වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය : දෙපැත්තම දිනන ක්‍රමයක් ඉල්ලයි

වසර 150කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ආ “සිලෝන් තේ” කර්මාන්තයේ අභාවය වතු කම්කරුවන්ගෙ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකිරීම හේතුවෙන් ආරම්භ වූ බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා සඳහන් කරයි.
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් බවට පත්කිරීමේ යෝජනා පඩිපාලක සභාව මගින් අනුමත කළඳ මෙතෙක් එය යථාර්තයක් වී නොමැත. ඒ සඳහා විරෝධතා විශාල ප්‍රාමාණයක් ඉදිරිපත් වී ඇති අතර වැවිලිකරුවන්ගේ සංගමයද විරෝධතා ඉදිරිපත් කර තිබේ. මෙම විරෝධතා පිළිබඳ සාකච්ඡා කිරීමට පඩිපාලක සභාව යළි රැස්වීමට නියමිත අතර වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මෙම මුදල ගෙවීම දුෂ්කර බවයි.
වැවිලිකරුවන්ට පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,
“වතුකම්කරුවන්ට දිනක වැටුප ලෙස රුපියල් 1000 ක් ලබාදෙන්නට අපි සම්පුර්ණයෙන් එකඟයි. මේ සම්බන්ධයෙන් අපි වෘත්තිය සමිති සහ රජය සමග සම්බන්ධවෙලා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා. ඊට පසුව රජය යෝජනා කළ ආකාරයට රුපියල් 1000 ක වැටුපක් ලබාදෙන්න අපි එකඟ වුණා. එම එකඟතාවය තිබෙද්දි වතු වෘත්තිය සමිති එයට විරුද්ධව ගිහින් ආණ්ඩුව සමග එකතුවෙලා රුපියල් 1000 ක මුලික වැටුපක් ලබාදෙන ක්‍රමයකට දැන් පඩිපාලක සභාව මගින් තීරණයක් ලබාගෙන තිබෙනවා. අපි එයට විරෝධතා ඉදිරිපත් කළා. කොහොම වුණත් ලංකාවේ නීතියක් ක්‍රියාත්මක කරන විට එය නීතිගත වු විට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එය ක්‍රියාත්මක කරන්න වෙනවා. නමුත් ව්‍යාපාරයක් කරද්දි තවත් හිතන්න කාරණා බොහොමයක් තිබෙනවා කියලා අපි මතක් කරන්න කැමතියි.  අපි බුලත්විට කඩයක් කළත් එයින් ලැබන ආදායම අනුවයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. ආදායම රුපියල් 100 නම් අපිට රුපියල් 200 ක වැටුපක් ගෙවන්න බැහැ. අවුරුදු 150 ක් පවත්වාගෙන ආපු ලංකාවේ තේ කර්මාන්තයේ අභාවය මේ නිසා ආරම්භ වුණා කියලා තමයි අපිට කියන්න තිබෙන්නේ.
ආණ්ඩුව මේ කරපු වැඩෙන් වතු නඩත්තු කරගන්න බැරිවෙනවා. මිනිස්සුන්ගේ මුලික වැටුපට සාධාරණ මිලක් ලබාදීම ආණ්ඩුවේ වගකීම. එ්ක මම පිළිගන්නවා. නමුත් ආණ්ඩුවේ ඒ වගකීම කාගෙවත් පිටින් යවන්න බැහැ. සිංගප්පුරුවත් මේ වගේ දෙයක් කළා. මිනිස්සුන්ගේ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය නිසා සිංගප්පුරු ආණ්ඩුව තීරණයක් අරගෙන වැටුප් වැඩි කළා. නමුත් කර්මාන්තය කඩා වැටෙන නිසා කර්මාන්තයට බරක් දෙන්නේ නැතිව ඒ ගිය අමතර වියදම ආණ්ඩුවෙන් පියෙව්වා. එහෙම කළේ කර්මාන්තය බේරාගන්න අවශ්‍ය නිසා. නමුත් ලංකාවේ කරන විදිහට කර්මාන්තය මරලා මිනිස්සුන්ව ජීවත් කරලා වැඩක් නැහැ. දෙපැත්තම ජීවත් කරන වැඩපිළිවෙලකටයි අපි යා යුත්තේ. කර්මාන්තයත් බේරාගෙන මිනිස්සුත් ජීවත්කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි යෝජනා කළේ.
