ජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම. වඩිවේල් සුරේෂ්

(හසරිඳු රාජපක්ෂ)
කිසි දිනක ජාතිවාදය හෝ ත්‍රස්තවාදය හෝ සඳහා යොමුනොවන, සිලෝන් ටී නාමය රැකගැනීමට නිරන්තරයෙන් වෙහෙසෙන වතු කම්කරු ජනතාව වෙනුවෙන් රජයේ වගකීම ඉටුකරන ලෙස ඉල්ලා සිටින බව ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.
අනාදිමත් කාලයක සිට මේ රට තුළ ජීවත් වන වතු ජනතාවට කිසි දිනක රටේ ජනාධිපති හෝ අගමැතිවීමට ඉඩනොලැබෙන බව දන්නා බවත්, එසේ වුවද ඔවුන් සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් Medialk.com සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,000 ක් බවට පත්කර ගැනීමට දීර්ඝ කාලයක සිට ඔවුන් අරගලයක නිරතව සිටින අතර, අනිද්දා (2021 ජනවාරි 01) සිට එය සිදුකරන බවට රජය ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මතය වඩිවේල් සුරේෂ් මහතා මෙසේ සඳහන් කළේය.

බොරු කිව්වොත් ආණ්ඩුව අසමත් වෙයි !

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1,000ක් කරනවා කියලා පොරොන්දුවෙලා තමයි පහුගිය ජනාධිපතිවරණ මැතිවරණයට ගියෙ. දැන් ජනාධිපතිවරණය ඉවරයි. පාර්ලිමේන්තු මැතිවරණයත් ඉවරයි. නමුත් අපේ ජනතාව ඒ පොරොන්දුව ඉටුකරනකම් බලාගෙන ඉන්නවා. 2020 ජනවාරි රුපියල් 1,000ක් දෙන්නම් කිව්වා. ඊට පස්සෙ මාර්තු මාසෙ දෙනවා කිව්වා. ඊටත් පස්සෙ අලුත් අවුරුද්ද ඉවරවුණාම දෙන්නම් කිව්වා. ඊට පස්සෙ මුදල් ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා අයවැය කතාවෙදි කිව්වා වතු කම්කරුවන්ට මූලික වැටුප රුපියල් 1,000ක් 2021 ජනවාරි මාසෙ ඉඳලා දෙනවා කියලා. ඒක ක්‍රියාත්මක කරන්න තව දවස් කිහිපයයි තියෙන්නෙ. මම හිතනවා ආණ්ඩුව බොරු කියන්නෙ නෑ කියලා. එහෙම නැති වුණොත් නම්, ආණ්ඩුව මේකෙනුත් අසමත් වෙයි. ඒ නිසා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ජනවාරි 01 වැනිදා ඉඳලා මේ අහිංසක වතු ජනතාවට මූලික පඩිය රුපියල් 1,000ක් දෙයි කියලා. ඒක දෙන්න ඕනෙ. මේක අවුරුදු පහකට කලින් දුන්නු පොරොන්දුවක්. ඊට පස්සෙ මේ අලුත් ආණ්ඩුවත් පොරොන්දු වුණා. එතකොට මේක දේශපාලන පොරොන්දුවක්. ඉතින් මේක නිල වශයෙන් පාර්ලිමේන්තුවේදිත් අයවැය හරහා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා රුපියල් 1,000ක් ලැබෙයි කියලා. අපි මේ ගැන කම්කරු අමාත්‍යාංශයේ සාකාච්ඡාවක් තිබ්බා. වතු හාම්පුතුන්ගේ සංගමය මේ ගැන වෙන මතයක ඉන්නවා. මම ඉතාම ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා රුපියල් 1,000 ලබාදීමේ යෝජනාව  ක්‍රියාත්මක කරන්න කියලා. ඒ සඳහා වතු හාම්පුතුන්ගේ සංගම් 22 ටම ආණ්ඩුවෙන් නියෝගයක් දෙන්න කියලා. නියෝගයක් දුන්නම තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ.

ජීවන වියදම හොඳටම වැඩියි !

