වතු කම්කරු වැටුප : තීරණයක් ගන්න දින 14ක් !

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,000ක් බවට පත්කිරීමේ පොරොන්දුව ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර, වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 860ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පඩි පාලක සභාවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
දෛනික වැටුප් වැඩි කිරීමට වතු හාම්පුතුන් එකඟ නොවීම හේතුවෙන් වතු කම්කරුවන් සහ හාම්පුතුන් අතර සාමූහික ගිවිසුම ඉදිරියට ගෙනයෑමට නොහැකි වී ඇත. මේ හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පඩිපාලක සභාව කැඳවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමේදී කම්කරු අමාත්‍යවරයා පැවසුවේ වතු කම්කරු දෛනික වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් පඩිපාලක සභාව කැඳවීමට නියෝග කළ බවයි. ඒ අනුව වතු කම්කරු දෛනික වැටුප ලෙස රුපියල් 860ක් සහ දීමනාව ලෙස රුපියල් 140ක් ලබාදීමට යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය. එසේ වුවද සාමූහික ගිවිසුම සංශෝධනය කිරීමට තවදුරටත් උත්සාහ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය මේ වන තුරු එකඟ වී නොමැති අතර, ඔවුන් වරින්-වර විවිධ යෝජනා ඉදිරිපත් කරන ලදි. ඒ අනුව දැනට වතු කම්කරුවන්ගේ මූලික වැටුප වන රුපියල් 700, ඒ මට්ටමේම පවත්වාගනිමින් දීමනා ලෙස ඉතිරි රුපියල් 300ක මුදල ලබාදීමට ඔවුන් යෝජනා කර ඇත.
පොරොන්දු වූ පරිදි තම වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් පසුගිය 22දා කොළඹදී උද්ඝෝෂණයක් ද පැවැත්වූ අතර, දිස්ත්‍රික්ක මට්ටමින් මීට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ද ඔවුන් විසින් සැලසුම් කර ඇත. මේ වසරේ ජනවාරි 01දා සිට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බවට ආණ්ඩුව පොරොන්දු වී තිබිණි. ඒ වෙනුවෙන් වූ යෝජනාවක් සම්මත කර ගැනීමද අයවැය මගින් සිදු කෙරිණි.
විෂය භාර ඇමැතිවරයා විසින් පඩිපාලක සභාව කැඳවීමට නියෝග කළ පසු, නියෝගයෙන් දින 14ක් තුළ පඩිපාලක සභාව කැඳවිය යුතු අතර, හාම්පුතුන්ගේ සම්මේලනය, වතු කම්කරුවන් හා අමාත්‍යවරයාගේ නියෝජිතයන් පඩිපාලක සභා සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
මේ අතර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් බවට පත්කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) පැවසීය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here