ඕනැම ආයතනයක් පවත්වාගෙන යන්න ආදායම් වියදම් පරතරය නිසිලෙස තිබෙන්නට අවශ්‍යයි. එහෙම නැතිව අපි කොහොමද මේ වැඩකරගෙන යන්නේ. මහන්සිවෙලා වැඩකරන මිනිස්සුන්ට ගෙව්වට කමක් නැහැ. නමුත් මේ ක්‍රමයේදි දවසක් වැඩට ආපු මනුස්සයටත් දවස් 25 ක් වැඩට ආපු මනුස්සයටත් අපි ගෙවිය යුතු වෙනවා. එහෙම වුණොත් ඵලදායීව මේ කර්මාන්තය දියුණුකරගන්න අපිට අවස්ථාවක් නැතිවෙනවා.”
මේ ආකාරයට දෛනික වැටුප් වැඩිවීම හේතුවෙන් වැවිලිකරුවන් ලෙස මුහුණ දෙන අර්බුදය කුමක්ද?
මේ ආකාරයට දෛනික වැටුප් වැඩිකිරීම නිසා වතු කර්මාන්තශාලා 22කට පමණක් රුපියල් බිලියන 17 ක අමතර මුදලක් වැයවෙනවා. පසුගිය අවුරුද්දේ කොම්පැණි සියල්ලම රුපියල් බිලියන 06 ක් පාඩු පිට කරගෙන ගියේ. බිලියන 06 ක් පාඩු තියෙන අවස්ථාවක තවත් බිලියන 17ක් ගෙවන්න කිව්වොත් ඒ කර්මාන්තයට වෙන්නේ මොකද්ද කියලා අහන්න අවශ්‍ය නැහැනේ.
ඒ වගේම හෝටල් ක්ෂේත්‍රය තුළ වුවත් රක්ෂණ ක්ෂේත්‍රයේ වුවත් ඔවුන්ට මුලික වැටුපක් ගෙවනවා. ඉතිරිය ඔවුන් උපයාගන්නා ආකාරයේ ක්‍රමවේදයක් ඇතිකර තිබෙන්නේ. හෝටල්වලත්, රක්ෂණවලත් කොමිස් මුදලක් ලබාදීමේ ක්‍රමයක් තිබෙනවා. අලෙවි නිලධාරීන්ට වුණත් ඔවුන් යම් යම් ඉලක්ක ලබාදී තිබෙනවා. ඒ ඉලක්ක වලට ලඟා වනවිට වැටුපට වඩා වැඩි මුදලක් කොමිස් මුදල් ලෙස ලබාගන්නවා. මුළු ලෝකයේම බිස්නස් කරන්නේ එහෙමයි. එහෙම නැතිව ආණ්ඩුව කිව්වා කියලා උහුලාගන්න බැරි මුලික වැටුපක් දෙන්න ගිහින් මේ කර්මාන්තය කඩා වැටෙන එක අපිට නවත්වගන්න බැරිවෙනවා.
ලංකාවේ නම ලෝකය ඉදිරියට ගිහින්  තිබෙන්නේ කාරණා දෙකක් නිසා පමණයි. ලංකාව ක්‍රිකට් වලින් ලෝක ශූරයන් වුණ නිසා ලෝකය තුළ ප්‍රසිද්ධ වී තිබෙනවා. දෙවැන්න තමයි තේ. සිලෝන් ටී කියන නාමය ලෝක ප්‍රසිද්ධ නාමයක්. නමුත් මේ සිදුවීම් වලින් තේ කර්මාන්තය විනාශවෙලා යද්දි ඒ නාමයත් පිරිහිලා යයි.
ලෝක වෙළෙඳපොලෙහි තේ වලින් ලැබෙන ආදායම සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බවද ඔබ කියන්නේ ?
රුපියල් 1000 ක මුලික වැටුපක් ගෙවන්න පුළුවන් අපිට එ්වගේ ආදායම් ලැබෙනවානම් පමණයි. ලෝක වෙළෙඳපොලේ අපි හැමෝම එකම මිලට තරග කරන්නේ. ලංකාව ඉන්දියාව, බංගලාදේශය සහ පාකිස්ථානය මේ රටවල් සියල්ල එකම තේ වෙළෙඳපොලකට තමයි අපි තරග කරන්නේ. ඒ සියල්ලටම ගෙවන්නේ එකම මිලක් නම් ඒ සඳහා අපේ වියදම වැඩියිනම් අපිට ඉදිරියට යන්න බැරිවෙනවා. කෙන්නියාවේ වතු කම්කරුවන්ට පඩි ගෙවන්නේ ඩොලර් 02 ක් වැනි මුදලක්. ඉන්දියාවේ ඩොලර් 1.9 ක වැටුපක් ගෙවන්නේ. සියලු රටවල් ඩොලර් 2 ත් 2.5 ත් අතර ප්‍රමාණයක වැටුපක් තමයි ගෙවන්නේ. නමුත් ලංකාවේ වතුකම්කරුවන්ට ඩොලර් 5 ක් ගෙවන්න වෙලා. තේ විකුණල ඩොලර් 04 ක්වත් අපිට ලැබෙන්නේ නැහැ. මෙහෙම වෙද්දි මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ කොහොමද?