අපි සියලුදෙනාම පිළිගන්න ඕනෙ ජීවත්වෙන්න වියදම වැඩියි. ‍එහෙම වෙලාවක බොහොම අඩුවෙන්ම වැටුප් ගන්න ජනතාවක් බවට මේ වතු ජනතාව පත්වෙලා. හැම භාණ්ඩයක්ම මිල වැඩියි. වතුවලට යද්දි මේ භාණ්ඩවල මිල දෙගුණ වෙනවා.
වතු ජනතාව කියන්නෙ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙන, කවදාවත් ජාතිවාදය, ත්‍රස්තවාදය බිහිකරලා නැති රටට ආදරය කරමින් ජීවත්වෙන ජන කොටසක්. අපේ රටේ සිලෝන් ටී නම රැකගන්න වෙහෙස වී වැඩකරන ජාතියක්. ඒ නිසා පොරොන්දු ඉෂ්ඨ කරන්න රජයට වගකීමක් සහ යුතුකමක් තියෙනවා.
ඒ වගේම තමයි මේ වතු ජනතාව පරම්පරා පහකට වඩා, ඒ කියන්නෙ අවුරුදු 200 කට වඩා මේ බිමේ ජීවත්වෙනවා. නමුත් මේ වතු ජනතාව කවදාවත් ආයුධ අතට ගත්තෙ නැහැ. ත්‍රස්තවාදය බිහිකරන්න කටයුතු කළේ නැහැ. කිසිම වෙනසක් කළේ නැහැ. ශ්‍රී ලාංකිකයන් විදිහට ලංකාවෙ සියලුදෙනා සමග අත්වැල් බැඳගෙන හොඳින් ජීවත් වුණා.

ඡන්දයේ වටිනාකම සමානයි !

කොළඹ ජනතාවගෙයි, වතුකරයේ ජනතාවගෙයි ඡන්දය සමානයි. එහෙම නම් ඇයි මේ වැටුප තීරණය කරන්න විතරක් කොම්පැනිකාරයන්ට බාරදෙන්න හදන්නෙ. අපි කොම්පැනිකාරයන්ට අයිති නැහැ. අපි අයිති මේ රටට. හාම්පුතුන්ගේ සංගමය කියන විදිහට ආණ්ඩුව නටනවද කියලා අපි දැනගන්න කැමතියි.
එදා ජනාධිපතිවරණය වෙලාවෙ මේ ජනතාවට රුපියල් 1,500 ක් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයා පොරොන්දු වුණා. වර්තමාන ජනාධිපතිවරයා පොරොන්දු වුණේ රුපියල් 1,000 ක් දෙන්න. කොහොම වුණත් දැන් අවුරුද්දක් ගෙවිලා තියෙනවා 1,000 තාම නැහැ.

වතු ආණ්ඩුවට ගන්න !

වතු කොම්පැනිකාරයන්ට මේ වැටුප් ලබාදීම කරන්න බැරි නම්, ආණ්ඩුවට තියෙන්නෙ වතු කම්කරුවන්ට කුඩා තේ වතු ප්‍රමාණයක් බැගින් බෙදලා දෙන්නයි. එහෙම වුණොත් අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙයි. ඒ වගේම වතු කොම්පැනි කියනව වගේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. තේ වගාවලින්  අක්කර පහ-දහය බැගින් මේ වතු ජනතාවට දුන්නා කියලා එයාලා මේ ඉඩම් උස්සගෙන කොහොමවත් යන්නෙ නැහැ. ඉන්දියාවට යන්නෙත් නැහැ, චීනෙට යන්නෙත් නැහැ. අවුරුදු 200කට වැඩිය වතු ජනතාව මේ රටේ ජීවත් වෙනවා. නමුත් අපි මේ රටේ ජනාධිපති වෙන්නෙත් නැහැ, අගමැති වෙන්නෙත් නැහැ. අපි ඒක දන්නවා. එහෙම වුණත් අපි සිංහල ජනතාව සමග අත්වැල් බැඳගෙන මේ රට ආරක්ෂා කරන්න සහෝදරත්වයෙන් ගමනක් යන පිරිසක්. ඒ නිසා අපි මේ ඉල්ලන්නෙ අපේ අයිතිය. අපි වැඩ කරන විදිහට පඩි දෙන්න කියලයි අපි කියන්නෙ. වතු ජනතාගේ ඡන්දයෙන් බලයට එන්න පුළුවන් නම් ඇයි එයාලගෙ වැටුප් ප්‍රශ්නය විසඳන්න බැරි. අනෙක මේ වතු රජයේ ඉඩම්. ආණ්ඩුව තමයි කොම්පැනිකාරයන්ට දීලා තියෙන්නෙ. රජයේ දේපොළ ගැන තීරණයක් ගන්න රජයට බැරි ඇයි. ජනවාරි 01 දා ඉඳන් රුපියල් 1,000 වැටුප දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මහා පරිමාණ අයට තියෙන ප්‍රශ්නෙ මොකක්ද?

