අපේ රටේ රජාලා නෑ : ඒවට පාඩම් උගන්වන විදිහ මං දන්නවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් “ගම සමග පිළිසඳර“ වැඩසටහනේදී මාධ්‍ය වෙත දැඩි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේය. සිරස නාලිකාව අයත් මහරාජා සංවිධානය මූලික කරගෙන මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.
මාර්තු 20 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ඔහු මෙම තර්ජනාත්මක ප්‍රකාශය සිදු කළේය.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩ කොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්. හන්තානේ සුද්ධ කරද්දි අඬන්න කෙනෙකුත් නෑ, අඬවන්න කෙනෙකුත් නෑ. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහාගේ නිදහස නොවෙයිනේ. මාධ්‍ය නිදහස කියන්නේ ඒක නොවෙයි. ඒක මාෆියාවක්. මාධ්‍ය අයිතිකාරයාට ඕනෑ විදිහට රට දුවන්න හදනවා නම් ඒක මාෆියාවක්. ඒකයි වෙන්නේ. අපේ රටේ රජවරුත් නෑ මහාරාජලත් නෑ. මහා රාජලා හිටියෙ ඉන්දියාවෙ. මෙහේ මේ මාෆියාව රටවල් පාලකයො පාලනය කරන්න හදනවා. ඒව මාත් එක්ක බෑ. මං දන්නවා ඒවට පාඩම් උගන්වන්න ඕනෑ නම් උගන්වන විදිහත් මං දන්නවා. මං මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාස 14 ක් මං පාලනයක් කළා. කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් මං කරලා නෑ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් නීති තියෙනවා. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒව මං ක්‍රියාත්මක කරනවා. ඒ මාධ්‍ය විතරක් නොවෙයි ජාතික චින්තනයේ ඉන්න සමහර අයත් මේ කුඹුක් ගස් කැපුවා කියලා බොරු ප්‍රචාර දාලා තිබුනා. මං හොයලා බැලුවා කව්ද කියලා. මේවායේ ඉන්නවා, අපේ යුද්ධය කාලෙ ඔය මාධ්‍ය තමයි අපිට විරුද්ධව වැඩ කළේ. ඒ අයම තමයි දැන් කණ්ඩායමක් රිංගගෙන දැන් මේවා ප්‍රචාරය කරනවා. අපි යුද්ධ කාලේ අපට විරුද්ධව වැඩ කරපු අයම තමයි දැන් ආපහු නැගිටලා. ඒ අයම තමයි දැන්. කණ්ඩායමක් රිංගගෙන මේවා ප්‍රචාරය කරනවා. ඕව බැලුවම ඕව තමයි හාමුදුරුවනේ මේ එන්නේ. ඒ කාලේ යුද්ධේ කරන කාලේ යුද්ධය කරනවාට විරුද්ධව වැඩ කරන කණ්ඩායම්ම තමයි දැන් ආපහු නැගිටලා. මේවා ඒගොල්ලෝ දැක්කේ නෑ ඒ කාලේ, ඇයි ඒගොල්ලන්ට අවශ්‍ය රජයවල් නේ බිහි කරගෙන තිබ්බේ. ඒ කාලේ මේවාමුකුත් නෑ හරියට මම ඇවිල්ල මේ කැළෑ කපුවා වගේ. ජනතාව මුලා කරන්න බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවාට රැවටෙන්න එපා. මේවා රටට ආදරේ, අපේ සංස්කෘතියට ආදරේ කරන, අපේකම රකින, දේශීයත්වය රකින,”

මාධ්‍යවලට බලපෑම් කරන්න ජනාධිපතිට අයිතියක් නෑ – අනුර කුමාර

ජනාධිපතිවරයාගේ ‘මාධ්‍ය තර්ජනය’ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මහතා පැවසූවේ මාධ්‍ය නිදහස ජනපතිවරයාගේ ‘ලයිසන්’ එකක් නොවන බවත් මාධ්‍ය වෙත බලපෑම් කිරීමට ජනපතිවරයාට අයිතියක් නොමැති බවත්ය.
මාධ්‍ය නිදහස යනු මාධ්‍යවේදීන්ගේත් මේ රටේ පුරවැසියන්ගේත් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන යුක්තිසහගත අයිතියක් බවද ඔහු සඳහන් කළේය.
ඔහු මාධ්‍ය වෙත මෙසේ ද පැවසීය.
