වතු කම්කරු වැටුප අධිකරණයට මුවා නොකරන්නැයි ඉල්ලති

“අධිකරණයට මුවා වී වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 කිරීම මගහැර යෑමේ සියලු කුමන්ත්‍රණ පරදවමු” මැයෙන් අද (22) අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.
වතු කම්කරු මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඊට වතුකම්කරුවන් ද සහභාගි වී තිබේ.
ඔවුන් ඉල්ලා සිටියේ අධිකරණ කටයුතුවලට මුවාවෙමින් වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ප්‍රමාද නොකරන ලෙසයි.
වතු සේවකයින්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් වතු සමාගම් 20 ක් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් අද සලකා බැලෙන නිසාවෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ පඩිපාලක සභාවේ සාමාජිකයින් ඇතුළු 18 දෙනකු වගඋත්තරකරුවන් කරමින් අදාළ නඩුව පවරා ඇත. මෙරට තේ වතු සමාගම් 22 ක් ඇති අතර එයින් සමාගම් 20 ක් එක්ව මෙම නඩුව පවරා තිබේ.

අතීත කතාව !

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරමින් කම්කරු අමාත්‍යංශය විසින් අංක 2217/37 දරණ අංකයෙන් නිකුත් කරනු ලැබූ මෙම ගැසට්ටුව මගින් තේ වතු සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කෙරිණි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් මේ වන තෙක් ක්‍රියාත්මක වූයේ ‘2019-2021 වැවිලි සේවක වැටුප් සාමුහික ගිවිසුම’ අනුව ලබාදුන් රුපියල් 700 දෛනික වැටුපයි.
එම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බොහෝ කාලයක සිට ඉල්ලීම්, විරෝධතා සහ සාකච්ඡා වට පැවැත්විණි. වතු කම්කරු වැටුප වැඩි කිරීම වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසන් ප්‍රතිපත්තිය ද විය. එය ඉකුත් මහමැතිවරණයේදී ද ඡන්ද පොරොන්දුවක් බවට පත්ව තිබුණු අතර වරින්වර විපක්ෂ මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර ප්‍රසිද්ධ මාතෘකාවක් විය.
2020 මාර්තු 01 වැනිදා සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන බවට ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි 14 වැනිදා ප්‍රකාශ කළේය. ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් 2020 පෙබරවාරි 14 දා ඉදිරිපත් කරනු ලැබ තිබුණි. 2020 මාර්තු මස 01 දා සිට රැපියල් 1000ක වැටුප් වැඩිකිරීමට එහිදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. නමුත් කියූ පරිදි වැටුප් වැඩිවීමක් එම අවස්ථාවේ සිදූ නොවීය.
එමෙන්ම 2021 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේද වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩිකිරීමට යෝජනා කරන බවයි. මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන ලෙස නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. නමුත් ඉකුත් ජනවාරි මාසයේදී හෝ වැටුප් වැඩි වීමක් සිදු නොවූ අතර මේ සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ පාර්ශ්වයෙන් එකඟතාවයක් ලබාගැනීමට නොහැකි වීම නිසා වැටුප් වැඩි කිරීම ප්‍රමාද වන බව රජයේ පාර්ශ්වය පැවසීය.
එම මූලික වැටුප රුපියල් 700ට වඩා වැඩිකිරීමට වතු හාම්පුතුන් එකඟ නොවූ අතර ඒ වෙනුවට විකල්ප යෝජනා කිහිපයක් වතු හාම්පුතුන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබිණි. ඒ අනුව මූලික වැටුප දිනකට රුපියල් 700 මට්ටමේ පවත්වාගනිමින්, අර්ථසාධක මුදල් ලෙස රුපියල් 105ක්, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 70ක්, නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 70ක් සහ මිල කොටස් අතිරේකය ලෙස රුපියල් 75ක්ද ලෙස රුපියල් 1,025ක් දිනකට ලබාදිය හැකි බව හාම්පුතුන්ගේ සම්මේලනය සඳහන් කර තිබිණි. එසේ නොමැති නම් මූලික වැටුප ලෙස රුපියල් 700ක්, අර්ථසාධක ලෙස හා පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 150ක්, නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 150ක්ද ලෙස රුපියල් 1,000ක් දිනකට ලබාදිය හැකි යැයිද ඔවුන් ආණ්ඩුවට පවසා තිබිණි.
හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සියල්ල අසාර්ථක වූ අතර හාම්පුතුන්ගේ සම්මේලනය මේ සම්බන්ධයෙක් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මෙම ගැටළුව පඩිපාලක සභාව වෙත යොමුකරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ජනවාරි මාසයේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි.
මේ සම්බන්ධයෙන් 2019-2021 වැවිලි සේවක වැටුප් සාමුහික ගිවිසුමට අත්සන් තබා ඇති පාර්ශ්වයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එම සාමූහික ගිවිසුමේ එක් පාර්ශ්වයක් වන වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරනු ලබන ලංකා සේව්‍ය සම්මේලනය දෛනික වැටුප රුපියල් 920/-ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් මෙම කරුණු සැලකිල්ලට ගෙන, අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පඩිපාලක සභා මඟින් වැවිලි අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 1,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉකුත් ජනවාරි 25 නිවෙිදනය කළේය. ඉන් අනතුරුව වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පඩිපාලක සභාව කැඳවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නියෝග කළේය.
ඒ අනුව ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාව විසින් තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහල නැංවීම සඳහා වන යෝජනාවක් අනුමත කළේය. වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමටත් රුපියල් 100ක අමතර දීමනාවක් ලබාදීමටත් මෙහිදී යෝජනා විය. වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම පඩිපාලක සභාව රැස්විය.
එහිදී වෘත්තීය සමිති නායකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබා දීමේ යෝජනාවට හාම්පුතුන්ගේ නියෝජිතයන් එකඟ නොවූ අතර පසුව එම යෝජනාව පිළිබඳව පැවැත්වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට 8ක් ලෙස වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.
එම තීරණය ගැසට් මගින් ප්‍රකාශ කිරීමට පෙර එම තීරණයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබුණු අතර එය පෙබරවාරි 15 වැනිදා දහවල් 12.00ට අවසන් විය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව ගත් තීරණයට එරෙහිව විරෝධතා 185ක් ඉදිරිපත් වී තිබිණි. වැවිලිකරුවන්ගේ සංගමය, හාම්පුතුන්ගේ සංගමය සහ කුඩා තේ වතු හිමියන් විසින් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබීය.
විරෝධතා සලකා බැලීම සඳහා නැවත කැඳවනු ලැබූ පඩි පාලක සභාවේ ගණ පූර්ණය නොමැතිකමින් පඩි පාලක සභාව කල්දැමුණු අතර යළි ඉකුත් මාර්තු පළමුවැනිදා රැස්විය. එහිදී වතු හාම්පුතුන්ගේ දැඩි විරුද්ධත්වය මැද වතු සේවක දෛනික වැටුප රුපියල් 1,000 කිරීමේ තීරණය පඩිපාලක සභාව විසින් තහවුරු කරනු ලැබීය. එම තහවුරු කිරීමෙන් දින 14ක් තුළ ගැසට් කරනු ලැබිය යුතුව තිබූ මෙම තීරණය මෙලෙස මාර්තු 05 වැනිදා දිනැතිව ගැසට් කළ අතර ඉන්පසු මෙලෙස ඊට එරෙහිව නඩුවක් ගොනු කෙරිණි.
මේ සම්බන්ධයෙන් MediaLK කළ වාර්තා පහතින්..

වතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි

 

ජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම. වඩිවේල් සුරේෂ්

 

ජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !

 

වතු කම්කරුවන්ගේ මූලික වැටුප එතැනමයි : හාම්පුත්තු වෙනත් යෝජනා ගෙනෙති !

 

වතු කම්කරු වැටුප : තීරණයක් ගන්න දින 14ක් !

 

වතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි

 

වතු කම්කරු වැටුප් වැඩිකරනවාට විරෝධතා 148ක් : ගැසට්ටුව කවදා එයිද?

 

වතු කම්කරු වැටුප් වැඩි කිරීම : ගණ පූර්ණය නොමැතිකමින් සාකච්ඡා අතරමග

 

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය : දෙපැත්තම දිනන ක්‍රමයක් ඉල්ලයි

 

වතු සේවක දෛනික වැටුප : සති දෙකක් තුළ ගැසට් කරනවා – කම්කරු කොමසාරිස් ජනරාල්

 

දීමනාත් එක්ක වතු කම්කරු වැටුප 1230ක් – කම්කරු අමාත්‍ය

 

වතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි

 

වතු සේවක වැටුප් වැඩිකිරීම : රජය නියෝගයක් දුන්නොත් පිළිපදින්න ඕන – වැවිලිකරුවන්ගේ සංගමය

 

වතුසේවක වැටුප වැඩි කරනවාට එරෙහිව සමාගම් නඩු මගට

 

වතුසේවක වැටුප වැඩි කරනවාට එරෙහිව සමාගම් නඩු මගට

 

Previous articleඅපේ රටේ රජාලා නෑ : ඒවට පාඩම් උගන්වන විදිහ මං දන්නවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Next articleවනාන්තර මියයනවා : දිගටම වුණොත් වතුර හිඟයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here