 15,000ක්වත් දැන සිටින්නට ඇති බවට ඔහු කළ ප්‍රකාශය වගකීමෙන් යුතුව කළ එකක්ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ඔහුගෙන් විමසුවේය. ඊට පිළිතුරු වශයෙන් ජයවර්ධන මහතා කියා සිටියේ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි සැලකිල්ලට ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවයි. එම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතරකට පමණ දැනුම් දී තිබූ බව හිටපු පොලිස්පතිවරයා පැවසූ බවත්, එම කොට්ඨාස හතරේ ආසන්න වශයෙන් නිලධාරීන් අට දහසක් පමණ සිටින බවත් ඔහු සඳහන් කළේය. තවදුරටත් සාක්ෂි දෙමින් හෙතෙම කියා සිටියේ අදාළ බුද්ධි තොරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ආරක්ෂක අංශ වෙත ද යොමු කර තිබූ බවයි. “මේ සියල්ල සලකා බලන විට සහරානුත් මේ බුද්ධි තොරතුර ගැන දැන සිටින්නට ඇති. පුද්ගලයන් දස දහසක් නොවෙයි, පහළොස් දහසක පමණ ප්‍රමාණයක් මේ පිළිබඳව දැනගෙන ඉන්න ඇති,” යැයි ඔහු පැවැසීය. එමෙන්ම අදාළ බුද්ධි තොරතුර 2019 අප්‍රේල් 7 වැනිදා දක්වා තමන් සන්තකයේ තිබූ බවත් ඊට පසුව එය අදාළ නිලධාරීන්ට සහ ආයතනවලට බාර දීමට තමන් කටයුතු කළ බවත් හෙතෙම පසුව පැවසීය. ජාතික තව්හීද් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් පිළිබඳව විදේශ බුද්ධි අංශ ද දැන සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදු කරනු ලැබූ ඉදිරිපත් කිරීම් හරහා බව ඔහු සඳහන් කළේය. එමෙන්ම විදෙස් බුද්ධි අංශ විසින් ලබා දුන් ඕනෑම දෙයක් වටිනා දෙයක් ලෙස සැලකූ බලධාරීන් දේශීය බුද්ධි අංශ විසින් එම තොරතුරම ලබා දුන්නත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීම ගැටළුවක්ව තිබූ බවත් ඔහු කීවේය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා සහරාන්ට ඉන්දියාවට පලා යාමට උදව් කළ බවට වාර්තා වූ සිදුවීම දේශපාලන කාරණයක් බව ද එය සනාථ වූ තොරතුරක් නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ වගකීම බාර නොගන්නා බවට ඔහු විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේ ජයවර්ධන මහතා පැවසුවේ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි. “මම කළේ මොකක්ද කියලා මම දන්නවා. මම කිසිවෙකුට ඇඟිල්ල දිගුකරන්නෙත් නැහැ. මම කොමිෂන් සභාව හමුවේ නිවැරදි සාක්ෂි ලබාදීලා තියෙනවා. ඒ නිසා මම හිරේ යනවද නැද්ද කියන එක ඔවුන් විසින් තීරණය කරයි” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.