පසුගිය වසරේ උඩරට තේ කිලෝ එකකට ලැබුණේ රුපියල් 580 ක් වගේ මුදලක්. කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කළ විට අපි කොහොමද අනිත් වැඩ කරන්නේ. මේ කර්මාන්තයේ ඉන්නේ දළු කඩන මිනිස්සු විතරක් නෙවෙයිනේ. තේ කර්මාන්තයේදී පොහොර වලට වියදම් කරන්න තියෙනවා, යන්ත්‍රෝපකරණ වලට වියදම් කරන්න තිබෙනවා, කාර්යමණ්ඩල වලට වියදම් කරන්න තිබෙනවා, වාහන නඩත්තු කරන්න තියෙනවා. මේ සියල්ල කළ විට තේ කිලෝ එකක් හදන්න රුපියල් 800කට වැඩි මුදලක් වැයවෙනවා. රුපියල් 500 ක් හම්බකරන්න රුපියල් 800 ක් වියදම්කරන්න වෙනවානම් මේ කර්මාන්තය රඳා පවතින්නේ කොහොමද?
නව ක්‍රමය අනුව මාසයකට උපරිම දින ගණනක් සේවකයින්ට වැඩ ලබාදීමට ඔබලා කටයුතු කරනවාද?
තේ කර්මාන්තයේ අපි මෙච්චර කල් කටයුතු කළේ සාමූහික ගිවිසුමක් තුළ. ඒ ගිවිසුම ඇතුළේ අපිට බැදීම් කිහිපයක් තිබුණා. කුමන වගාවකින් වුණත් අවුරුද්ද පුරා එකම ඵලදාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඕනැම කෙනෙක් දන්න කාරණයක්. ගෙදරක පොල් ගහක් ගත්තත් පොල් වැඩිවෙන කාලයක් තිබෙනවා. පොල් ගෙඩි දෙක තුනක් වැටෙන කාලයකුත් තිබෙනවා. තේ ගහත් එහෙමයි. දළු වැඩියෙන් එන කාලයක් තිබෙනවා. ඒ වගේම ඉඩෝරයක් වගේ ආවොත් මාසෙකට දවස් දෙකක්වත් දළු කඩන්න නැහැ. එහෙම වුණත් අපි කවදාවත් මිනිස්සුන්ගේ වැඩ නවත්වන්නේ නැහැ. දළු තියෙන කාලේ අපි හම්බකරගන්න සල්ලිවලින් අනිත් කාලවලත් පඩි ගෙවාගෙන අපි කාර්මාන්තය අරගෙන යනවා. දැන් මේ අලුත් ක්‍රමයට පඩි ගෙවන්න ගියොත් දළු නැති කාලයට මිනිස්සුන්ට වැඩ දෙන්න බැරිවෙනවා. මොකද ලාභයක් නැතිව පාඩුවට ගිහින් ඒ කාලයේදී වැඩ කරගන්න බැරිවෙනවා. ඒ වගේම මේ සාමුහික ගිවිසුමේ බැදීම් සියල්ලෙන් අපි ඉවත් වෙනවා. එහෙම වුණාම මාසයට දවස් 25 ක් අවුරුද්දට දවස් 300 ක් වැඩ දීපු එක අපිට කරන්න බැරිවෙනවා. මොකද අපිට නීති දෙකකට යටත් වෙන්න බැහැ. පඩි පාලක සභාවෙන් තීරණය කළ විට අපි සාමූහික ගිවිසුමෙන් ඉවත්වෙනවා.
ඒ කියන්නේ සාමූහික ගිවිසුම අවලංගු කරනවාද?
සාමූහික ගිවිසුම නිකම්ම අවලංගු වෙන්නේ නැහැ. දෙපාර්ශවයෙන් කවුරු හෝ අවලංගු කළ යුතු වෙනවා. අපේ පාර්ශවයෙන් අපි එය ළඟදිම අවලංගු කරන්න බලාපොරොත්තු වෙනවා. පඩිපාලන සභාවේ පඩි ක්‍රියාත්මක වෙද්දි අපි සාමුහික ගිවිසුම අවලංගු කරනවා.