” ජනාධිපතිවරයා සෑම සෙනසුරාදාවකම ගම සමග පිළිසඳරක් පවත්වා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසදනවා යැයි කියන මාධ්‍ය මෙහෙයුමක් දියත්කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා කරන්නේ ඒ සතියේ ආණ්ඩුවට එල්ලවී තිබෙනස චෝදනා, විවේචනයන් පිළිබඳව පිළිතුරු සැපයීම සහ ඔහුගේ අඬවැඩියාව ඉදිරිපත් කිරීමේ සංදර්ශනයයි. ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔහු මුහුණදී තිබෙන ගැටලු පිළිබඳව අඳෝනා නැගීමයි කරන්නේ.
හැබැයි ඒක අඳෝනාවක් පමණක් නොවෙයි, යම් බිහිසුණු චිත්‍රයක් තිබෙන බව පේනවා. ඊයේ දිනයේදී එතුමා විසින් කළ ප්‍රකාශ අතර, විශේෂයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දෝෂාරෝපණ හා තර්ජනයන් එල්ලකර තිබෙනවා. ‘ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා. මාධ්‍ය නිදහස මම දීලා තිබෙනවා. මාස 14ක් මම පාලනය කළා. නමුත් කිසිම මාධ්‍යයකට මම කිසිම බලපෑමක් කරලා නැහැ.’ ඔහු බලපෑමක් කරලා නැහැ කියනවා. ඒකෙන් ඔහු ගම්‍ය කරන්නේ බලපෑමක් කරන්න අයිතියක් තියෙනවා කියලා. නෑ ඔහුට එහෙම අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට මාධ්‍ය ආයතනවලට බලපෑම් කරන්න හෝ මාධ්‍ය ආයතන බියවද්දන්න අයිතියක් නැති බව ජනාධිපතිවරයා පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ.
දෙවනුව ඔහු කියනවා මාධ්‍ය නිදහස දීලා තියෙනවා කියලා. මාධ්‍ය නිදහස ජනාධිපතිවරයාගේ ලයිසන් එකක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදිය යුතු වරප්‍රසාදයක් නෙවෙයි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවේදීන්ගේ මේ රටේ පුරවැසියන්ගේත් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන යුක්තිසහගත අයිතියයි. ඒක අයිතියක්. ඒක ජනාධිපතිවරයාගේ ලයිසන් එකකින් ලබාදෙන ලද නිදහසක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිසේසේ මේ රටේ මානව සංවර්ධනය පිළිබඳව අනාගතය පිළිබඳ කල්පනා කරන ලද ප්‍රගතිශීලී පුරවැසියන් විසින් අරගල කරලා අත්කරගෙන, ආරක්ෂා කර ගත් දෙයක්. ‘ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.’ කියලත් ඔහු කියනවා. ජනාධිපතිවරයා මාධ්‍යයට පාඩම් උගන්වන්න මොන සිහියෙන් යුතුව කතා කරනවාද කියලා මම දන්නේ නැහැ.
මෑත ඉතිහාසයේ මාධ්‍ය ආයතනවලට බිහිසුණු පාඩම් උගන්වපු තත්ත්වයක් තිබෙනවා. ඒවා මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් අතිශය බිහිසුණුයි. සිරස මාධ්‍ය ආයතනයට ක්ලේමෝ බෝම්බ දෙකක් එල්ල කොට මැදිරි සංකීර්ණය විනාශ කළා. එය සිරස මාධ්‍ය ආයතනයට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ඒ යුගයේ අධි ආරක්ෂක කලාපයක පිහිටා තිබූණු ලීඩර් පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලයට දෙපාරක් ගිනි තැබුවා. එය ඔවුන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. සියත මාධ්‍ය ආයතනයට 2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම බෝම්බ ගසා ගිනි තිබ්බා. එය සියත මාධ්‍ය ආයතනය වෙත උගන්වන ලද බිහිසුණු පාඩමක්. ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළා. එය මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කළා. පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් අත-පය කඩලා කොණ්ඩෙ බාගෙට බූගාලා මහපාරේ දාලා ගියා. කීත්නොයාර් පැහැරගෙන ගිහිල්ලා පහරදීලා මාරාන්තික තුවාල සිදුකොට පාරේ දාලා ගියා. උපාලි තෙන්නකෝන් පැහැරගෙන පහරදීලා මහමග දාලා ගියා. ඒවා අපේ රටේ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්. ඊ නිව්ස් කාර්යාලයට ගිනි තිබ්බා. ඒ මේ රටේ වෙබ් මාධ්‍ය ආයතනවලට උගන්වන ලද බිහිසුණු පාඩම්.