විශාලම බුද්ධි අංශය වූ යුද හමුදා බුද්ධි අංශයෙනුත් ආගමික අන්තවාදය ගැන තොරතුරු ලැබුණේ නෑ – මෛත්‍රී
(හසරිඳු රාජපක්ෂ )
මෙරට ක්‍රියාත්මක වන විශාලතම බුද්ධි බලකාය වන යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය සහ නාවික හමුදා බුද්ධි අංශ වැනි ආයතන හරහා ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු නොලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හතරවන දිනටත් කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් එසේ සඳහන් කළේය. 2019 අප්‍රේල් මාසය වන විට රට තුළ කිසිදු යුදමය වාතාවරණයක් නොතිබූ බැවින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නොදැනුණ බව ද හෙතෙම පැවසීය. පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ අනිකුත් ආයතන සහ නිලධාරීන්ට අදාල බලතල සහ කාර්‍යයන් පැහැදිළිව සඳහන් කර තිබෙන බවත් ඔවුන් තමන්ගේ රාජකාරිය ඉටු කළ යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. හිටපු ජනාධිපතිවරයා 2019 අප්‍රේල් මස විදෙස්ගත වූ අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා කිසිවෙකුත් පත් කොට නොතිබීම පිළිබඳව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේ ⁣දී හෙතෙම මෙසේ පැවසීය. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය: හදිසි අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාව කැඳවීමට සහ හදිසි නීතිය පැනවීමට බලතල ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයාට බැවින් ඔබ විදේශගත වූ අවස්ථාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කළේ නම් 2019 අප්‍රේල් 20 වන දින ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනීමේ හැකියාව තිබුණා නේද? හිටපු ජනාධිපති : 2019 අප්‍රේල් 10 වන දින වන විටත් හිටපු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ප්‍රහාරයක අවදානම පිළිබඳව දැන සිටි බැවින් ඔවුන් අවම වශයෙන් ජනාධිපති ලේකම්වරයාව අදාළ තොරතුර සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතුව තිබුණා. මේ පිළිබඳව දැනගෙන සිටි ආරක්ෂක අමාත්‍යංශයේ කුමන හෝ නිලධාරියෙක් එවකට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න දැනුවත් කළා නම් ප්‍රහාරය වළක්වාගැනීමට යම්කිසි පියවරක් ගත හැකිව තිබුණා. එහෙනම් ඔහු සියලු දෙනා දැනුවත් කරලා මටත් දුරකතනයෙන් හෝ මේ බව දැනුම් දෙනවා කියලා මට විශ්වාසයි. ඒ නිසා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කළේ නැති නිසා හදිසි නීතිය පනවන්න බැරිවුණා කියන දේට මම එකඟ වන්නේ නැහැ. ” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යුද්ධය අවසන් වීමෙන් පසු කාලයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශගත වූ අවස්ථාවලදී පවා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකළ බවයි. එවැනි තත්ත්වයක් තුළ 2019 අප්‍රේල් මාසය වන විට රට තුළ කිසිදු යුධමය වාතාවරණයක් නොතිබූ බැවින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නොදැනුණ බව හෙතෙම කීවේය. ඉස්ලාම් අන්තවාදය සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමන් ආරක්ෂක අංශවලට සහ අදාල නිලධාරීන්ට අවස්ථා ගණනාවකදී උපදෙස් ලබා දී ඇතැයි සිරිසේන මහතා පැවසුවද ඒ සම්බන්ධයෙන් වන කිසිදු ලිඛිත සාක්ෂියක් ඒ මහතා කොමිෂන් සභාවට ඉදිරිපත් නොකළේය. ඒ පිළිබඳව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ඊට අදාළ ලේඛන ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තිබිය හැකි බවත් එම ලේඛන කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ඒ පිළිබඳව පරීක්ෂා කළ යුතු බවත්ය. එමෙන්ම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව වගකීම භාරගන්නේ නම් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩගේ සභාපතීත්වයෙන් පත් කළ කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරන බවට තමන් ප්‍රකාශ කළ බවට කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද සිරිසේන මහතා කීවේය. “හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රධානත්වය දරන ලද කමිටුවක වාර්තාවක් වෙනස් කරන්න තරම් මම අමනෝඥ පුද්ගලයෙක් නෙවෙයි” යැයි , ඔහු සඳහන් කළේ ය. මෙතෙක් කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව ජාතික ආරක්ෂක කවුන්සිලය ආගමික අන්තවාදය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම සහ ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සිදු වූ බවට පැහැදිළි වන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යෝජනා කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. “මෙවැනි කරුණු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට සහ ආයතනවලට මම අවස්ථා ගණනාවකදී උපදෙස් ලබා දීලා තියෙනවා. ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පමණක් නොවෙයි, වෙනත් රැස්වීම්වලදීත් අදාළ උපදෙස් ලබා දීලා තියෙනවා. මම ජනාධිපතිවරයා ලෙස ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් අදාල නිලධාරීන් සහ ආයතන එම උපදෙස් අනුව ක්‍රියාකරලා නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය. තමන් සතුව වාර්තා නොමැති නමුත් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ජනාධිපතිවරයා ලෙස ඔහුගෙන් ඉටු විය යුතු වගකීම නිසි පරිදි ඉෂ්ඨ කර තිබෙන බව හෙතෙම කීවේය. තමන් ආරක්ෂක විශේඥයෙකු නොව දේශපාලනඥයෙකු බව සඳහන් කළ සිරිසේන මහතා පැවසුවේ බුද්ධි අංශ පොලිසිය වැනි ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන ආගමික අන්තවාදය සම්බන්ධයෙන් වන කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළේ ඇයි ද යන්න බරපතල ගැටළුවක් බවයි. 2019 අප්‍රේල් මස 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් යතුරුපැදියක අටවන ලද බෝම්බයක් පුපුරුවා හැරීමේ සිදුවීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලීසිය සහ බුද්ධි අංශ එක්ව විමර්ශන සිදු කළ යුතුව තිබූ බවත් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ හෝ ජනාධිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය. හිටපු ජනාධිපතිවරයා විදෙස්ගත වූ අවස්ථාවලදී තානාපති කාර්‍යාල මගින් ඔහුට ශ්‍රී ලංකාවේ පුවත්පත් කියවීම සඳහා ලබා දෙන්නේ ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ සාමාන්‍යයෙන් එලෙස පුවත්පත් ලබා දුන්නත්, 2019 අප්‍රේල් මස තමන් සිංගප්පූරුවේ ගත කළ කාලය තුළ පුවත්පත් කියවීමට අවස්ථාවක් නොලැබුණු බවයි. “මම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිහින් ඊට පසුව තමයි සිංගප්පූරුවට ගියේ. එහේ රෝහල්ගතව සිටි නිසා පුවත්පත් කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ,” යැයි සිරිසේන මහතා කීවේය. පසුගිය රජය සමයේ පැවැති දේශපාලන අස්ථාවරත්වය, ආගමික අන්තවාදය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබානොදීම සහ ලබා දුන් යම් උපදෙසක් වේ නම් ඒ පිළිබඳව පසුවිපරමක් සිදු නොවීම වැනි කරුණු හේතුවෙන් ආගමික අන්තවාදීන්ට සිය කටයුතු රිසි සේ සිදු කරගෙන යාමට හැකි වූ බව පිළිගන්නේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඒ පිළිබඳව එකඟ නොවන බවයි. බෝම්බ ප්‍රහාර සිදු වූ කාලය වන විට කිසිදු දේශපාලන අස්ථාවරත්වයක් නොතිබූ බවත්, එවකට පැවැති යම් යම් දේශපාලන මතවාද නිලධාරීන්ට සිය රාජකාරි කරගෙන යාම සඳහා බාධාවක් නොවූ බවත් ඔහු පැවසුවේය. හිටපු ජනාධිපති සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේ දී කිසිම අවස්ථාවක ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව උපදෙස් ලබාදීමක් සිදු නොකළ බවට හිටපු අමාත්‍ය කබීර් හෂීම් විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ “අවශ්‍ය උපදෙස් ලබා දීම මම සිදු කළා. කබීර් හෂීම් කියනවා මම එහෙම උපදෙසක් ලබා දුන්නේ නැහැ කියලා ඔහු ඒ රැස්විම්වලට සහභාගී වෙන්න නැතුව ඇති”යනුවෙනි. එසේ නම් එම උපදෙස් ලබා දුන් සියළුම රැස්වීම්වලට කබීර් හෂීම් සහභාගී වී නැතිදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසූවේ තමන් ඒ බව නොදන්නා බවත් කෙසේ නමුත් අවශ්‍ය උපදෙස් තමා විසින් ලබා දී ඇති බවත්ය. එමෙන්ම කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් තස්ලීම් නමැත්තාට සහරාන් ගේ කල්ලියේ පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව කබීර් හෂීම් මහතාගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කොමිෂන් සභාවට දැනුම් දුන්නේ එම සිදුවීමෙන් පසුව තමන්ගේ ආරක්ෂාව සපයාගැනීමට තමන්ටම සිදු වූ බව කබීර් හෂීම් මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් දැනුම් දී ඇති බවයි. මේ අතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලදී ආගමික අන්තවාදයට සම්බන්ධ කරුණුවලට වඩා නාමල් කුමාර, මත්ද්‍රව්‍ය සහ මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට ගෙන ඒම වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සිරිසේන මහතාගෙන් විමසුවාය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බවයි. “නාමල් කුමාර ගැන එක දවසක්වත් කතා කරලා නැහැ. මම ඔහුව දැකලවත්, කතා කරලාවත් නැහැ. මත්ද්‍රව්‍ය සහ මාකඳුරේ මදුෂ් වැනි අය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. නමුත් ඒවා කාලයෙන් කාලයට ඉස්මතු වූ විවිධ මාතෘකා පමණයි, “යැයි හෙතෙම කීවේය . සහරාන් ඇතුළු කණ්ඩායම විසින් විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගිය ආරක්ෂිත නිවාස සහ පුහුණු කඳවුරු පිළිබඳව ආරක්ෂක අංශ විසින් දැනුම්වත් නොකළ බවත් ප්‍රාදේශීය නිලධාරීන් සිය වගකීම් ඉටු කළේ නම් එවැනි කරුණු සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. තමා ලබා දුන් නියෝග පහල මට්ටමේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කර නැතැයි ද ඔහු කීවේය.