මේ වෙනකොට කුඩා තේ වතු හිමියො ලාබ ලබනවා. එහෙම නම් මහා පරිමාණ වතු පාඩු ලබන්න විදිහක් නැහැනෙ. කුඩා පරිමාණ තේ වතු හිමියො ඉන්නේ සියයට 25 යි. සියයට 75 ක් ඉන්නෙ මහා පරිමාණ කොම්පැනිකාරයො. නමුත් තේ නිෂ්පාදනයෙන් සියයට 75ක්ම සිදු කරන්නෙ කුඩා තේ වතුවලින්. ඒ කියන්නෙ ඔවුන් තමයි මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න ගොඩක් කැපවෙන්නෙ. ඒ නිසා මහා පාරිමාණ කොම්පැනිකාරයො හසුරුවන මේ තේ ඉඩම් සියයට 75 ත් කම්කරුවන්ට බෙදලා දීලා, කුඩා තේ වතු හිමියො බවට පත්කළා නම් මේ කර්මාන්තයත් රැකෙනවා. සිලෝන් ටී නාමයත් ආරක්ෂා වෙනවා. කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. එහෙම වුණොත් පඩි වැඩිකරන්න කිය-කියා කාගෙන්වත් හිඟාකන්න ඔ්නෙත් නැහැ.

සියලුම කම්කරුවන්ගේ වැටුප ගැසට් කරන්න !

තේ වතු කම්කරුවන්ගෙ පමණක් නෙමෙයි, සියලුම කම්කරුවන්ගෙ වැටුප ගැසට් කරලා ප්‍රකාශ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. මොකද තේ, පොල්, රබර් මේ කුමන තැනක වැඩ කළත් කම්කරුවො කම්කරුවොම තමයි. ඔවුන් සියල්ල සාධාරණ වැටුපක් ලැබිය යුතුයි.
මේ ඉල්ලීම ඉටුවුණේ නැත්නම් අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා. දැන් අපිට හිටියත් එකයි, නැතත් එකයි. ඉස්සර මිනිස්සු වතුවල වැඩ කළේ ඉතාම භක්තියෙන්. නමුත් මේ කොම්පැනිකාරයන්ගෙ වැඩ නිසා දැන් වතුවලින් ජනතාව ඈත්වෙමින් ඉන්නවා. ලක්ෂ 12ක් පමණ හිටපු වතු කම්කරුවො අතරින් දැන් ඉන්නෙ ලක්ෂ 02ක් වගේ පිරිසක්. ඔවුන්ගෙ මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙන්නෙ. සෞඛ්‍යය පහසුකම් නැහැ, ආරක්ෂාව නැහැ. වතු කම්කරුවන් අතරින් සියයට 65ක් කාන්තාවො. ඔවුන් රැකගන්න කටයුතු කරන්න ඔ්නෙ. මේ නිසා මේකෙන් අසමත් වෙන්නැතුව, මේ ප්‍රශ්නය විසඳන්න කියලා මම ආණ්ඩුවට කියන්න කැමතියි.
Previous articleයුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර අත්‍යවශ්‍යයි – මනෝ චිකිත්සක විශේෂඥ අයරින් ජ්‍යාකොමෙට්ටි
Next articleසෞභාග්‍යතා දර්ශකය පහළට : සල්ලි හොයන වැඩ කරන්නැයි ආණ්ඩුව ඉල්ලයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here