අපේ රටේ මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් මෑත ඉතිහාසයේ බිහිසුණු පාඩම් උගන්වා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ ‘ඒවා මාත් එක්ක බෑ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.’ කියන දේ නූතන ජන මාධ්‍ය පිළිබඳව පාඨමාලාවක් නොවෙන්න පුළුවන්. මෙය ඍජුවම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉලක්කකොට එල්ල කර තිබෙන බලපෑමක්. මේ කතාව කියන විගසම කියනවා, ඔහු එවැනි බලපෑමක් එල්ලකොට නැහැ කියලා. ජනාධිපතිවරයා ඉතා හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා මේ යුගය වෙනස් බව. පැරණි පාඩම්වලින්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්වලින් ඒ යුගයේ පාලකයනුත් පාඩම් ඉගෙන තිබෙනවා. ඒ වගේම මේ රටේ පොදු ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. නැවත එවැනි බිහිසුණු පාඩම් මාධ්‍ය ආයතන වෙත හෝ මාධ්‍යවේදීන්ට ඉගැන්වීම සඳහා ජනාධිපතිවරයා උත්සුක වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අනික් පැත්තෙන් ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනෑ, නීති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව. විවිධ ප්‍රකාශයන් හරහා ඔහු පෙන්නුම් කර සිටින්නේ ඔහුගේ ආණ්ඩුවට හිතකර වන, එය ප්‍රවර්ධනය කරවන මාධ්‍ය මෙහෙයුම්වලදී ඉතාමත්ම ලැදියාවෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ව බදා වැළඳගෙන තිබෙනවා. නාගලෝකයෙන් නයි කරඬුව අරගෙන එනකොට, එය ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රවර්ධනයක් බව දන්නා නිසා ඔහු එය විවේචනය කළේ නැහැ. ඒ වගේම වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ බෙහෙත්, වඳ දොස්තරලා වැනි ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ප්‍රවර්ධනය කරනකොට ඒවා ඔහුගේ දේශපාලන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන මාධ්‍ය මෙහෙයුම් නිසා විවේචනය කළේ නැහැ. ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය පවා පරිසර වාර්තා කරණයේදී වෙනස්වීම පිළිබඳවත් අනතුරු ඇඟවීමක් කරනවා. ඔහුත් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියත් ප්‍රවර්ධනය කිරීම සහ එම හිමිකරුවන්ගේ උවමනාවන් සමපාත වන විට ප්‍රතිවිරෝධයක් පැන නගින්නේ නැහැ. හැබැයි ඔහුගේ දේශපාලන ව්‍යාපෘති ගැන ජනතාවගේ පැත්තේ ඉඳන් වාර්තා කරනකොට, ඔහුගේ ආර්ථික හා පාරිසරික විනාශකාරී ක්‍රියාමාර්ග ගැන ජනතාවගේ පැත්තේ ඉඳන් වාර්තා කරනකොට එය මාධ්‍ය හිමිකරුවන්ගේ මෙහෙයුමක් හැටියට ඔහු අර්ථකථනය කරන බවයි පේන්නේ. ජනාධිපතිවරයාට මාධ්‍ය පිළිබඳව තිබිය යුත්තේ ඍජු ප්‍රතිපත්තියක් මිස දෙබිඩි ප්‍රතිපත්තියක් නොවේ. නමුත් පෙන්නුම් කරමින් තිබෙන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක්.”

ජනාධිපතිවරයා සිරසේ වැඩ කරපු කෙනෙක් – මනූෂ නානායක්කාර

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත.අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසූවේ ජනපතිවරයා සිදු කළේ තර්ජනයක් බවත් ඒ තර්ජනයට දැඩි විරෝධය පළ කරන බවත්ය.
මාධ්‍ය නාලිකා රටේ සංඛ්‍යාත පාවිච්චි කරන බව ද ඔවුන්ට රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට වගකීමක් සහ යුතුකමක් ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
“සිරස රූපවාහිනියට තර්ජනය කරන ජනාධිපතිවරයා” හමුදාවෙන් ඉවත් වූ පසු සිරස නාලිකාව අයත් මහාරාජා ආයතනයේ පිරිස් කළමනාකරු ලෙස සේවය කර ඇති බව නානායක්කාර මහතා කීවේය.