බෝම්බකරුවන් 20 දෙනෙක් පාස්කු ප්‍රහාරය එල්ල කරන්න සැලසුම් කරලා – කොමිසමේදී හෙළිවෙයි
(ශානක ද සිල්වා)
මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදා ගනිමින් පාස්කු දින ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර ඇති බව පාස්කු ප්‍රහාරය පිලිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසන් සභාව හමුවේ පළමුවරට අනාවරණය විය. එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාර රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට අත්අඩංගුවට ගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරියෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය. 2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හට ගෙන තිබී ඇතැයි එම නිලධාරීයා පැවසීය.එම නිලධාරීයා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැණුනු සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බවයි. කෙසේවෙතත් සහරාන් හා නවුෆර් මවුලවි අතර හටගත් මෙම ගැටුම නිරාකරණය කිරීමට 2019 වසරේ මාර්තු 27 වැනිදා කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරු වූ අලහුදීන් අහමඩ් මුවාඩ් සහ දෙහිවල බෝම්බය පුපුරවාගත් ජමීල් මුල්ව කටයුතු කළ බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එදින ඔවුන් දෙදෙනා මෝටර් රථයකින් පැමිණ ගල්කිස්ස දුම්රිය පොළ අසළදී සහාරාන්ගේ කණ්ඩායම් තවත් තිදෙනෙකු නංවාගෙන පානදුර පරත්ත පාරේ පිහිටි සහාරාන්ගේ ආරක්ෂක නිවස වෙත ගොස් ඇතැයි ඔහු කීවේය. එම අවස්ථාවේදී ආරක්ෂක නිවස තුළ සහරාන් සහ කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වූ අච්චියාර් මොහොමදු හස්තූන් සිට ඇති බව සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයා පැවසීය. රජයේ අධිනීතිඥවරයා : එම සාකච්ඡාවේදී මොනවද කතා වෙලා තියෙන්නේ? නිලධාරීයා : මොවුන්ගේ තිබෙනවා ශූරා කවුන්සිලයක් ඒකේ 13 ක් ඉන්නවා. ඔවුන් තමයි මේ කණ්ඩායමේ ප්‍රධානීන්. මෙහිදි මිල්හාන් සහාරාන්ගේ වැරදි 19 ක් ඉදිරිපත් කරලා තිබෙනවා. සහරාන් නායකත්වයෙන් ඉවත් කරලා නවුෆර් මවුලවිට ලබාදෙන්න කියලා. එහිදි සහරාන් තමන් වැරදි නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එමෙන්ම ඔවුන් ආරක්ෂක අංශයට පාවා නොදෙන්නත් ඔවුන් සතු දේපළ එහිදී බෙදාගන්නටත් තීරණය