වතු පවත්වාගෙන යාම මේතරම් අර්බුදකාරීනම් නැවත රජයට එම වතු ලබාදෙන්න සුදානම්ද?
වතු ආණ්ඩුවට දෙන්න කියලා එහෙම කියන්න බැහැ. මේ වතු සියල්ල ආයෝජන. පිනට ගත්තු වතු නැහැ. එක වත්තක්වත් අපි පිනට අරගෙන නැහැ. ආණ්ඩුවට වතු කරගන්න බැරිව 1992 දි ආයෝජකයෝ කැඳවලා මේ වතු බලෙන් බාරදුන්නේ. ආයෝජකයෝ සල්ලි වියදම්කරලා මේ වතු අරගෙන කරගෙන යන්නේ. ඒ වතු ආණ්ඩුවට නැවත ගන්න අවශ්‍යනම් අපි මෙච්චර කල් වියදම් කරපු මුදල් අපිට ලබාදීලා නීත්‍යානුකුලව ලබාගන්න කියලා අපි කියන්නේ. මේ  වතුවල කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කර තිබෙන නිසා ඒවට කොටස්කරුවන් ඉන්නවා. අපිට ගිය වියදම ආණ්ඩුවෙන් ගෙවලා වතු ආපහු ගන්නවානම් මේ කොම්පැනි බොහොමයක් ඒකට කැමතිවෙයි. ඕනෑම ව්‍යාපාරයකින් ලාබයක් බලාපොරොත්තු වෙන්නේ. කවුරුවත් ලාබ නැතිව පිනට ව්‍යාපාර පවත්වාගෙන යන්න කැමති වෙන්නේ නැහැ.
ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැහැ කියලා අපි දන්නවනේ. මේ වතු ටික පවත්වාගෙන යන්න බැරි නිසානේ වතු ටික දුන්නේ. මේ වතු නිසා අපෙන් ආණ්ඩුවට ලොකු ලාභයක් ලැබෙනවා. මේ සෑම වතු කොම්පැණියකින්ම වසරකට මිලියන 40 ක් විතර අපි ගෙවනවා. ඒ ටික ඔක්කොම ආණ්ඩුවට නැතිවෙන එකයි වෙන්නේ.  එහෙම වුණොත් ආණ්ඩුවේ තත්ත්වය තවත් අමාරුවෙයි.
ඒකට හොදම උදාහරණය දැන් ආණ්ඩුවෙන් කරන වතු ටික දිහා බැලුවොත් පෙනෙනවා. එයාලා දවස් කීයක් වැඩ දෙනවද කොහොමද ඒ වතු පවත්වාගෙන යන්නේ කියලා හොයලා බලන්නකො. මේ විදිහට ගියොත් මේ වතු ටිකත් ඒ තත්ත්වයට පත්වෙයි.
ලෝක වෙළෙඳපොලේ තේ අතුරින් අපේ තේ තමයි වැඩිම මිලක් තිබෙන තේ විදිහට තිබෙන්නේ. නමුත් අපි අපේ තේ වලට ඩොලර් 4 ක් 4.50 කියලා කියද්දි ඒ තේ වර්ගයම කෙන්නියාව ඩොලර් 2.50 ට විකුණනවා. එහෙම වුණාම අපෙන් තේ ගන්නවාට වඩා කෙන්නියාවට වැඩියෙන් යොමුවෙනවා. මෙහෙම ගියොත් ලංකාවේ තේ කියන නාමය නැතිවෙලා යයි. කොහොම වුණත් තේ කර්මාන්තය බේරාගන්න ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් තිබෙනවානම් අපි දීපු යෝජනා අනුව වෘත්තිය සමිති සමග සාකච්ඡා කරලා දෙපැත්තම දිනන ක්‍රමයකට පැමිණිය යුතුයි. මොකද වතු තිබ්බොත් තමයි කම්කරුවෝ ජීවත්වෙන්නේ වෘත්තිය සමිති තියෙන්නේ හැමදේම සිදුවෙන්නේ. වතු නැතිවුණොත් කම්කරුවන්ගේ රස්සා නැතිවෙනවා. ඒ නිසා මීට වඩා මැදිහත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා රජයට අපි කියන්න කැමතියි.
Previous articleශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළු යෝජනාවලට සහය දෙන්නැයි ඇමෙරිකාව ඉල්ලයි
Next articleජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩි ඡන්ද 2386කින් සභාපති ධුරයට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here