ඔහු මෙසේද කීවේය.
“සිරසේ පෙන්නපු එකට තමයි වැඩියෙන් තරහා ගියේ. තරහ ගිහින් තමයි කිව්වේ මාධ්‍ය අයිතිකාරයින්ට ඕන විදියට නෙමෙයි වැඩ කරන්න පුළුවන් අපට ඕන විදියට කියලා. කැලේ කපපු එක පෙන්නපු එක වැරදිද? රටේ මිනිස්සුන්ට තියෙන අයිතියක් නෙමේද? මාධ්‍ය නාලිකාවක් කියන්නේ රටේ සංඛ්‍යාත පාවිච්චි කරන්නේ. එයාලට වගකීමක් තියෙනවා යුතුකමක් තියෙනවා රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න. එහෙම නොකරනවානම් ආණ්ඩුවට කඩේ යනවනම් තමයි ප්‍රශ්නය තියන්නේ. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ අය පෙනී සිටියා. මොකද්ද වැරද්ද? හැබැයි මොකද්ද කිව්වේ.“මම ඔය අයට පාඩම් උගන්නන හැටිත් දන්නවා.මම පාඩම් උගන්නලත් තියෙනවා.” ඒ කතාවේ කොහෙදි හරි මම තමයි හොදටම කරේ කියලත්. මම මාධ්‍යයට පාඩම් උගන්නන්න දන්නවා කියලත් කිව්වා. මම උගන්නන්න පුළුවන් කියලත් කිව්වා. ඒ තර්ජනයක් කළේ. ඒ තර්ජනයට අපි දැඩි විරෝධය පානවා. අපි ජනතාවගෙන් අහනව අපේ හිත්වලට එනවා නේද එදා 2015ට ඉස්සෙල්ලා සිරසට ගැහුවේ. සිරසට බෝම්බ ගැහුවේ. කීත් නොයාර්ට ගැහුවේ, ලසන්ත වික්‍රමතුංග මැරුවේ. සියතට ගිනි තිබ්බේ. ඒ සියල්ල කරන්න ඇත්තේ කවුරු හරි මාධ්‍යයට පාඩමක් උගනන්න නේද? අපිට ප්‍රශ්න කරන්න වෙනවා නේද ඒ මාධ්‍යයට පාඩම් ඉගැන්නුවේ කවුද කියලා 2015ට ඉස්සෙල්ලා…… මේ ප්‍රශ්නය ජනතාව ඉදිරියට ඇවිත් තියෙනවා. කවුද මේවා කළේ කියන එක.ආයේ කිව්වා මහ රාජලා ඉන්නේ ඉන්දියාවේ කියලා… හැබැයි ඉන්දියාවට ඕන විදියට වැඩ කරන්නේ.එද්දි කිව්වා පළාත් සභා තියන්නේ නෑ කියලා. හැබැයි ඉන්දියාවෙන් කෝල් එක එනකොට පළාත් සභා තියන්න තීරණය කරනවා…. මහරාජා කියද්දි මට මතක් වුණා වැඩක්. මෙතුමා 1991 හමුදාවෙන් අයින් වෙන්නේ. පවුලත් සමග ජීවත් වෙන්න ඕන කියලා යුද්ධෙ අවසාන කාලය වෙනකම් ඉන්නැතුව හමුදාවෙන් අයින් වෙනවා. එතුමා හමුදාවෙන් අයින් වෙලා රස්සාව කළේ කොහෙද කියලා දන්නවාද. අර දන්නේ නෑ කියපු මහරාජලා ඉන්දියාවේ ඉන්නවා කියපු මහරාජා සමාගමේ පිරිස් පාලක විදියට වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපි කියනවා එහෙම නැත්නම් ප්‍රකාශයක් කරන්න කියලා එහෙම නෑ කියලා. “
Previous articleඅන්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගැනීම් : නඩු විභාගත් නෑ – ජනපතිගේ ගැසට් පත්‍රය ව්‍යවස්ථා විරෝධී ද?
Next articleවතු කම්කරු වැටුප අධිකරණයට මුවා නොකරන්නැයි ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here