කරලා තිබෙනවා. නමුත් ශූරා කවුන්සලයේදී ෂැංග්‍රිලා බෝම්බකරු වන ඉල්හාම් කියලා තියෙනවා මම සල්ලි දුන්නේ කණ්ඩායමට නෙවෙයි සහරාන්ට තියෙන භක්තියට ඕනේ නම් නවුෆර් මවුලවිට ඕනේ නම් නිවසක්, වාහනයක් ආයුධයක් ලබාදෙන්න පුළුවන් කියලා. ඒ වගේම නවසීලන්ත මුස්ලිම් පල්ලියට එල්ලවූ ප්‍රහාරය හා සිරියාවේ එල්ලවන ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළ යුතුබව සහරාන් කියලා තියෙනවා. ඒ වගේම විදේශිකයන් වැඩියෙන් ඉන්න හෝටල්වලට, කැසිනෝ හා පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට සහාරාන් ප්‍රකාශ කරලා තිබෙනවා” රජයේ අධිනීතිඥවරයා : මෙම ප්‍රහාරය කොපමණ කාලයකින් සිදුකරන්න ඕනේ කියලද කියලා තියෙන්නේ ? නිලධාරීයා : සහරාන් කියලා තියෙන්නේ බෝම්බ හදන්නේ රිල්වාන් කියලා ඒ හදන පුපුරණ ද්‍රව්‍ය දින 15කින් කල් ඉකුත් වෙනවා ඒ හන්දා වැඩි කාලයක් ෂුවර් කරන්න බැහැ ඒ නිසා ප්‍රහාරය දින 15 ක් ඇතුළත කරන්න ඕන කියලා. මීගමුව ප්‍රදේශයේ තමයි මේකට යෝජනා කරලා තියෙන්නේ. මුවාද් මේ වෙලාවේ කියලා තියෙනවා මගේ ගේ ළග තමා කොච්චිකඩේ පල්ලිය තියෙන්නේ මම එතන Sucide කරගන්නම් කියලා. මීට පෙර අවස්ථාවකදී සහරාන් මල්වාන ප්‍රදේශයේදී සිය කණ්ඩායමේ සාමාජිකයන් කැඳවලා මරාගෙන මැරෙනවාද නැත්නම් යුද්ධයේදි මැරෙනවාද යන්න තෝරාගෙන ජිහාදය වෙනුවෙන් ජීවිතය කැප කරන්න සුදානම් වන ලෙස පවසා සිය සහායකයින්ගෙන් ලියවිල්ලකට අත්සනක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මොවුන් කතා කරලා තියෙනවා 20 දෙනෙකු යොදාගෙන මේ ප්‍රහාරය කරන්න. ඒ වගේම මුල් ප්‍රහාරයෙන් පසුව එතැනින් පළායන අය රෝහල ගත කරද්දී වෙන ආකාරයට ප්‍රහාර රැල්ලක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එමෙන්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා. කොහොම වුණත් මාර්තු 24 වැනිදා වන විටත් ප්‍රහාරය එල්ල කරනු ලබන නිශ්චිත දිනයක් තීරණයක් කරලා තිබිලා නැහැ. කොමිසමේ සභාපති විනිසුරුවරයා : මෙම සාකච්ඡාවේදී සහරාන් කොළඹින් පිට ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රකාශයක් කර තිබුණාද? නිලධාරීයා : මේ රැස්වීමේදී නෙවෙයි සාකච්ඡා වෙන්නේ, මුවාද් රැස්වීමෙන් අනතුරුව නුවරඑළියට ගිහින් විදේශිකයන් ඉන්න තැන් හොයලා ප්‍රහාරයක් එල්ල කරන්න ‍යෝජනා කරලා තියෙනවා. නමුත් ඔවුන් ඒකට බයවෙලා අත්හැරලා තියෙනවා.


