වතු සේවක වැටුප් වැඩිකිරීම : රජය නියෝගයක් දුන්නොත් පිළිපදින්න ඕන – වැවිලිකරුවන්ගේ සංගමය

(හසරිඳු රාජපක්ෂ)
වතුසේවකයින්ගේ දෛනික වැටුප ලෙස අනුමත වු රුපියල් 1000 ක මුදල නියමිත දිනයේ සිට ගෙවීමට කටයුතු කරන බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා පැවසීය.
ආණ්ඩුව නියෝගයක් ලබා දුන්විට එය පිළිපැදිය යුතු බවත් මේ ආකාරයට ඉදිරියට කටයුතු කළ හැකිදැයි මාස කිහිපයක් ගොස් බැලිය යුතු බවත් හෙතෙම කීවේය.
මාර්තු 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වතු සේවක දෛනික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී බුළුමුල්ල මහතා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙක් වැඩිදුරටත් අදහස් දැක්වු වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා මෙසේද පැවසීය.
“රජය නියෝගයක් දුන්විට එය පිළිපදින්න ඕන. එයට උඩින් යන්න අපිට බැහැ. අපි ඒක පිළිපදිනවා. නමුත් ආර්ථික අපහසුතා වියදම් අධික වීම ආදී ගැටළු ගොඩක් තියෙනවා.  ඒ දේවල් ගැන ආණ්ඩුවට හැඟීමක් නැතිනම් අපි මොනවා කරන්නද ? ආණ්ඩුවටයි වෘත්තීය සමිතිවලටයි අවශ්‍ය දේනේ මේ කළේ. කොහොම වුණත් මේ ආකාරයට මාස කිහිපයක් වතු පවත්වාගෙන ගිහින් බලනවා කරන්න පුළුවන්ද කියලා. බැරි වු⁣ණොත් අපිට තීන්දුවක් ගන්න වෙනවා. මාර්තු 05 දා සිට බලපැවැත්වෙන ලෙස අපි වැටුප් ගෙවනවා.“ යැයි පැවසීය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here