වතු සේවක දෛනික වැටුප : සති දෙකක් තුළ ගැසට් කරනවා – කම්කරු කොමසාරිස් ජනරාල්

පඩිපාලක සභාව විසින් තහවුරු කරන ලද වතු සේවක දෛනික වැටුප් වැඩිවීම මේ සතිය තුළ නිල වශයෙන් කම්කරු අමාත්‍යවරයාට දැන්වීමටත්, සති දෙකක් ඇතුළත එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමටත් කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
වතු හාම්පුතුන්ගේ දැඩි විරුද්ධත්වය මැද වතු සේවක දෛනික වැටුප රුපියල් 1,000 කිරීමේ තීරණය ඊයේ (01) පඩිපාලක සභාව විසින් තහවුරු කරනු ලැබ තිබේ.
මෙම වතු සේවක දෛනික වැටුප වැඩි කිරීම සඳහා වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා වට 14කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ඇති අතර, එහිදී බොහෝ වතු සමාගම් නියෝජිතයන් හා වතු හාම්පුතුන් එම ඉල්ලීමට විරුද්ධත්වය පළකර තිබිණි. ඔවුහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් වතු සේවක දෛනික වැටුප රුපියල් 700 මට්ටමේ තබාගැනීමට යෝජනා ඉදිරිපත් කළහ.
මේ හේතුවෙන් තේ හා රබර් කර්මාන්ත සඳහා වන නව පඩිපාලක සභා දෙකක් පත්කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළ අතර, පසුගිය පෙබරවාරි 08 වැනිදා පඩිපාලක සභාව රැස්විය.  වතු සේවක දෛනික වැටුප රුපියල් 1,000 ක් දක්වා වැඩිකිරීමට කළ යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
පඩිපාලක සභා දෙක විසින් ගනු ලැබූ එම තීරණය සඳහා ඉන්පසු විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී තිබූ අතර, එහිදී විරෝධතා 400කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබූ බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම විරෝධතා පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ එම පඩිපාලක සභා කැඳවුවද, ඊට හාම්පුතුන් නියෝජනය කරන සාමාජිකයන් සහභාගි නොවීම හේතුවෙන් පඩිපාලක සභා රැස්වීම සතියකින් කල් තබන ලදි.
ඒ අනුව ඊයේ (01) දින පඩිපාලක සභාව යළි රැස්වූ අතර, එහිදී හාම්පුතුන්ගේ විරෝධතා මැද බහුතර එකඟතාවෙන් දෛනික වැටුප රුපියල් 1,000ක් කිරීමේ තීරණය අනුමත කරන ලදි. පඩිපාලක සභාවේ අවසාන තීරණය මේ සතිය තුළ අමාත්‍යවරයාට දන්වා යවා, පසුව ගැසට් නිවේදනය ඉතා කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
මෙම තීරණයත් සමග රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය ශ්‍රමය වගුරන ලක්ෂ දෙකකට ආසන්න වතු කම්කරු ජනතාවකට විශාල ප්‍රතිලාභයක් සහ සහනයක් සැලසෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Previous articleබොදුබලෙත් සහරාන්ලාට උදව් කරලා? : සිංහල රාවය, මහසෝන් බලකාය, සිංහලේ ගැනත් පාස්කු කොමිසමෙන් නිර්දේශ
Next articleආයෝජකයන් නම් කළේ ඉන්දියාව පමණයි : බටහිර පර්යන්තය ආදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here