අස්වුණේ රිෂාඩ් බේරගන්න නෙමෙයි ආණ්ඩුව බේරගන්න – කබීර් හෂීම්
(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා) අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු මුස්ලිම් මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූයේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට මිස රිෂාඩ් බදියුදීන් මහතා ආරක්ෂා කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති සහ මහලේකම් කබීර් හෂීම් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුවරට සාක්ෂි ලබාදෙමිනි. කබීර් හෂීම් මහතා පැවසුවේ එවකට රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පැවැති ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කළ බවයි. “ඒ කාලේ මම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා, අපේ පක්ෂය නියෝජනය කරන සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් මට ඇවිල්ලා කිව්වා විශ්වාසභංගය වේලාවෙ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකි ඉන්න වෙයි කියලා. මොකද ඒ වෙද්දී ඔවුන්ට තම ජන්දායකයින්ගෙන් විශාල බලපැමක් එල්ල වෙලා තිබුණෙ, ඡන්ද ප්‍රකාශ කරලා ගමට යන්න බැරි වෙයි කියලා අපේ මන්ත්‍රිවරු කිව්වා. මම පක්ෂ සභාපති ලෙස එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිව්වා මේක දාලා තියෙන්නේ අපිව ආණ්ඩුවක් විදියට පරාජය කරන්න කියලා.ඉන්පසු මම රිෂාඩ් බදියුදීන් මහතා හමුවෙලා කතා කළා,ඔහුට ඇමැති ධූරයෙන් ඉවත් වෙන්න කිව්වම බෑ කිව්වා. ඒ අවස්ථාවේ රතන හාමුදුරුවෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තිබ්බා. මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැගෙමින් තිබුණා. පසුව මම අගමැතිවරයා සමග කතා කරලා කිව්වා මම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා. හැමෝම තනතුරුවලින් ඉවත් වුණාම විශ්වාසය ගොඩ නැගෙයි කියලා හිතුවා. අප සමග රිෂාඩ් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම එක්ක විපක්ෂයට ඔවුන් ගෙනා විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්න සිද්ධ වුණා. මම ඒ මොහොතේ පක්ෂයෙ සභාපති,මට වගකීමක් තිබුණා ජන්දයක් ආසන්නයේ පක්ෂය ආරක්ෂා කරන්න, මම ඒ වෙලෙ ඉවත් වුණේ එක්සත් ජාතික පක්ෂය ගැන සහ රට ගැන සිතලා”යැයි කබිර් හෂිම් මන්ත්‍රිවරයා කොමිසම හමුවේ පැවසීය. 2018 වසරේ දෙසැම්බර් 23 සිට 26 දක්වා කාල සීමාව තුළ මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ සිදුවීම පිළිබඳව ද කොමිෂන් සභාව කබීර් හෂීම් මහතාගේ අවධානය යොමු කළ අතර වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ මෙහෙයුමට තොරතුරු ලබාදී තිබූ කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ මොහොමඩ් තස්ලීම් නමැත්තාට සහරාන්ගේ කල්ලියේ අයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කළේය . ඊට පිළිතුරු දෙමින් හෂීම් මහතා පැවසුවේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයාගන්නා ලද පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණවලට සහය වීම සඳහා තස්ලීම් එම දෙපාර්තමේන්තුව වෙත හඳුන්වා දුන් බවයි. “ඔහු වටපිටාව, සමාජය ගැන හොදින් දන්න පාරවල් ගැන එහෙම හොඳ දැනුමක් තිබෙන කෙනෙක්. ඒ වුණාට තස්ලීම් මෙම මෙහෙයුමට උදව් කළ බව දැන සිටියේ මම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකේ නිලධාරින් විතරයි. නමුත් මේ වනාතවිල්ලුවේ මෙහෙයුමට පසු තස්ලීම්ට වෙඩි තිබ්බා කවුරු හරි. ඉතින් මේක ගැන මම කැබිනට් එකේ දිගටම කිව්වා. මේක මගේ ජීවිතේටත් තර්ජනයක් වෙනවා කියලත් මම කිව්වා.” අන්තවාදීන් සහ ගොඩනැගෙමින් තිබෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට දෙවතාවක් ඉතා තදින් දැනුවත් කළ බව ද හෙතෙම කීවේය.එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “ඔබ කියූ කරුණු අපේ අවධානයට ගෙන තිබෙනවා, ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී අන්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවක මෙම අන්තවාදී ක්‍රියාකාරකම් ඔබ දන්නා කරුණු පිළිබඳ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා කැඳවීමක් සිදුකරන්නම්” යනුවෙන් තමන්ට පැවසූ බව ද හෂිම් මහතා ප්‍රකාශ කළේය. කට වචනයෙන් හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවත් කිසිසේත්ම නිල වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා නිල ආරාධනාවක් නොලැබුණු බව කබීර් හෂීම් මහතා සාක්ෂි ලබාදෙමින් සදහන් කළේය. “මම කැබිනට් මණ්ඩලයේ දී දැනුවත් කළා මාගේ ආරක්ෂාව පවා වැඩි කරන්න කියලා.මොකද මාව ඉලක්ක කරගන්න බැරි නිසා තමයි අන්තවාදින් මගෙ ලේකම්වරයා ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කළේ.නමුත් මගෙ ආරක්ෂාව එහෙම වැඩි කිරිමක් සිද්ධ වුණේ නැහැ” යැයි හෙතෙම පැවසීය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය : මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් විදේශ කටයුතු අමාත්‍යංශයට අනුයුක්ත නිලධාරිනියක් සඳහන් කර තිබෙනවා මෙරට යම් යම් ආයතන සහ සංවිධානවලට තුර්කියේ ක්‍රියාත්මක FETO ත්‍රස්ත සංවිධානය සතු මුදල් යොදවා තිබෙන බව සහ ඒ සංවිධාන සහ ආයතන තහනම් කිරීමට පියවර ගන්න කියලා තුර්කි තානාපති ඉල්ලීමක් කර ඇති බව. එහෙත් එවැනි සංවිධාන සහ ආයතන තහනම් කිරීම සඳහා ඔබ සහ තවත් මුස්ලිම් දේශපාලනඥයෙකු බලපෑම් එල්ල කර තිබෙනවා කියලා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පුද්ගලයන් සඳහන් කර තිබෙනවා, ඒ ගැන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? කබීර් හෂීම් : තුර්කිය තුළ ක්‍රියාත්මක FATO නම් ත්‍රස්තවාදී සංවිධාන සමග මට කිසිදු සබඳතාවයක් නෑ. මට දේශපාලනික වශයෙන් පහර ගැසීම අරමුණු කරගනිමින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරනවා. තුර්කිය හා සම්බන්ධ කිසිදු ආයතනයක කොටස් හෝ ගනුදෙනුවලට මා සම්බන්ධ නෑ. වසන්ත සේනානායක හිටපු අමාත්‍යවරයාත් මේ ආකාරයෙන්ම ප්‍රකාශයක් කර තිබුණා. මා මාධ්‍ය ඔස්සේ ඒ බව දැනගත්තා. මේ චෝදනාව ඉතාම අපැහැදිලි චෝදනාවක්. මේ පරීක්ෂණවලට මම බලපෑම් කරලා තියෙන්නේ කොහොමද කියන එක වත් මම හරි හැටි තවම දන්නේ නැහැ, මට මේ තුළින් ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා. ඒ ගැන මට කතා කරන්නවත් තැනක් හරියට තිබුණෙ නැහැ සියලුම මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවන බවත් තමා ඉස්ලාම් ආගම අදහන ශ්‍රී ලාංකිකයෙකු බවත් කබීර් හෂීම් මහතා මෙහිදී පැවසීය. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට දින දෙකකට පෙර දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බය පුපුරවාගත් බෝම්බකරු අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ සහෝදරයා වන අබ්දුල් ලතීෆ් හකීම් මොහොමඩ් අතර තත්පර 147 ක දුරකතන සංවාදයක් සිදුකර තිබුණේදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසුවාය. ඊට පිළිතුරු දෙමින් කබීර් හෂීම් මහතා මෙසේ පැවසීය. “නැ.මම මේ ගැන පැහැදිලි කරන්නම්. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. එතනදි කිව්වා පාස්කු ප්‍රහාරයට දින දෙකකට කලින් හකීම් නමැත්තකුගෙන් මට තත්පර 147ක දුරකතන ඇමතුමක් ඇවිත් තිබෙනවා දන්නවාද ඒ ගැන කියලා. මම කිව්වා මට මතකයක් නම් නැහැ කියලා. ඊට පස්සෙ ඔවුන් මාව දැනුවත් කළා ඒ හකීම් කියන්නේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බය පුපුරුවා ගත් කෙනාගේ සහෝදරයා කියලා, කෙසේ නමුත් අදාළ දුරකතන ඇමතුම සම්බන්ධයෙන් මට මතකයක් නෑ.”
Previous articleවිදුලිබල මණ්ඩලයේ යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි – මහජන උපයෝගීතා කොමිසමත් අමතකයි !
Next articleමහජනතාව අත්හැර වරප්‍රසාද නියෝජනය කරන ඔබේ නියෝජිතයා හඳුනාගන්න !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here