වතු කම්කරු වැටුප් වැඩි කිරීම : ගණ පූර්ණය නොමැතිකමින් සාකච්ඡා අතරමග

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ එකඟතාව පිළිබඳ අවසන් තීරණයක් නොමැතිකම හේතුවෙන් එය තව තවත් කල් යමින් පවතී.
පඩි පාලක සභාව මගින් තීරණය කළ රුපියල් 1000ක දෛනික වැටුප් ලබාදීමේ යෝජනාවට එරෙහිව වතු සමාගම් විසින් විරෝධතා ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පඩි පාලක සභාව පසුගියදා කැඳවා තිබුණි.
එසේ වුවද එම පඩිපාලක සභාවේ වතු සමාගම් නියෝජිත පිරිස සහභාගී වී නොතිබූ බැවින් ගණ පූර්ණය නොමැතිකමින් පඩිපාලක සභාව පවත්වාගෙන යාමට නොහැකි වී ඇත. පඩි පාලක සභාවේ ගණ පූර්ණය සම්පූර්ණ වීමට මුළු සාමාජිකයන්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයින් දෙදෙනකු, වතු හාම්පුතුන්ගේ (වතු සමාගම්) නියෝජිතයන් දෙදෙනකු සහ කම්කරු අමාත්‍යවරයාගේ නියෝජිතයකු සහභාගි වීම ප්‍රමාණවත්ය.
එසේ වුවද මෙවර පඩිපාලක සභා රැස්වීම සඳහා වතු හාම්පුතුන්ගේ නි‍යෝජිතයන්ගෙන් එක් අයෙකු පමණක් සහභාගි වී ඇති අතර, අනෙකුත් සමාජිකයන් සහභාගි වී නොමැත. යම් සාමාජිකයකු සහභාගී නොවන්නේනම් ඒ පිළිබඳ පූර්ව දැනුම් දීමක් කළ යුතුව ඇති අතර, මොවුන් එලෙස පූර්ව දැනුම් දීමක් කර නොතිබූ බව කම්කරු කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
ගණ පූර්ණය නොමැති වීමෙන් අවලංගු වන පඩිපාලක සභා රැස්වීමක් දින 07ක් තුළ යළි රැස්විය යුතු අතර, ඒ අනුව මේ සතියේදී යළි පඩිපාලක සභාව කැඳවීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිරීති මහතා පැවසීය.
පඩි පාලක සභාව විසින් තීරණය කරනු ලැබූ රුපියල් 1000 ක දෛනික වැටුප් ලබාදීමේ යෝජනාවට එරෙහිව වතු සමාගම් සහ කුඩා වතු හිමියන් විසින් විරෝධතා ලිපි 185ක් පමණ යොමු කර තිබුණි.  විරෝධතා සලකා බැලීම සඳහා පඩි පාලක සභාව රැස්වී ගනු ලබන තීන්දුව දින 14 ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශ කළ යුතු බව නීතියේ සඳහන් වේ. ඒ අනුව වතුකම්කරුවන් සඳහා මෙතෙක් සාමාන්‍ය වැටුප් ලබාදෙන අතර, දෛනික වැටුප ලෙස රුපියල් 1000ක් තවමත් ලබා නොදෙන අතර කෙසේවෙතත් මේ සතියේ සිකුරාදා දිනයේදී යලිත් පඩිපාලක සභාව කැඳවීමට උත්සහ ගන්නා බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරා ප්‍රකාශ කළේය.
Previous article“පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට කියයි
Next articleතොරතුරු පනතින් පසු රාජ්‍ය ආයතනවල හොඳ වෙනසක් – තොරතුරු කොමිසම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here