වතු කම්කරු වැටුප් වැඩිකරනවාට විරෝධතා 148ක් : ගැසට්ටුව කවදා එයිද?

(හසරිඳු රාජපක්ෂ)
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව ගත් තීරණයට එරෙහිව විරෝධතා 148 ක් ඉදිරිපත් වී තිබේ.
වැවිලිකරුවන්ගේ සංගමය, හාම්පුතුන්ගේ සංගමය සහ කුඩා තේ වතු හිමියන් විසින් මෙම විරොධතා ඉදිරිපත් කරනු ලැබ ඇත. වතුකම්කරු වැටුප් වැඩිකිරීමට පඩි පාලක සභාව පසුගියදා තීරණය කළ අතර එය ගැසට් මගින් ප්‍රකාශ කිරීමට පෙර එම තීරණයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී තිබුණු අතර එය අද (15) දහවල් 12.00ට අවසන් විය.
ඉදිරිපත්වී ඇති විරෝධතා මේ සතියේදීම සලකා බලන බවත් පඩි පාලක සභාව රැස්වී ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ පිළිබඳව කළ විමසීමේදී කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මෙසේ පැවසීය.
“අපි මේ සතියෙම පඩිපාලක සභාව රැස්කරලා ඉදිරිපත්ව ඇති විරෝධතා සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණය වෙනස් කරනවාද නැද්ද කියලා තීරණය කරනවා. නමුත් රුපියල් 1000 වැටුප වෙනස් කරන්න අපි කොහෙත්ම සූදානම් නැහැ.
වැටුප් වැඩිකිරීම සම්බන්ධ ගැසට් නිවේදනය තවත් සති 02 ක් ඇතුළත වගේ නිකුත් කරන්න අපිට පුළුවන්. පඩි පාලක සභාවේ නියෝගයට පටහැනිව යම් අයෙක් කටයුතු කරනවානම් ඔවුන්ට මාස 06ක සිර දඬුවම් හෝ දඩයක් නියම කරන්න නීතිමය ප්‍රතිපාදන තිබෙනවා.”
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා පැවසූයේ අදාළ තීරණය ගැසට් මගින් ප්‍රකාශ කළ පසුව පඩි පාලක සභාවෙන් අනුමත වු මුදල් ගෙවීම සිදුකරන බවයි.
“පඩිපාලක සභාවේ තීරණය ඇමතිවරයා ගැසට් කළ යුතුයි. ඒ ගැසට් එක ආපු දවසට තමයි අපිට ගෙවන්න වෙන්නේ. ඒක කවදා එයිද කියලා අපිට කියන්න බැහැ.
ඒ වගේම හැමෝම තේරුම්ගත යුතු දෙයක් තිබෙනවා. තේ කර්මාන්තයේ අපි මෙච්චර කල් කටයුතු කළේ සාමූහික ගිවිසුමක් තුළ. ඒ ගිවිසුම ඇතුළේ අපිට බැඳීම් කිහිපයක් තිබුණා. කුමන වගාවකින් වුණත් අවුරුද්ද පුරා එකම ඵලදාවක් ලැබෙන්නේ නැහැ. තේ ගහත් එහෙමයි. දලු වැඩියෙන් එන කාලයක් තිබෙනවා. ඒ වගේම ඉඩෝරයක් වගේ ආවොත් මාසෙකට දවස් දෙකක්වත් දලු කඩන්න නැහැ. එහෙම වුණත් අපි කවදාවත් මිනිස්සුන්ගේ වැඩ නවත්වන්නේ නැහැ. දලු තියෙන කාලේ අපි හම්බ කරගන්න සල්ලිවලින් අනිත් කාලවලත් පඩි ගෙවාගෙන අපි කාර්මාන්තය අරගෙන යනවා. දැන් මේ අලුත් ක්‍රමයට පඩි ගෙවන්න ගියොත් දලු නැති කාලයට මිනිස්සුන්ට වැඩ දෙන්න බැරි වෙනවා. මොකද ලාබයක් නැතිව පාඩුවට ගිහින් ඒ කාලයේදී වැඩ කරගන්න බැරි වෙනවා. ඒ වගේම මේ සාමූහික ගිවිසුමේ බැඳීම් සියල්ලෙන් අපි ඉවත් වෙනවා. එහෙම වුණාම මාසයට දවස් 25ක් අවුරුද්දට දවස් 300ක් වැඩ දීපු එක අපිට කරන්න බැරි වෙනවා. මොකද අපිට නීති දෙකකට යටත් වෙන්න බැහැ. පඩි පාලක සභාවෙන් වැටුප තීරණය කළ නිසා අපි සාමූහික ගිවිසුමෙන් ඉවත් වෙනවා.” යැයි ඔහු ප්‍රකාශ කළේය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමක් ලෙස මූලික වැටුප රුපියල් 900ක් දක්වා වැඩි කිරීමටත්, අමතර දීමනාවක් ලෙස රුපියල් 100ක මුදලක්ද ලබාදීමටත් පසුගිය සතියේ රැස්වු පඩිපාලක සභාව තීරණය කළේය.
Previous articleඡන්දය පෙබරවාරි 24 – නීතිඥ සංගමයේ මීළඟ සභාපති මොනවා කරයිද?
Next articleඑම්සීසී ගිවිසුම ක්‍රියාත්මකයි : වනාන්තර කපන්නේ ගෝඨාගේ වුවමනාවට ද? 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here