Home පුවත් වතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි

වතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි

0
වතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි
තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහල නැංවීම සඳහා වන යෝජනාවක් අද (08) රැස්වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවේදී අනුමත විය.
ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමටත් රුපියල් 100ක අමතර දීමනාවක් ලබාදීමටත් මෙහිදී යෝජනා වී ඇත. වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.
වෘත්තීය සමිති නායකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබා දීමේ යෝජනාවට හාම්පුතුන්ගේ නියෝජිතයන් එකඟ වී නැති අතර පසුව එම යෝජනාව පිළිබඳව පැවැත්වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට 8ක් ලෙස වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී ඇත.
වසර පහකට ආසන්න කාලයක් දිග්ගැස්සෙමින් කල් දමනු ලැබූ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම වතු සමිති නායකයන් සහ හාම්පුතුන් සමග කරන ලද සාකච්ඡා වට ගණනාවකින් පසුව යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් හා වෙනත් කටයුතු පිළිබඳව මීට පෙර  ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමට අනුවය.ඒ අනුව පසුගිය මාස කිහිපයක් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා කළද, දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කොන්දේසිවලට දෙපාර්ශ්වයෙන් ඇතිවූ පරස්පර විරෝධීතාවන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි විය. එබැවින් පඩි පාලක සභාව ස්ථාපිත කර ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන් හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුවා එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.
“වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධව මේ වන විට අපි සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා. මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමයි. දෙපාර්ශවයන් විසින් ඉදිරිපත් කළ යෝජනා නොගැලපීම නිසා සාමූහික ගිවිසුම යාමට නොහැකි වුණා .ඒ අනුව රබර් සහ තේ කර්මාන්ත සඳහා වන පඩිපාලක සභාව ඔස්සේ මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව අද දින අප විසින් සම්මත කර ගනු ලැබුවා. මෙම වැටුප් වැඩිවීම තුළින් වතු ක්ෂේත්‍රයේ සේවය කරන එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වතු කම්කරු ජනතාවකට සෙත සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here