වතුසේවක වැටුප වැඩි කරනවාට එරෙහිව සමාගම් නඩු මගට

(හසරිඳු රාජපක්ෂ)
වතු සේවකයින්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් වතු සමාගම් 20 ක් විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ පඩිපාලක සභාවේ සාමාජිකයින් ඇතුළු 18 දෙනකු වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත.
පඩිපාලක සභාව මගින් අනුමත කළ වතු සේවකයින්ගේ අවම දෛනික වැටුප වන රුපියල් දහසේ වැටුප මාර්තු මස 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගෙවිය යුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා විසින් පසුගිය සතියේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබුණි.ලබන 22 වැනිදා මෙම නඩුව යළි කැඳවීමට නියමිත අතර කම්කරු අමාත්‍යාංශය එහිදී මේ වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතය.
මෙරට තේ වතු සමාගම් 22 ක් ඇති අතර එයින් සමාගම් 20 ක් එක්ව මෙම නඩුව පවරා තිබේ. එමෙන්ම සමාගම් 02 ක් දැනටමත් රුපියල් 1000ක මුදල ගෙවීම ආරම්භ කර ඇති ඇතර ඔවුන් මෙම නඩුවට සම්බන්ධ නොවීමද විශේෂත්වයකි.
මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ නඩුව ජයග්‍රහණය කිරීමට උපරිම උත්සහ කරන බවත් යම් හෙයකින් නඩුව පැරදුණහොත් පාර්ලිමේන්තු පනතක් සම්මත කර වතුසේවකයින්ගේ වැටුප් ලබාදීමට කටයුතු කරන බවත්ය.
“සාමුහික ගිවිසුමක් අත්සන් කිරීමට වට 12 ක් පමණ සාකච්ඡා පැවැත්වුණා. නමුත් එය අසාර්ථක වුණා. ඒ නිසා පඩි පාලක මණ්ඩලය මගින් මේ වැටුප් වැඩිකිරීමට අනුමත කරගත්තා.
මේ වතු සියල්ල ජනතාවට අයිති වතු, රජයට අයිති වතු. සමාගම් වලට බදු දීම පමණයි සිදුකර තිබෙන්නේ. වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට රජය මගින් ගන්නා ලද තීන්දුව හෑල්ලුවලට ලක් කිරීම ගැන අපි ඉතාම කණගාටුවෙනවා. රජය සමග සහයෝගයෙන් කටයුතු කරනවා වෙනුවට මේ අය රජය සමග හැප්පිලා පඩිපාලක සභාවේ තීරණය වැරදියි කියලා උසාවි යනවා. අපිට මේ නඩුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ජයග්‍රහණය නොකළොත් තවත් විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර එය ලබාදෙන්නත් පුළුවන්. වතු සමාගම් මේ සිදුකරන්නේ වතුසේවකයින්ට ලබාදෙන සහනය තවත් ප්‍රමාද කිරීමයි.“ යැයි හෙතෙම පැවසීය.
Previous articleහොඳම තැන කොළඹ වරාය : බටහිර ජැටියෙන් ආදානි සතුටු වෙයි
Next articleජාතික සම්පත් ප්‍රාදේශීය සංවර්ධනයට යට කළ හැකිද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here